අධිකරණ නියෝගයෙන් වනජීවීන්ට හිමිවූ හක්වටුණාව ජලාශයේ ඉඩම් නැවතත් අනවසර වගාකරුවන්ට?

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි කහල්ල පල්ලෙකැලේ අභයභූමිය තුළ පිහිටි හක්වටුණාව ජලාශයට අයත්, වනජීවී නිලධාරීන් විසින් නෙරපුම් නියෝග ලබාගත් ඉඩම් කට්ටි විසි පහක් නැවත ඒවා අනවසරයෙන් අත්පත්කරගෙන සිටි පුද්ගලයින් වෙතම හිමි වීමේ අවධානමක් පැනනැගී ඇත. හක්වටුණාව ජලාශයේ උපරිම ජල මට්ටම දක්වා වන සීමාවද උල්ලංඝනය කරමින් ජලාශ භූමිය තුළ වගාකළ පුද්ගලයන්ට එරෙහිව නඩු පවරා මෙම නෙරපුම් නියෝග ලබාගෙන දැනට වසරකට ආසන්න කාලයක් ගතවී තිබේ. නමුත් මෙම රක්ෂිත භූමිය නැවතත් තම පාලනය යටතට පවරා ගැනීම සඳහා අධිකරණය විසින් නිකුත් කරන ලද නියෝග ක්‍රියාත්මක කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ දක්වා අපොහොසත්වී ඇති බව දැනගන්නට ලැබේ.

එවක හේරත්ගම අඩවි ආරක්ෂකවරයා ලෙස කටයුතුකළ වනසත්ව අඩවි ආරක්ෂක නීතිඥ චතුර චාමින්ද ගුණරත්න මහතා විසින් හක්වටුණාව වැව් රක්ෂිතය අනවසරයෙන් අත්පත් කරගෙන සිටි පුද්ගලයින්ට එරෙහිව අදාළ මහේස්ත්‍රාත් අධිකරණවල පැවරූ නඩු තිහක් පමණ විභාග කර අවසන් කිරීමෙන් පසු මෙසේ අභයභූමියට ඈඳා ගැනීමට නියෝග ලැබී තිබූ භූමි ප්‍රමාණය අක්කර හැටකට ආසන්නය. එයින් මහව මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩු විසි පහකට අදාළ නෙරපීමේ නියෝග 2025. 11. 06 දින සහ 2025. 12. 02 දින ඇතුළත නිකුත්කර ඇත. නමුත් වසරකට ආසන්න කාලයක් ගතවී ඇතත් නියෝග ක්‍රියාත්මක කිරීමට හේරත්ගම වර්තමාන අඩවි ආරක්ෂකවරයා කටයුතු කර නැත. ඒ අනුව වසරක කාලයකින් පසු එම නියෝග කල්පිරීමට නියමිතය.

ප්‍රදේශයේ පවතින විශාල ගැටළුවක් වන අලි-මිනිස් ගැටුමට තිරසාර විසඳුමක් සෙවීම සඳහා අඩවි ආරක්ෂක චතුර ගුණරත්න අනුගමනය කල එක් උපායමාර්ගයක් වන්නේ මෙම කලාපයටම ඇති එකම වනජීවී රක්ෂිතය වන කහල්ල පල්ලෙකැලේ අභයභූමිය සුරක්ෂිත කිරීමය. ඒ සඳහා ඔහු විසින් 1979 අංක 07 දරණ රජයේ ඉඩම් (සන්තකය ආපසු පවරා ගැනීමේ) පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව කහල්ල පල්ලෙකැලේ අභයභූමියට අයත් හක්වටුණාව ජලාශයේ උපරිම ජල මට්ටම දක්වා වන සීමාවද උල්ලංඝනය කරමින් ජලාශ භූමියේ ඉඩම් අනවසරයෙන් අත්පත්කරගත් පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීය.

එහි ප්‍රතිපලය වුයේ ඔහු තක්කඩි දේශපාලුවන්ගේ උදහසට ලක්වීමය. අභයභූමියේ ඇති හක්වටුණාව ජලාශයේ වැව් පිටිය අලි ඇතුන් වෙනුවෙන් වෙන්කර දීමට දැරූ උත්සාහයේදී ආණ්ඩුවේ දේශපාලන හෙංචයියන්ගේ ඉඩම්ද ඊට හසුවීම මෙම වනසත්ව අඩවි ආරක්ෂකවරයාගේ රාජකාරි දිවියේ තීරණාත්මක සංදිස්ථානයක් බවට පත්වීම දෛවයේ සරදමක් වැනිය. ඔහු අනීතික ආකාරයට ස්ථාන මාරු කරවීමට පසුගිය වසරේ ජුනි 13 වැනිදා රැස්වූ කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී තීන්දුවක් ගැනුණේ ඒ අනුවය. එහිදී නාට්‍යානුසාරීව වනජීවී අපරාධකරුවන්ට අනුකම්පාව උපදවමින් හා වනසත්ව අඩවි ආරක්ෂක නීතිඥ චතුර ගුණරත්නට  අභූත චෝදනා එල්ල කරමින් අමනෝඥ දේශපාලුවන් ඔහුව දංගෙඩියට නියම කරමින් කැකිල්ලේ තීන්දු ගත්තෝය. 2025 සැප්තැම්බර් නමවැනි දාතමින් ඔහු අනීතිකව ස්ථානමාරු කිරීමේ ලිපිය වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් නිකුත් විය. ඒ පරිසර අමාත්‍යාංශය මගින් සිදුකරන ලද අංක ENV/INV/02/03/DWC/25/03 හා 2025. 08. 25 දිනැති මූලික විමර්ශන වාර්තාව පදනම් කරගනිමිනි.

විවිධ දේශපාලන වේදිකා වලදී වනසත්ව අඩවි ආරක්ෂක නීතිඥ චතුර ගුණරත්න පැවරූ නඩු සම්බන්ධයෙන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ම ඉදිරිපත්කළ අසත්‍ය ප්‍රචාර, ඔහුට එරෙහිව ජනගත කළ වැරදි තොරතුරු පසෙකලා ඔහු සන්තකය ආපසු පවරාගැනීම සඳහා පැවරූ සෑම නඩුකරයකම තීන්දු මහේස්ත්‍රාත් අධිකරණ මගින් ලබාදී ඇත. ඒ වනසතුන්ගේ යහපත පිණිස විනා බොරුවම වැපිරූ දේශපාලන තක්කඩියන්ගේ හිතසුව පිණිස නොවේ. නීතිඥ චතුර ගුණරත්න මහතා තම ස්ථාන මාරුව ලැබීමට පෙර නඩු පහකට අදාළ නෙරපීම් නියෝග ක්‍රියාත්මකකර තිබූ නමුත්, ඉතිරි නඩු විසි පහට අදාළ ඉඩම් නැවත අභයභූමියට එක්කර ගැනීම වසරක් ගතවෙද්දීත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අතපසුවී තිබීම කණගාටුවට කරුණකි. ඒ අනුව 2025. 11. 06 දින ලබා දුන් නඩු හතකට,  2025. 11. 12 දින ලබා දුන් නඩු දෙකකට, 2025. 11. 19 දින ලබා දුන් නඩු 14 කට, සහ 2025. 11. 26 හා 2025. 12. 02 දිනවල එක බැගින් නඩු වලට ලබාදුන් අදාළ නෙරපීම් නියෝග වසරක කාලයක් ගතවීම හේතුවෙන් කල්පිරීමේ අවධානමක් පවතී.

මූලික විමර්ශනයකට යටත්ව ස්ථාන මාරු සිදුකර වාර්ෂික වැටුප් වර්ධක පවා අහිමි කර, විටින් විට සංශෝධනය කරමින් චෝදනා පත්‍ර ලබා දෙමින් වනසත්ව අඩවි ආරක්ෂක නීතිඥ චතුර ගුණරත්න මේ දක්වාම කුරුණෑගල සහකාර අධ්‍යක්ෂ කාර්යාලයේ අඩස්සියට පත්කර තිබුණද ඔහුගේ සංරක්ෂණ මෙහෙවර ඉන් නැවතී නැත. එම කාලසීමාව තුල ඔහු විසින් වනජීවී අපරාධ සම්බන්ධයෙන් පවරා ඇති නඩු ගණන සියයකට වැඩිය. නමුත් එම නිලධාරියාට දඬුවම් කිරීමට කඩිනම්වූ වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා වසරකට ආසන්න කාලයක් ඉක්මගොස් තිබියදීත් ඔහු විසින් සටන් කර ලබාගත් රක්ෂිත භූමිය නැවතත් දෙපාර්තමේන්තුවේ පාලනය යටතට පවරා ගැනීම සඳහා අධිකරණය විසින් නිකුත් කරන ලද නියෝග ක්‍රියාත්මක නොකිරීම විමතිය දනවයි. ඒ සඳහා සැබැවින්ම ක්‍රියාත්මක වියයුතු වර්තමාන හේරත්ගම අඩවි ආරක්ෂකවරයා සම්බන්ධයෙන් ද ඔහු කිසිඳු විනය ක්‍රියාමාර්ගයක් ගෙන ඇති බව දැනගන්නට නැත.

වනසත්ව අඩවි ආරක්ෂක නීතිඥ චතුර ගුණරත්න මහතාට එරෙහිව සිදුකළ මූලික විමර්ශනයේදී පවා ඔහු “ගෙන ඇති ක්‍රියාමාර්ග පවතින නීතියට පටහැනි නොවන බව” අනාවරණයවී ඇත. ඔහු ඇතැම් පුද්ගලයන්ට “වෙනස්කොට සලකා ඇති බව” පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ. ආර්. උඩුවාවල විසින් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කර ඇති විමර්ශන වාර්තාවේ සඳහන් වේ. නමුත් එසේ සඳහන් කර ඇත්තේ ද හක්වටුණාව ජලාශයේ උපරිම ජල සීමාව පවා අතික්‍රමණය කරමින් අනවසරයෙන් ඉඩම් අත්පත්කරගෙන සිටි පුද්ගලයින් සම්බන්ධයෙන් නොවේද යන්න ඕනෑම නොදරුවෙකුට වුව වැටහේ. නමුත් බළලා මල්ලෙන් එළියට පනින්නේ දැන්ය. ඒ කහල්ල පල්ලෙකැලේ අභයභූමිය තුල පිහිටි එම ඉඩම් ඇතුළු මිනිසුන් විසින් අනීතිකව අත්පත්කරගෙන සිටින ඉඩම් අදාළ පුද්ගලයින්ටම ලබා දීමට මේ වන විටත් ආණ්ඩුව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අතර සාකච්ඡා පැවැත්වෙමින් හා මැනුම් කටයුතු සිදු කෙරෙමින් පවතිනබව වාර්තා වීමත් සමගය.

ඒ අනුව එක් පසෙකින් වනසත්ව අඩවි ආරක්ෂක නීතිඥ චතුර ගුණරත්න වැනි අභීත සහ කාර්යශූර නිලධාරීන් වනජීවී අපරාධකරුවන් හමුවේ දන ගස්වා, ඔහු විසින් සටන් කර ලබාගත් රක්ෂිත භූමිය නැවතත් අනවසර වගාකරුවන් අතට යාමට ඉඩ හැර ඇත්තේ කහල්ල පල්ලෙකැලේ අභයභූමිය තම දේශපාලන හෙංචයියන්ට බෙදා දීමේ ව්‍යාපෘතියක කොටසක් ලෙස බවට වන සැකය පිටුදැකිය නොහැකිය.

එසේ නම් 2025. 10. 10 දින මහත් උත්සවාකාරයෙන් ආරම්භ කෙරුණු “වැව් රක්ෂිත සීමා සලකුණු කිරීම හා සංරක්ෂිත ප්‍රදේශ ආරක්ෂා කරගැනීම” වැනි ව්‍යාපෘතිවල අරමුණ කුමද? ‘හස්ති සේනා’ ආදී නොයෙකුත් නම් වලින් ආණ්ඩුව පෙන්වන ඊනියා පරිසර සංදර්ශන කවුරුන් රවටනු පිණිසද? කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරි මාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය (SARP) සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව සිදු කිරීමට යන ‘වනාන්තර පෝෂණය හා ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණය සඳහා වන SARP ව්‍යාපෘතිය’ වැනි ඒවා හුදු සංදර්ශන පමණද? යන්න විමසීමට අපට සිදුවේ. තවද නීතියේ සහ විධානයේ ආධිපත්‍ය පිළිබඳ ආණ්ඩුව දෙසන වහසි බස් ද අරුත් සුන් බවට පත් නොවන්නේද?

එබැවින් එඩිතර වනජීවී නිලධාරීන් අධෛර්යමත් කරවන, අනාගතය සඳහා බරපතල නරක පූර්වාදර්ශ සපයන හක්වටුණාව ජලාශයේ ඉඩම් කොල්ලය පිටුදැකීම සඳහා වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා දැන්වත් කඩිනමින් අධිකරණය විසින් නිකුත් කරන ලද එම නියෝග ක්‍රියාත්මක කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

සුපුන් ළහිරු ප්‍රකාශ්

————————————————————————————————-

කහල්ල පල්ලෙකැලේ අභයභූමිය හා ඒ තුළ පිහිටි හක්වටුණාව ජලාශයට අයත් භූමිය අනාරක්ෂිතවීම හේතුවෙන් ප්‍රදේශයේ සැරිසරන රට්ථ ලෙස හඳුන්වන තරුණ දළ ඇතුගේ ජීවිතයද අවධානමක වැටී තිබේ.

ඡායාරූපය: සාරංග දේව ද අල්විස්

Share post:

Popular

වෙනත් පුවත්

අනුරගේ මර්ධන පනත් සංශෝධන කතාවලට පුබුදුගෙන් උත්තර 

රජය විසින් සම්මත කර ගැනීමට උත්සාහ දරන මර්දන අණ...

වසන්ත මුදලිගේ පාර්ලිමේන්තුව ළගට ගිහින් ආණ්ඩුවට දුන්න පණිවිඩය

" රාජ්‍ය ත්‍රස්තවාදී PSTA - PTA පනත් ඉරා දමනු...

ආණ්ඩුව සිරසට පාර කියලද?

ආසියානු විකාශකයින්ගේ සංගමයේ 63 වන සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම...

කෙහෙළිය රනිල්ව පාවලා දෙයි

ප්‍රශ්නගත හදිසි ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා වන අමාත්‍ය මණ්ඩල...