මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා දිනට යෙදී තිබුණි , ඊට සමගාමී ව සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය උලෙළක් බොරැල්ල වයි.එම්.බී.ඒ ශාලාවේ දී පවත්වනු ලැබුවා . මේ සාකච්ඡුාව ලලිතා සරච්චන්ද්‍ර මැතිනිය හා වසර 46ක් පූරා ම සරච්චන්ද්‍ර නාට්‍ය කණ්ඩායමේ සාමාජිකාවක් වශයෙන් සිටින නිහාරි සෝමසිරි වික‍්‍රමආරච්චි මහත්මිය සමඟ කරන ලද්දක් .

සිංහබාහු නාට්‍ය මුල් නාට්‍යට වඩා දැන් පෙන්වන දර්ශනවල වෙනස්කම් තියෙනවා ද?
ඇත්තට ම පුංචි පුංචි වෙනස්කම් වෙලා තියෙනවා, නමුත් නාට්‍යයට හානියක් නොවෙන විදියට. සරච්චන්ද්‍ර මහත්මයා ඉන්න කාලයේ දීම යම් යම් වෙනස්කම් කරල තියෙනවා. ගීතවල, රංගවල එක එක නළු නිළියන්ට අදාළ වන විදියට පොඩි පොඩි වෙනස්කම් කරල තියෙනවා. උදාහරණ විදියට මාලනී රණසිංහ අවුරුදු 31ක් සුප්පාදේවී විදියට සිංහබාහු නාට්‍යයේ රඟපෑවා. එතුමියගෙන් පස්සෙ මම සුප්පාදේවි විදියට (නිහාරි සෝමසිර) එන්නේ 1993 දී. එතැනදී මට ගැළපෙන විදියට රංග වින්‍යාසය වෙනස් කළා. මගේ නැටුම් විලාසය අනුව පුංචි පුංචි වෙනස්කම් කළා. මා වෙනුවෙන් ම වෙන ම නර්තන ශිල්පීන් ගෙනෙල්ලා, මගේ ගමන් තාලය වෙනස් කළා. සංගීත භාණ්ඩ භාවිතා කිරීමේත් එය වුණා. මුලින් ම මද්දලෙයි හමොනියම් විතරයි පාවිච්චි කළේ. දැන් ඊට වඩා වැඩි සංගීත භාණ්ඩ ප‍්‍රමාණයක් පාවිච්චි කරනවා. අනික පොතේ ගුරු කියන ගීත කිහිපයක් අඩු කළා. දැන් නාට්‍යය තියෙන්නේ පැය දෙකයි විනාඩි දහය යි. නමුත් මුල් කෘතියට කිසිම හානියක්වෙලා නැහැ.
මේ නාට්‍ය වස්තුබීජය තෝරා ගැනීමේ දී සරච්චන්ද්‍ර මෙහෙය වුණේ කොහොම ද ?
බොහෝ වේලාවට සරච්චන්ද්‍ර මහත්තයා තෝරාගෙන තියෙන්නේ බෞද්ධ පසුබිමකට සම්බන්ධිතව යි. එතුමාගේ නාට්‍ය බොහෝමයක කාන්තා ප‍්‍රතිරූපයට සාධාරණයක් කරල තියෙනවා. මනමේ කතාව ගත්තොත් බිසව චපලයි කියන අර්ථයෙන් තියෙන්නේ. නමුත් බිසව ඇත්තටම අසරණ වෙච්ච කෙනෙක් හැටියට ඇයට සාධාරණයක් ඉටු කරලා තියෙනවා. ඒවාගේ ම සිංහබාහු නාට්‍යයේ සුප්පාදේවිය දරුවන් එක්ක ගල්ලෙන අත්හැරලා වනාන්තරයට එන්නේ දරුවන්ට අවශ්‍ය අනාගතය සපුරල දෙන්න. ඒ වගේ සරච්චන්ද්‍රගේ නාට්‍යවල ස්ත‍්‍රියට ගෞරවය දීලා, ස්ත‍්‍රිය ප‍්‍රතිරූපය ඉස්මතු වෙන විදියට තමයි නාට්‍ය රචනා කරල තියෙන්නේ. ඒ චරිත නිරූපණය කරල තියෙන්නේ හේතුවක් ඇතුව යි. දැන් සිංහබාහු නාට්‍යයේ සිංහයා ගත්තොත් සතෙක් හැටියටනේ බොහෝ අය සිතන්නේ. නමුත් එහෙම නෙවේ, වනවාසී මනුෂ්‍යයෙක් හැටියට, ආදරණීය පියෙක් හැටියට තමයි, ඉදිරිපත් කරල තියෙන්නේ. සිංහබාහු නාට්‍යයේ කතා වෙන්නේ අපේ ජනසමාජයේ සිද්ධවෙන දේවල්. අපේ පවුල් කුටුම්භය ආරක්ෂා කරන්න පියා මොනවද කරන්නේ, මව මොනවාද කරන්නේ, දරුවෝ මොනවාද කරන්නේ වාගේ අධ්‍යාත්මික ප‍්‍රශ්න තමයි, සිංහබාහු නාට්‍ය තුළ කතා කරන්නේ.

සරච්චන්ද්‍රගේ ශෛලීයගත නාට්‍යවල සුවිශේෂතා මොනවා ද ?
සිංහබාහු හා මනමේ දෙකට ම වැඩි වශයෙන් අරගෙන තියෙන්නේ අපේ පැරණි නාඩගම් සම්ප‍්‍රදාය, ඒවාගේ ම ගීත නිර්මාණයට චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේ කෙළින් ම සම්බන්ධවෙලා තියෙනවා. ඒ තනුවලට තමයි අපේ මහාචාර්යතුමා ගීපද ලියා ඇත්තේ. අපට තවමත් හිතාගන්න බැහැ, තනුවලට පද ලිවුවා ද පදවලට තනුව එක්කලා ද කියල. ඒ තරම් ම ගීතවල සාභිත්‍යමය ගුණය වැඩි යි, බොහෝ දෙනෙක් දන්නේ නැහැ, මහාචාර්යතුමා වාදකයෙක් කියල. නමුත් මුල් කාලයේදී වාදක මණ්ඩලයේ ඉඳගෙන සිතාරය වාදනය කළේ එතුමා යි. සංගීතයට අවශ්‍ය පද යොදා ගැනීමට චාර්ස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේ හුඟක් උපකාර කළා. මේ ගීත වචන සියල්ල ම මහචාර්යතුමා යොදපු ඒවා. එතුමාගේ විවිධ නාට්‍යවල විවිධ ලක්ෂණ තියෙන්නේ. මනමේ, සිංහබාහු නාට්‍යවල තිබෙන ලක්ෂණ නෙවෙයි, වෙනත් එතුමාගේ අනිත් නාට්‍යවල තියෙන්නේ. විවිධ සමාජ තලවල භාෂාව වෙනස්, කතාකරන විදිය වෙනස්, සමහර වේලාවට කතා කරන උච්චාරණත් වෙනස්, සිංහබාහුවල භාෂාවයි, පෙමතො ජායතී සොකො නාට්‍යයේ භාෂාවයි වෙනස්. එලොව ගිහින් මෙලොව ආවා, කඳා වළලූවල නාට්‍යවල තියෙන්නේ ගැමි භාෂාව. ඒවාගේ නර්තන විලාසය හා සංගීත භාවිතය වෙනස්.
මහචාර්ය සරච්චන්ද්‍ර කල්පනා ලෝකය කෘතියෙන් කලාව පිළිබඳව ඉදිරිපත් කළ මතය හා ඔහුගේ නිර්මාණ අතර ඇති සම්බන්ධය ඔබ දකින්නේ කොහොම ද ?
ඔහුගේ සාභිත්‍ය මතවාදය නිර්මාණ තුළ උද්දීපනය කළා. සිංහබාහු නාට්‍ය හොඳට අහගෙන හිටියොත් වචනයක් වචනයක් ගානේ කුතුහලයක් ඇතිවෙනවා. සිංහබාහු නාට්‍යයේ සෑම චරිතයක් ඇතුළේ ම අලූත් දෙයක් නිර්මාණය කරනවා. අපට රසාස්වාදය ලබා දෙන්න සියලූ ම අනුශාංසික දේවල් එතුමා නිර්මාණය කරල තියෙනවා. මේකේ මුල ඉඳල අගටම තියෙන්නේ ගායනා. දෙබස් කථනය කරන්නෙත් ගායනය ස්වරූපයෙන්. පැරණි නාඩගම්වල වාගේ ගායක කණ්ඩායමක් ඉන්නවා. ඊට අමතර ව හොඳ වාදක මණ්ඩලයක් යොදාගෙන තියෙනවා. මේ සියල්ල රසාස්වාදය ඉහළ නැංවීමට පාවිච්චිකරල තියෙන්නේ. ඊට පස්සේ ඇඳුම් නිර්මාණ හා වේෂ නිර්මාණ ය. ශෛලීයගත වේශ නිරූපණය තවමත් තියෙන්නේ අපේ නාට්‍යවල විතරයි. සරච්චන්ද්‍ර මහත්මා ජීවත්ව සිටි කාලයේ, අවසාන භාගයේ දී ලලිතා සරච්චන්ද්‍ර මහත්මිය තමයි, නාට්‍ය පවත්වාගෙන ගියේ. සරච්චන්ද්‍ර මහතා යටතේ ම ඇයත් හොඳ පුහුණුවක් ලැබුවා. අද සිංහබාහු නාට්‍යය ඇතුළු අනෙක් සරච්චන්ද්‍ර නාට්‍ය පැවතීමට තීරණාත්මක සාධකය වන්නේ ඇගේ පුහුණුව හා මනා කළමනාකාරීත්වය යි.
නාට්‍ය කියන්නේ ජීවිතේ එදිනෙදා ගැටලූ ගැඹුරින් පොර බඳමින් ඉදිරිපත් කරන්න දැරෙන ප‍්‍රයත්නයක් නේ. සිංහබාහු නාට්‍ය එහෙම නෙවෙයිනේ. මේ තත්ත්වය දකින්නේ කොහොම ද ?
දේශපාලන නාට්‍යයක් ගත්තොත්. කලින් කලට දේශපාලනය වෙනස් වෙනවා නේ. දේශපාලන කාරණා, ඒ කාලය අනුව ඉක්මනින් ම වෙනස් වෙනවා. නමුත් සත්‍ය දේශපාලනය කියනඑක සිංහබාහු නාට්‍ය තුළ තියෙනවා. සිංහබාහු අවසාන වශයෙන් සිංහයා මරන්න යන්වා. එතැනටත් දේශපාලනය ඇතුල් කරල තියෙනවා. සිංහබාහු තමන්ගේ තාත්තා කියල දැනගෙන තමයි, මරන්න යන්නේ. සුප්පාදේවි කියනවා ඒ ඔබේ පියා කියල. එතැනදි සිංහබාහු කියන්නේ මගේ රටවැසියන්ට මම පොරොන්දුවක් දුන්නා, ඒක ඉෂ්ට කරන්න ඕන කියල. ලෙනහැර යන වේලාවේ අම්මා ඇත්ත ප‍්‍රකාශ කරනවා. තමා රාජකුමාරිකාවක් කියල. ඇයට ඇති අයිතිය ගැනත් කියනවා. එතකොට පුතා තාත්තාගේ තියෙන ආදරය, කරුණාවට වඩා ඔහුට ලබන්න තියෙන රජකම ගැන සිතනවා. එතැනටත් යොදා ගෙන තියෙන්නේ දේශපාලනය යි. ඒක සදාතනික දේශපාලනය යි. ඒක පරම්පරාවෙන් පරම්පරාවට එන දේශපාලනය නෙවේ. හැමදාම පවතින දේශපාලනය යි. පිය පුතු ගැටුම සදාතනික යි. තරුණ වෙනකොට දරුවෙක් අම්මා තාත්තා කියන දේ අහන්නේ නැහැ. එය සාමාන්‍ය ස්වභාවය. ඒ නිසා තමයි, අලූතින් එන නාට්‍යය ටික කාලකින් නවතින්නයි, සිංහබාහු නාට්‍ය තවමත් පවතින්නැයි හේතුව. සිංහබාහු නාට්‍යයේ පවුල්වල සදාතනික ගැටුම් සම`ග දේශපාලනය ඇඟවීම් මඟින් ඉදිරිපත් කරල තියෙනවා.
සිංහබාහු නාට්‍යයේ අනාගතය ගැන මොනවාද කියන්න පුළුවන් ?
පාසැල් විෂය නිර්දේශවලින් සිංහබාහු ඉවත් කළොත් ? විෂය මාලාවල නාට්‍ය තිබීම නිසා වැඩිපුර දර්ශණ ප‍්‍රමාණයක් ලැබෙනවා. ඒක ඇත්ත. නමුත් ඇත්තට ම අපි මැරුණත් සිංහබාහු නාට්‍ය පවත්වාගෙන යන්න පුළුවන් මට්ටමට නාට්‍ය කණ්ඩායම සකස් වෙලා තියෙනවා. සිංහබාහු ශෛලීයගත නාට්‍යයක්. ලංකාවේ ශෛලීයගත නාට්‍ය තව තිබුණානේ. අද ඒවා තියෙනවා ද ? ලංකාවේ විවිධාකර වූ නාට්‍ය වේදිකාවේ පෙන්නුවා. ඒ නාට්‍ය සරච්චන්ද්‍ර මහචාර්යතුමාගේ නාට්‍ය තරම් කාලයක් තිබුණා ද? ඒ නිසා සරච්චන්ද්‍ර මහාචාර්යවරයාගේ නාට්‍යය අදටත් පවතින්නේ පාසැල් විෂය නිර්දේශවල පවතින නිසා නෙවේ. ඒක සර්වකාලීන නාට්‍යයක් නිසා. ඇත්තට ම මහචාර්ය සරච්චන්ද්‍රගේ නාට්‍ය නැරඹීම කලාත්මක අභ්‍යාසයක්.
සාකච්ඡුා කළේ මනෝ ප‍්‍රනාන්දු


