කළ්‍යාණි රූපසිංහ පසුගියදා ඇයගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණා සංග්‍රහය “මලක් සේ පැවතීම මරණීය වරදකි” යන මැයෙන් යුතුව ප්‍රකාශයට පත් කළාය.
කාව්‍ය නිර්මාණ පනස් දෙකකින් යුතු මේ කාව්‍ය සංග්‍රහය අපට කියා පාන්නේ, තවත් අලුත් කිවිඳියකගේ පැමිණීමක් ගැන පමණක් නොව, සමාජය දෙස හා එහි විපරීතයන් දෙස නව කෝණයකින් බලන මනුෂ්‍ය සම්බන්ධතා හා ගැටීම් දෙස මෙතෙක් අප්‍රකාශිත හැඟීම් මාත්‍රයන් හෙළිකරන අයෙක් කාලයක් පුරා කවිය යන විෂය කලාපය තුළ යම් කටයුත්තක නියැළී සිටී ඇති බවය. ඇය කලක් පෙනී සිට නැවත කලකට නො පෙනි යන තාරකාවක් නොවී සිංහල කවිය සමඟ දිගු කාලයක් රැඳී සිටීනු දැකීම අපගේ කැමැත්තය.
මිනිසා පෙළන දරිද්‍රතාවේ ඉඩෝරය, ස්ත්‍රී පුරුෂ ප්‍රේමයේ තෙතමනය, වඩා හොඳ සමාජයක පිළිබඳ බලාපොරොත්තුවේ දියසීරාව ඇයගේ බොහො කාව්‍ය නිර්මාණයනෙගේ තේමාව වී ඇත. කිවිඳිය එකී තේමාව තුළ සිය කවිය සෙසු කවියන්ගේ නිර්මාණ අතරින් ඔසවා උස් තැනක තබන්නට සමත් වන්නේ ඇය ගේ පරිකල්පනයේ ඇති වෙසෙස් බව අවියක් ලෙස යොදා ගනිමින් ය.

“රිවර්ස්ටන් පාපොච්චාරණය” යන මැයෙන් ඇති කාව්‍ය නිර්මාණය අපට පවසන්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසා අප අවට පරිසර පද්ධතිය විනාශ වි යාම පිළිබඳවය. කිවිඳිය එම අත්දැකීම රසිකයා වෙත ගෙන එන්නේ, ගඟක හඬිනි. ගඟට ගම් වැදීමට සිදු වීමට බල පෑ හේතු රැසකි, නමුත් ගඟට ඇත්තේ පිටාර ගලා ගමට හානි සිදු කිරීම ගැන තමා තුළම වූ පසුතැවිල්ලකි.
සහෝදර සුළඟ අවි අමෝරා නැගුණේ
නෑසියන් රකුසු ලෙස ඉවුරු බිඳ ඇඳුණේ
තනිව විඳවීම ඵ්ල නැතැයි හැඟුණේ
හිත ගලක් කරගෙනයි මමත් ගම වැදුණේ
මානවයා ට ඔහු අවට පරිසර පද්ධතියත් සමඟ සහජීවනයෙන් තොර පැවැත්මක් නැති බව සාක්ෂාත් කරන අපූරු කවි නිර්මාණයකි එය. නේපාල – ටිබෙට් මායිමේ සිදු වූ ත්‍රිශුලි ගංඟාවේ භ්‍රාන්තිමය ගං වැදීම ඔබට තවම මතක ඇතිවාට සැක නැත. එහෙත් අප කාටවත්, “ත්‍රිශුලි ගඟ අමතා “ඇයි ඔහොම නපුරු වුණේ” යනුවෙන් ගඟ විමසන්නට නුපුළුවන. එම කාර්‍ය කළ හැක්කේ කවියකුට පමණි. රූපසිංහ කිවිඳිය “රිවර්ස්ටන් පාපොච්චාරණය” නම් කවියෙන් එවන් උත්සහයක් දරන්නී ය.
නුරා වෑහෙන සඳ නම් කවියද රසික සිත් සොරා ගන්නා නිර්මාණයකි. කවියට නිමිති වන්නේ පායා ඇති පුන් සඳය. මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සඳ ගැන කවක් නොව – අපේ සඳ ගැන කවකි. සේකර කිවිඳුන් ලිවූ සේ,
“අපේ ගමේ වෙල් එළියට පායන හඳ .
පෝයදාට බෝ මළුවට පායන හඳ”
රූපසිංහ කිවිඳිය සඳ දෙස බලන්නේ, සේකරයන් සේ තනිකමෙන් පාලුවෙන් කාන්සියෙන් නොව. පිරී ගිය සංතෘෂ්ටියෙනි. ඇය කවිය නම් කරන්නේ ද එම සංතෘෂ්ටිය රසිකයා වෙත අඟවන්නට ය, “නුරා වෑහෙන සඳ” රසිකයා කවියට ඇතුළුවනේ එන්නේ 18+ මානසිකත්වයෙනි.
හඳේ උමතු නැටුමට හිත වසඟ වෙලා
මින් රැළ අවුත් ඉවුරේ හිඳියි බලා
මුලා නොවන්නට වැව් දිය සරැලි සලා
කුඩා එවුන්ගේ නෙත් යුග මුවා කළා
ඇය මෙම කොටසේ මවන චිත්‍රය මනරම් කවිකමකි. පදයෙන් පදය ගෙන විස්තර කිරීම අනවශ්‍යයි සිතමි. “වැව් දිය සරැළි සලා කුඩා එවුන්ගේ නෙත් මුවා කළා” යන යෙදුම රසිකයාට සිනාවක් ද කුතුහලයක් ද උනන්දුවක් ද එකවර ගෙන එන්නට සමත් ය. එවැනි යෙදුම් කිහිපයක්ම මෙම කවියේදි රසිකයාට හමු වෙයි. පහත දැක්වෙන්නේ නිදසුන් ය.
“සෙපාලිකා ඇවිදියි කිරි සුදු වැස්සේ”
“නිල් කදුලැස්ස හිම කුමරිය විලස මැවේ”
සිය නිර්මාණයක් සඳහා “සඳ” මාතෘකා කර නොගත් කවියකු නැති තරම් ය. සම්භාව්‍ය සාහිත්‍යයේ පවා සඳ විවිධ අරුතින් කවි පද අතර යෙදී ඇත. “නුරා වෑහෙන සඳ” කවියේදි
“සඳෙන් හළ රිදී සළු පිළි පැලඳි රුවේ
වසඟව නුරා ගී මිමිනෙයි කුරුලු මුවේ” යනුවෙන් ලියූ රූපසිංහ කිවිඳිය, ප්‍රිය විප්‍රයෝගයක උපදින තනිකම හුදකලාව වේදනාව කියා පෑමට සඳ රූපකයක් කරගන්නා අවස්ථාවක් “කුණාටුවකට හසුව ඉරුණු රුවලක් තිබේ” යන කවියේදි හමුවෙයි. එහිදී ඇයට ඇවිදින සේපාලිකා රඟන කඩුපුල් හමුවන්නේ නැත. ඒ වෙනුවට, “නුරා තරු එළියකට මුළා වූ” බව පසක් වෙයි. ඇය එම කවියේ ප්‍රවේශය ගන්නේ මෙලෙසිනි.
හඳ පලුව එල්ලාගෙන කළු වලාවක නුබේ
රැහැයියන් සාදයකි වැව් පිටිය මැද සබේ
කළු වලාවක එල්ලී සිටින හඳ පලුව රසික සිත තුළ මවන භාව චිත්‍රය එම කවියත සමඟ දිගු දුරක ගමන් කිරීමට ආරාධනාවකි.
මලක් සේ පැවතීම මරණිය වරදකි යන හිසින් හමුවන කවිය, රසිකයාගේ හිස දෙවරක් ගිනි ගන්නා කවියකි.
පළමුව රසික හිස ගිනි ගන්නේ කවියේ අත්දැකීම දැකීමෙනි
ගණන් සර්ගෙ දුවයි මමයි
එකම කුලකයක ළමයි
ඒ බව අඬ අඬා කියද්දි තමයි
“අද පරාගනය ප්‍රැක්ටිකල්” යැයි
මගෙ කට මිරිකලා දැම්මේ
ගුරුවරයකු විසින් තමාට කිසිම සදාචාර අයිතියක් නැති පාඩමක් සිය සිසුවියකට ඉගැන්විම අනුමත කළ හැකි ශිෂ්ට මිනිසෙකු ලොව ඇතැයි නොසිතමි. මේ එල්ලුම් ගස බලාත්මක කළ යුතු ගනයේ බරපතල වරදක් වන්නේ, අපේ රටේ බහුල අපරාදයක් බවට ළමා දූෂණ පත්ව ඇති බැවිණි. පවතින ආණ්ඩුව, මෙවන් වැරදිකරන රාජ්‍ය සේවකයන් එරෙහිව ක්‍රියා කළයුතු ආකාරය දක්වමින් පසුගියදා පණතක් සම්මත කරගහත් බවට ප්‍රවෘත්තියක් දුටිමි. එය කිසිසේත් ම ප්‍රමාණවත් නැත. රාජ්‍ය සේවකයින් නොවන “සාරුවා සුනිල්’ වැනි මිනිසුන් තවමත් යහතින් නිදහසේ ජීවත්වීම අනුමත කළ නොහැක.
කවිය කියවීමෙන් දෙවෙනිවර හිස ගිනිගන්නේ එහි අවසානය දැකීමෙනි.
මලක් වී ඉපදුණ ද
මලක් සේ පැවතීම
මරණිය වරදක් බව
මගෙන් පසු පිපෙන හැම මලකටම
කියාදෙන්න අම්මෙ!
මෙම කොටසේ යෙදෙන “මගෙන් පසු පිපෙන හැම මලකටම” යන යෙදුම ඉතාම සෘණාත්මක. හැඟීම් උපදවන සුළු යෙදුමක් බව රූපසිංහ කිවිඳිය නො සිතන්නට ඇත. ඒ වෙනුවට මෙම කවියේ කථක දැරියට යම් ශක්තියක්, අලුත් ජීවිත දැක්මක්, බලාපොරොතුවක් ලබා දෙන යෙදුමක් වී නම් යහපත් බව සටහන් කළ යුතු ය.
දොල පිදුම් තටුවකින් ගිලිහුණෙමි, ලොකු සර් වෙතටයි, කළු පාට හැට්ටය, රත් පැහැ කඳුළු, බොඳ ව ගිය කිරි සිහින, වේගෙන් දුවපන් කන්ථක ආදි මැයෙන් යුතු කවිද මෙම නිර්මාණ සමුච්චය තුළ හමුවන වෙසෙස් කවි නිර්මාණ ලෙස ද සලකුණු කළ යුතු බව සිතමි.
ඉහත සඳහන් කළ ලෙස ම කල්‍යාණි රූපසිංහ කිවිඳිය, කලක පෙනී සිට නැවත කලකට නො පෙනි යන තාරකාවක් නොවී සිංහල කවිය සමඟ දිගු කාලයක් රැඳී සිටීනු දැකීමේ බලාපොරොත්තුවෙන් ඇයට සුබ පැතුම් එක් කරමි.





