Tag: 21

  • මහන්සි නොවී ලාබෙට ගත හැකිද වීරත්වය – එක අපි මාරයි කියමුද?

    මහන්සි නොවී ලාබෙට ගත හැකිද වීරත්වය – එක අපි මාරයි කියමුද?

    පාස්කු ප්‍රහාරයේ දෙවර්ෂ පූර්ණය නිමිති කරගෙන කාදිනල් රඟ දැක්වූ දේශපාලන ජවනිකාවට අමතරව නන්දා මාලනී ගේ හඬින් එළි දැක්වූ පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු නොවීම පිළිබඳ විරෝධය ගොනු කළ ගීතය කැපී පෙනෙන දෙවර්ෂ පූර්ණ අංගයක් බවට පත්වී තිබේ. සුනිල් ආරියරත්න, රෝහණ වීරසිංහ , නන්දා මාලනී යන මේ තුන් කට්ටුව පාස්කු ප්‍රහාරයට වසර දෙකක් ගිය තැන ඊට යුක්තිය ඉටු නොවීම ප්‍රශ්න කර සිටින්නේ ප්‍රහාරය මතින් බොහෝ දේශපාලන වෙනස්කම් සිදුවී තිබෙන මොහොතකයි . මේ ගීතය පිළිබඳව සමාජ කතාබහේ පවතින්නේ පාස්කු ප්‍රහාරයෙන් අහිමි වෙච්ච අහිංසක ජීවිත වලට නීතිය සාධාරණය ඉෂ්ට නොවීම පිළිබඳව ආණ්ඩුවට එරෙහි විරෝධය නන්දාමාලනි ගීතයකට ගොනු කර ඇතැයි යන්නයි. නමුත් මෙම ගීතය නිර්මාණය වෙන්නේ ඉහත තුන් කට්ටුවේ උවමනාවකට නොව කොළඹ අගරදගුරු පදවියේ ජනසන්නිවේදන කේන්ද්‍රය මැදිහත්ව මැල්කම් කාදිනල් රංජිත්ගේ උවමනාව වෙනුවෙනි.

    මේ දෙවර්ෂ පූර්ණය සමරනු වස් නිර්මාණය කළ ගීතයට මැදිහත් වු කලාකරුවන් පිළිබඳව වීරත්වයෙන් මෙන්ම, විවේචනාත්මකවද කරුණු ඉදිරිපත් වෙමින් තිබේ. මෑත ඉතිහාසය තුළ දර්ගා ගිනි තැබීමේ සිට පාස්කු ප්‍රහාරය දක්වා සිදු වූ ගිනිතැබීම්, අවිලීම්, තැලීම්, පොඩි වීම්, වලට එරෙහිව පැන නැගුණු විරෝධය තුළ සිටියේ කවුරුද …………. ඒ ගැන සිතා බලන්නට ඉඩ තබමින්. පහත සටහන තබමි .

    යුක්තිය වෙනුවෙන්

    දිව්‍ය පූජා යාගයට ආ බැති මතුන්
    කැටුව ආ මව්පියන් දරුවන් අහිමි වී
    සදා සෝගිනි කඳක දැවෙමින් වැලපෙමින්
    රටම අන්දය ගොළුය බිහිරිය මන්ද ඒ

    කොහිද යුක්තිය…
    කොහිද ධර්මය…
    කොහිද නීතිය විමසනූ…

    අන්තවාදී අධම නොමිනිස් කැලකගේ
    මානසික බල වියරුවේදී ගොදුරුවූ
    අහින්සකයන් නාමයෙන් ඇස් හැර බලව්‍
    දඬුවමක් විඳ ඇද්ද කිසිවෙක් ඔවුන්ගෙන්

    කොහිද යුක්තිය…
    කොහිද ධර්මය…
    කොහිද නීතිය විමසනූ…

    සුසානය මැද සොහාන් කඳු මත වැලපෙතී
    ස්වාමිවරු සිය බිරිඳ දරුවන් අහිමි වූ
    කුරුරි ඝාතක කැලම නිදහස් සුව විඳී
    නොලැබ දඬුවම් රටට පිටුපා සිනාසී

    කොහිද යුක්තිය…
    කොහිද ධර්මය…
    කොහිද නීතිය විමසනූ…

    නොරැවටෙමු අපි වංචනික රස මුසු බසින්
    ඇවිද යමු අපි නැගෙන බාදක බිඳලමින්
    පිබිද එමු අපි දෙව් මැදුරුවල අළු මතින්
    අවිදිවෙමු අපි නිහඬ නිද්‍රා සිහිනයෙන්

    කොහිද යුක්තිය…
    කොහිද ධර්මය…
    කොහිද නීතිය විමසනූ…

    රෝහණ වීරසිංහගේ youtube නාලිකාවේ මේ ගීතය පළකර තිබෙන තැන ගීතයට යටින් තිබෙන ගීතයේ රස විඳි අයගේ අදහස් කියවා බලද්දි (ජාතියක් අවධිකල ජාතියේ පිනට පහළ වූ අම්මා… මේ තාක් ඔබට හොද කිව්ව අපේ රටේ මිනිස්සු හෙට සිට තමන්ගේ දේශපාලන වහල් බව නිසා මඩ ගසන්න පටන් ගනී.. මේ මහා දිරිය කාන්තාව රැක ගැනීම අපේ යුතුකමයි. “යුක්තිය වෙනුවෙන් ” ගීතයට යටින් පළකර තිබූ අදහසකි ) නන්දා මාලනී සමාජයේ වැජඹෙන තැන සහ නන්දා මාලනී පිළිබඳව සමාජය හිතාගෙන ඉන්න දේ වටහාගන්න පුළුවන්. ලංකාවේ නූතන විරෝධාකල්ප ගීත ඉතිහාසයේ ආරම්භය ජනතා විමුක්ති පෙරමුණේ ” විමුක්ති ගී “ඉතිහාසය කීම වරදක් නොවේ. මෙන්න මේ ආභාෂය ඇතුලේ, පැවැති දේශපාලන සන්දර්භය තුළ, එකල පැවැති ජනතා විරෝධය ද හොඳ හැටි හඳුනාගෙන ” පවන “නිර්මාණ එකතුව තුලින් ආණ්ඩු විරෝධී ලේබලය ද සමගින් ජනගත වෙන නන්දා මාලනී, රෝහණ වීරසිංහ, සුනිල් ආරියරත්න ගොඩනගා ගන්නා සිවිල් සමාජ බලයේ අත්තිවාරම සැකසෙන්නේ එතනය. ඒ අනුව ඔවුන් ජනතාවාදී කලාකරුවන් ලෙස ද අභිෂේක ලැබීය .

    පහත ඇත්තේ නන්දා මාලනී ,රෝහණ වීරසිංහ, සුනිල් ආරියරත්න එකතුව කළ “රට කරවන්ට නම්.. ” ගි නිර්මාණයේ පද කීපයකි.

    පවරා සිංහරාජය ලී මෝළකට…
    දුන්හිඳ ඇල්ල හරවා ජල විදුළියට…
    සමනළ කන්ද බදු දෙමු හෝටලයකට…

    මේ පද වලින් කියවෙන සියල්ල අද සිදුවී හමාරය. සිංහරාජය බේරාගැනීමේ යුද්ධයක පැවති සහ පවතින ආණ්ඩු සමඟ රටේ මිනිස්සු පොර බදමින් සිටී . නමුත් මේ ජනතාවාදී නිර්මාණකරුවන් කිසිවෙකුත් එම අරගල තුල දායකයෝ නොවෙති. ඔවුන් සිටියේ සිංහරාජයේ සමනල කන්දේ හෝටන්තැන්නේ ඝාතකයන් සමඟ හෝ එසේත් නොමැති නම් මේ සිදුවන දේවල් නොදැක්කා සේ ය .මේසේ පවසන විට කෙනෙකුට මා ප්‍රශ්න කළ හැකිය කලාකරුවෝ උද්ඝෝෂකයෝ නොවෙයි, ඔවුන් වෙනත් මාධ්‍යයකින් ජනතාව අවදි කරවන්නන් කියා. නමුත් ජනතාවාදී ලේබලය අලවන් පැමිණ ජනතාව නානු කරන වංචාවට එරෙහි විය යුතුය .

    අපට මේ පිළිබදව මෙසේ කතා කරන්නට සිදුවන්නේ සමාජයට පෙන්වන සුචරිත වෙස් මුහුණට ඔවුන්ගේ සැබෑ මුහුණ වැසී තිබීම හේතුවෙනි. “යුක්තිය වෙනුවෙන් ” ගීතය නන්දා මාලනී ගායනා නොකර යම් හෙයකින් ඒ ගීතය ගායනා කළා නම් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් බවට පත්වී සිටින ජනතාව සමාජය මිට වඩා කම්පනයට පත් කරන්නට ඉඩ තිබුණි. පාස්කු ප්‍රහාරය ජනප්‍රිය මාතෘකාවක් බවට පත් කරගෙන සිටින කාදිනල් වරයාට ඒ වෙනුවෙන් නිර්මාණය කරන ගීතය යුක්තිය ඉල්ලා ජනතාව පෙළ ගැසෙන ප්‍රබල ගීතයක් කරනවාට වඩා ජනප්‍රිය ගීතයක් බවට පත්කරන්නට උවමනා වී තිබෙන්නට ඇති. ඒ නිසා මේ සිවිල් සමාජ බලයක් නිර්මාණය කරගෙන සිටින නිර්මාණකරුවන් තිදෙනා ඊට දායක කරගත්තා යැයි අපට අනුමාන කිරීමට ද හැකියි.

    මේ බොහොමයක් ජනතාවාදී කලාකරුවන් පිළිබඳව සමාජය දැන සිටින දේත් ඔවුන්ගෙන් බලාපොරොත්තු වන දේ පවතින්නේ විශාල පරතරයකයි . කල දුටු කල වල ඉහ ගන්නට පෙළඹෙන මොවුන් කල් යල් බලා පැමිණ ඛේදවාචක මතින් ප්‍රතිරූප ගොඩ නගා ගන්නවා මිස පොදු ජනතාවට ඔවුන්ගේ පිහිට උදව් අවශ්‍ය වන විට සක්‍රීයව එතන මැදිහත් නොවේ. අපට මොවුන්ගේ භාවිතාවන් තුළින් හමු වී තිබෙන්නේ සමාජ දේශපාලන අගාධයක් නිර්මාණය කර ඇති රට තුළ ඒවා නිර්මාණය කරන්නට සියලු යටිතල පහසුකම් නිර්මාණය කළ දේශපාලන බලවේග වලට එරෙහි නොවී එහි පැවැත්ම සඳහා දායකත්වය සපයපු අත්දැකීම්ය.

    මේ ගීතයේ පද අතර පාස්කු ප්‍රහාරයේ වගඋත්තරකරුවන් මඟ හරින, ඒ මතින් දේශපාලන වාසි ලබන, සත්‍ය හෙළි නොකර, නීතිය එහාට මෙහාට වනන දේශපාලන අධිකාරියට දැනෙන කිසිවක් නොමැත. නමුත් පාස්කු ප්‍රහාරය හේතු කරගෙන මතුවුණ මුස්ලිම් විරෝධී ආකල්පය තව දුරටත් නොනසා පවත්වාගෙන යන්නට අවශ්‍ය කරන වාක්‍ය කාණ්ඩ කිහිපය ඇතුළත් කරන්නට සුනිල් ආරියරත්න වගබලාගෙන තිබේ .

    අන්තවාදී අධම නොමිනිස් කැලකගේ
    මානසික බල වියරුවේදී ගොදුරුවූ
    අහින්සකයන් නාමයෙන් ඇස් හැර බලවු
    දඬුවමක් විඳ ඇද්ද කිසිවෙක් ඔවුන්ගෙන්

    දෙමළාට විරෝධය එල්ල කරන විට සිංහල සමාජය භාවිතා කරන පොදු වචනය තමයි බෙදුම්වාදීයා , ත්‍රස්තවාදියා අයන්න, මුසල්මානුවාට එරෙහිව සිංහල සමාජය අන්තවාදීයා භාවිතා කරන අතර මරාගෙන මැරෙන මුස්ලිම් ජාතිකයන් මානසික ලෙඩුන් බව පැවසීම ලෝක මතයද පවතින්නකි. මරාගෙන මැරෙන මුස්ලිම් ජාතිකයන් ස්වර්ගයේදී කන්‍යාවන් බලාපොරොත්තු වීම කියන එක ජනප්‍රිය කතාවක් ඒ හා බැඳුණු විඤ්ඤාණය මානසික ලෙඩක් ලෙස අර්ථ නිරූපණය කරන්න යොදාගනු ලබයි. සුනිල් ආරියරත්න බොහෝ අවස්ථාවල දී භාෂාව තමන්ගේ උවමනාව වෙනුවෙන් යොදාගත් උදාහරණ අපට තියනවා . ඔහු අතින් ලියැවෙන රට කරවන්නනම් ගීතයේන් ඔහු නියෝජනය කරන සුභාවිත ගීතය ඉහළින් තියා බයිලා ගීතය ඊට යටත් කළ හැටි පහත පද පෙළ හොඳින් කියවන විට වැටහෙයි. බයිලා යනු විනාශකාරී කලා මාධ්‍යයක් බව ඉන් හැඟවෙයි.

    දළදා මැදුර අධිකව මිල කළ හැකිය
    සිරි මහ බෝධියේ ලංසුව පැහැදිලිය
    කලුගල් වලට විකුනා ගෙන සීගිරිය
    සීගිරි කුරුටු ගී බයිලා කළ හැකිය

    භාෂා ප්‍රයෝග තුළින් දෙමළාව යටත් කළ හැටි පහත පද පෙළෙන් අපූරුවට විග්‍රහ කරගත හැකිය.

    බමුණා උනත් දුදනෙක් නම් බිම හොවනු
    සැඩොලා වුනත් සුදනෙකු නම් පුටුව දෙනු
    හෙළයා වුනත් ජඩයෙකු නම් පහර දෙනු
    දෙමළා වුනත් විරුවෙකු නම් ගරු කරනු

    පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු නොකිරීමට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ ගොඩ නැගුණු විරෝධය මීට වඩා ප්‍රබලය. ගීතයෙන්ම වචන කිහිපයක් ගෙන ගීතය පිලිබඳ පවසන්නේ නම් එය ” වංචනික රස මුසු බස් ” පවසිමක් පමණි.

    ක්ෂුද්‍ර මූල්‍ය ණය මාපියාව හේතුවෙන් රටේ විවිධ පළාත් වල මිය ගිහින් තිබෙන කාන්තාවන් ප්‍රමාණය නිල දත්තවලට අනුව දෙසීයකටමදක් වැඩි වුනත් මෙහි ඇත්ත මරණ ප්‍රමාණය වැඩිය. මෙම ජාවාරමට හසුවී තිබෙන දුගී දුප්පත් අසරණ පවුල් ප්‍රමාණය ලක්ෂ 25කට වඩා වැඩිය. මේ වර්තමාන ආණ්ඩුව බලය ලබා ගැනීම සඳහා පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය අයව පාවිච්චි කළා පමණක් නොව ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදයේ සිරවී සිටින මිනිසුන්වද තවත් බොහෝ සමාජ ගැටලු ද පාවිච්චි කර බලයට පැමිණියේය . ඒවා බලය ලබා ගැනීම වෙනුවෙන් මිනිස්සුන්ට කළ වංචා ය. නමුත් මේ ජනතාවාදී කිසිවෙක් මේ වංචා වලට එරෙහි වන්නේ නැත. ජනප්‍රිය නැති ශුද්ධ මූල්‍ය ණය අහෝසි කරන්නට ආණ්ඩුවට බලකරන උද්ඝෝෂණ වලට දායකත්වය සපයමින් මේ අසාදරණයට පත් මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්නට අවශ්‍ය කරන ශක්තිය සපයන්නේ නැත. රාජ්‍ය ප්‍රතිපත්ති වල පවතින වැරදි හේතුවෙන් මතුව ඇති අලි මිනිස් ගැටුම් අවම කිරීම සඳහා වන රක්ෂිත නම් කිරීමට ආණ්ඩුවට බලකරන උද්ඝෝෂණ වලට මේ ජනතාවාදීන් සහයෝගය දක්වන්නේ නැත. ඒ උපවාස ළඟ නිදි මරන්නේ නැත.

    අපට මොවුන් පිළිබඳව පෞද්ගලික තරහ නොමැත. නමුත් ඔවුන් සමාජ අර්බුද දේශපාලන උවමනාවන් වෙනුවෙන් නිර්මාණය කළ ඛේදවාචක මතට හදිස්සියේ පැමිණ කරන රඟපෑම දිරවන්නේ නැත. එසේම මෙවැනි සිදුවීම් අරුමපුදුම නොවන බවත්, ජනතාව විශ්වාසය තබා සිටියි බලවේග සංවිධාන දියවෙමින් දියාරු වෙමින් යන තත්ත්වයක් තුළ අවදි කරන විට නැගිට ඇවිත් තමන්ගේ නොවන අනුන්ගේ උවමනාවකට පෙනී සිට නික්ම යෑම සාමාන්‍ය දෙයකි.

    කළා කරුවණනී
    ————–
    රචකයාණනි
    ජාතිවාදයෙන්
    මරාගන්න හැටි
    බලාන ඉන්න

    මැරුණු එවුන්ගේ ලේ
    පන් හිඳට ගෙන
    ගීතයක් ලියන්න

    වදකයාණනි
    ආගම්වාදීන්
    ගිනි තියනා හැටි
    බලාන ඉන්න

    ගින්න මැදින් එන
    අදෝනාව ගෙන
    කනට මිහිරි
    සංගීත තනුව ගොතන්න

    ගයකයණනි
    පාලූ ලොවේ ඔබ තනිවෙලා ඉන්න
    ජාතිවාදයේ ගිනි නිවුනට පසු
    මළවුන්ගේ මිනි වැලලූ පසු
    මියුරු හඩින්
    උන් වෙනුවෙන්
    දුක් ගීය ගයන්න
    ජාතික සමගියේ
    අරුත් කියා දෙන්න

    (හිල්මි සුපුන් – නයිස් කෑවා මතක නැතිලු කාව්‍ය සංග්‍රහයේ කවියක්)

     

  • උතුරේ මිනිමරුවන් දකුණේ මිනීමරුවන් සමානය වෙනසකට ඇත්තේ මරණ සිදුවූ වර්ෂයේය

    උතුරේ මිනිමරුවන් දකුණේ මිනීමරුවන් සමානය වෙනසකට ඇත්තේ මරණ සිදුවූ වර්ෂයේය

    අද 2021 අප්‍රියෙල් මාසයේ විසි එක් වෙනිදා , ම්ලේච්ඡ අන්තවාදී මෙන්ම දේශපාලන උවමනාවන් වෙනුවෙන් අහිංසක ජීවිත තුන්සියකට ආසන්න ප්‍රමාණයක් බිලි අරගෙන අද දිනයට වසර දෙකක් සම්පූර්ණ වෙනවා. මේ අපුල අත්දැකීමට මැදිහත් වුණු අනුබල දුන්, මේ මිනිස් ජීවිත අහිමි වීමේ ඛේදවාචකය ලැජ්ජා විරහිතව තමන්ගේ දේශපාලන බල වුවමනාවන් වෙනුවෙන් පාවිච්චි කළ ඒ නරුම මිනිස් කැල අදටත් යහතින් එකට සහයෝගයෙන් මළවුන් වෙනුවෙන් යුක්තිය ඉල්ලන ජීවතුන් අතර ඉන්න මිනිසුන්ව නොමඟ යවමින් සිටී.

    මේ ගෙවුණු දෙවසර තුළ ඒ ම්ලේච්ඡ ප්‍රහාරයේ සැලසුම් කරුවන් හෙළිදරව් කරන්නට නිවැරදි ශක්තිමත් බලවේගයක් නිර්මාණය කරනවා වෙනුවට මල අහිංසක මිනිසුන්ගේ උරුමය තමන්ගේ අතේ තබාගෙන එය පාරට්ටු කරන කාදිනල් ඇතුළු පිරිස කළේ මෙහි සැබෑ වගඋත්තරකරුවන්ට ගැලවී යෑමට අවශ්‍ය කරන මග නිර්මාණය කිරීමයි. ඒ මල උන්ගේ ජීවිත මතින් දේශපාලන උවමනාවන් ඉෂ්ට කර ගැනීමට දේශපාලකයන්ට අතහිත ලබා දීමයි. සැබෑ ජනතා විරෝධය ව්‍යාජ විරෝධයන් මත ගොනු කර දියාරු කර හැරීමයි. අවසාන දින තුන තුළ එය වඩා හොඳින් කැපී පෙනිණි .

    මෙම සැලසුම් සහගත ත්‍රස්ත ක්‍රියාවට එරෙහිව ඊට අනුබල දුන් දේශපාලන අන්තවාදී මතවාද නිර්මාණය කළ උන් ඇතුළු සියලු බලවේග, නීතිය හමුවට ගෙන ඒමට පැවති, පවතින ආණ්ඩුවට බලපෑම් කිරීමට කළ යුතුව තිබුණේ සමස්ත රටවැසියා ඒකරාශී කරගත් බලපෑමක් එල්ල කරන්නට සංවිධානගත වී වැඩ කිරීමයි. මේ දෙවසරක් ගෙවන අද දිනයේදී සිදුවෙමින් පවතින්නේ යුක්තිය වෙනුවට සාධාරණය වෙනුවට වැරදිකරුවන්ට දඬුවම් දීම වෙනුවට මෙලෙච්ඡ ප්‍රහාරය ජනතාවගේ මතකයෙන් ගිලිහී යන තෙක් ජනතාව මං මුලා කරන දේශපාලන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමයි.

    2022 අප්‍රියෙල් මාසේ විසි එක් වෙනිදා මේ අකාලයේ මිය ගිය ජීවිතවලට සාධාරණය ඉෂ්ට කළා යැයි කියමින් එදින ඉටිපහනක් දල්වන්නට කෙනෙකු සිතන්නේ නම් මේ දිනපතා සංවිධානාත්මකව නිර්මාණය කරන දියාරු බලවේගයන් වලට යටත් නොවී නිවැරදි නායකත්වයක් තෝරාගෙන ම්ලේච්ඡ ප්‍රහාරයෙ වගඋත්තරකරුවන්ට දඩුවම් ලැබෙන තෙක් සටන් කිරීමට අවශ්‍ය කරන සංවිධාන ශක්තියක් ගොඩනඟා ගැනීමයි. එය කළ හැකි වන්නේ පාස්කු ප්‍රහාරයෙන් මියගිය අයට තනිව විමුක්තිය අත්පත් කර දීමට තනි සටනක් නිර්මාණය කිරීමෙන් නොව. සමස්ත රටේම තැන් තැන් වල දේශපාලන උවමනාවන් වෙනුවෙන් තමන්ගේ සමීපතමයන් සහෝදරයන් දරුවන් අහිමි වී හඬන මව්වරු පියවරු එකට ඒකරාශී කරගෙන නගන සාමූහික හඬකිනි.

    උතුරේදී දේශපාලන සිරකරුවන් ලෙස අත්අඩංගුවට ගෙන මරා දැමූ මිනිසුන්ගේද, කිසිදු චෝදනාවක් එල්ල නොකර රඳවා සිටින ඒ දෙමළ ජනතාවගේ ද, කිසිදු හේතුවක් නොදක්වා අතුරුදහන් කළ සියලු මිනිසුන්ගේ ද, දකුණේ දී පැහැර ගෙන ගොස් මරා දැමූ මිනිසුන්ගේද, විවිධ දේශපාලන උවමනාවන් වෙනුවෙන් මහමග තැන තැන මරා දැමූ සියලු පුද්ගලයන්ගේ ද, යුක්තිය වෙනුවෙන් කඳුළු සලන සැම මේ අරගලය වෙනුවෙන් එක් විය යුතුය. මේවා සම කළ නොහැකි අසමානකම් තියෙන දේශපාලන අන්තවාදී ම්ලේච්ඡ මිනීමැරුම් වුවද, අතුරුදන් කිරීම් වුවද, පැහැරගැනීම් වුවද , සිරගත කිරීම් වුවද, රටේ මිනිසුන්ගේ නෙත්වල කඳුළු හොල්ලන දේශපාලන අපරාධය .

    ජාතිය ආගම වෙනස් වුවද, ජිවත්වන ප්‍රදේශය වෙනස් වුවද, මරණයට පත් වූ ස්වභාවය වෙනස් වුවද , මේ හැම කෙනෙක්ගේම ගහලයා සමානය. මේ හැම කෙනෙක් වෙනුවෙන්ම ඔවුන්ගේ දෙමව්පියන්ගෙන් ඥාතීන්ගෙන් සහෝදරයින්ගෙන් හිතමිත්‍රාදීන්ගෙන් වැටෙන කඳුළු බිංදු සමානය. එපමණක්ද නොව මොවුන් යුක්තිය වෙනුවෙන් හඬ ගන්නෝය. යුක්තිය ඉල්ලා හඬා වැටෙන්නෝය. එහෙයින් අප කාටත් ඇත්තේ එකම අරමුණක් වෙනුවෙන් විවිධ තැන්වලින් පැන නගින අරගලයකි. එය ඒකරාශී කර නිර්මාණය කරන බලවේගය තුළ යුක්තිය ඉටු නොකර කිසිවෙකුට මග හැර යෑමට නොහැකි වේ .

     

  • රිෂාඞ්ගේ සොහොයුරා මුදාහැරීම දේශපාලන ඩීල් එකක් – අගරදගුරුගෙන්  සැක සහිත චෝදනාවක්

    රිෂාඞ්ගේ සොහොයුරා මුදාහැරීම දේශපාලන ඩීල් එකක් – අගරදගුරුගෙන්  සැක සහිත චෝදනාවක්

    රිෂාඞ්ගේ සොහොයුරා  හදිසියේම මුදාහැරීම සම්බන්ධයෙන්  විශාල සැකයක් මතුවන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසා තිබෙනවා. වැඩිදුරටත් අදහස් දක්වමින්  එතුමාණන් පවසන්නේ  මේ මුදාහැරීම පිටුපස දේශපාලන ඩීල් එකක් තියෙනවා ද යන්න සැක සහිත බවයි.

    පාස්කු ඉරුදින  ප්‍රහාරය  සම්බන්ධව  දැඩි චෝදනා ලැබ අත්අඩංගුවේ සිටින පුද්ගලයන්  ධිකරණ ක්‍රියාවලියකින් තොරව හිටිහැටියේ නිදහස්  කිරීමේ ප්‍රවණතාවක් අපි ඊයෙ පෙරේදා දැක්කා.  මේ සම්බන්ධයෙන් පළමුවෙන් ම අපේ බලවත්  ප්‍රසාදය සහ විමතිය පළ කරනවා.  මේ මෑතක දී හදිසියේම නිදහස් කර යැවූ පුද්ගලයන් පිළිබඳව මුලින් කියන්නා වූ දේවල් සහ දැන් කියන්නා වූ දේවල් අතර පරස්පරයක්  තියනවා.  නිදහස් කර යැවූ එක් පුද්ගලයෙක් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමා කියූ දේවල් සාක්ෂි හැටියට අපි ළඟ තියෙනවා. ‍ඒවා යම් ප්‍රවෘත්ති වලත් ගියා ඒ අනුව අපට පැහැදිලි වෙනවා මේ වල පරස්පරතා තිබෙන බව.

     මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ ප්‍රකාශ කර සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැඩපිළිවෙළ පිළිබඳව ද සැකයක් මතුවන බවයි. මේ තුළ යම් ආකාරයක දේශපාලන ඩීල් එකක් තියෙනවද කියන සැකයකුත් උන්වහන්සේට මතුවී තිබෙන බව ප්‍රකාශ කර තිබෙනවා.  පාස්කු ප්‍රහාරයේ  වර්තමාන තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර තිබුණා.