රදලයෙකු ප්‍රවේණිදාසයෙකුට කියන්නාක් මෙන් – “උඹලට ඔච්චර තමයි දෙන්නේ. මම දෙන දෙයක් කාලා කට පියාගෙන හිටපියව්”

ජනාධිපතිවරයා ඊයේ සිය පක්ෂ සාමාජිකයන් කැඳවා කම්කරු ඉල්ලීම් පිළිබඳ සිය මතය ප්‍රකාශ කළේය. ඒ කැඳවනු ලැබුවේ කම්කරු – වෘත්තිය සමිති නියෝජිතයන් බව ප්‍රකාශ කළද, ඔවුන් පොදුවේ වැඩකරන ජනතාවගේ ප්‍රශ්න, ඉල්ලීම් හෝ සටන්පාඨ වල නියෝජිතයන් නොවිණි. ඔවුන් ප්‍රීති ප්‍රමෝදයට පත්වන්නේ හා ඔල්වරසන් දෙන්නේ කම්කරු ව්‍යාපාරයට ජනාධිපතිවරයා පහරදෙන විට වීමම ඊට නිදසුනකි. ඊයේ අනුර කුමාර දිසානායක මහතා සිය කතාව කළේ අවම වසයෙන් ජනාධිපතිවරයා ලෙස තමන්ට ඡන්දය දුන් ජනතාව නියෝජනය කරමින්වත් නොවේ. ඔහු මාලිමාවේවත් නොව ජවිපෙ නම් පක්ෂයේ නායකයා ලෙස පාක්ෂිකයන් පක්ෂය හැර යාම වැළැක්වීම සඳහා සිය වාග් කෞෂල්‍යය උපරිමයෙන් භාවිතා කළේය. කතාව අවසන් හරියේ මේ අදහස වැඩබිම් වලට ගොස් ජනතාවට පවසන ලෙස ඉල්ලිමක් ඔහු කළ නිසා අද සිට මෙතෙක් කල් ඔළුව හංගාගෙන සිටි ජවිපෙ සාමාජිකයන් මේ ප්‍රතිගාමී දේශපාලන කතාව රැගෙන වැඩකරන ජනතාව හමුවට එනු ඇත.

ජනාධිපතිවරයාගේ කතාවේ මූලික තර්ක පෙලගස්වනු ලැබුවේ වෘත්තීය සමිති අගතිසහගත බවට ලාල්කාන්ත කළ ප්‍රකාශය සහ කොපමණ හඬ නැගුදත් මීට වඩා කිසිවක් නොදෙන බවට මහින්ද ජයසිංහ කළ ප්‍රකාශය ආරක්ෂා කිරීම වෙනුවෙන් බව පැහැදිලිය. “කොච්චර කෑ ගැහුවත් දෙන්නේ නෑ” වර්ගයේ ප්‍රකාශ විසින් ජනාධිපතිවරයා ඊයේ පෙන්වූයේ ජනතාවගේ සක්‍රිය බවට, දේශපාලනික බවට හා ප්‍රතිරෝධනය පෑමේ ගුණයට පාලක පන්තියේ ඇති භීතිය හා විරෝධයයි. ඔහු රදලයෙකු ප්‍රවේණිදාසයෙකුට කියන්නාක් මෙන් “උඹලට ඔච්චර තමයි දෙන්නේ. මම දෙන දෙයක් කාලා කට පියාගෙන හිටපියව්” යන අරුත විවිධ හැඩතල වලින් ඉදිරිපත් කළේය. එමෙන්ම “උඹලා ආර්ථිකය ගැන දන්නේ නෑ. ඒවා දන්නේ හුලංගමුව සර්ලා, හාන්ස් සර්ලා, ඉෂාර සර්ලා, ධම්මික පෙරේරා සර්ලා. ඒ ගොල්ලෝ කියන දෙයක් පිලිඅරන් හිටපල්ලා” යන කතාව ඒ වචන පිටුපස සැඟවී තිබිණි. 2022 අරගලයෙන් පසු රදලයන්ගේ ඉඳුල් වලට ස්තූති කරන ප්‍රවේණිදාසයන් ලංකාවේ නැති බව සමහර විට ඔහු නොදන්නවා විය හැක.

ජනාධිපතිවරයාගේ කතාව පුරා ඇති සියලුම තර්ක එක ප්‍රධාන පදනමක් මත ගොඩනැගී ඇත. ඒ ළැදියාවන් පිළිබඳ ප්‍රශ්නයයි. අයවැය ඉදිරිපත් කළ දවසේම වාණිජ මණ්ඩලය සිය යෝජනා වලට අනුවම අයවැය සැකසීම ගැන ආණ්ඩුවට ස්තූති කළේය. දින කිහිපයකට පෙර පෞද්ගලික රූපවාහිනී නාලිකාවකට පැමිණි ආර්ථිකය පිළිබඳ ජනාධිපති උපදේශක දුමින්ද හුලංගමුව මේ අයවැය මුළුමනින්ම ඒකාධිකාර සමාගම් වල උවමනාවන් තෘප්ත කිරීමේ අරමුණෙන් සකසා ඇති බව විශිෂ්ට ලෙස ඔප්පු කළේය. ඒ නිසාම ඊයේ ජනාධිපතිවරයාට වැඩකරන ජනතාවට කීමට ඇත්තේ “කෑ ගැහුවට අපි දෙන්නේ නෑ” කියා පමණි.

අප යෝජනා කරන්නේ ධන කුවේරයන් හා සිටුවරුන් සතුටු කර, IMF එකෙන් ලකුණු ගැනීම වෙනුවට තමන්ට ඡන්දය දුන් ජනතාව පැත්තට, ඔවුන්ගේ ආර්ථික අයිතිවාසිකම් පැත්තට නැඹුරු වන ලෙසය. ඒ වෙනුවට ළබැඳියාව ඇත්තේ ඒ පැත්ත නම්, වැඩකරන ජනතාවට අරගල කිරීම හැර වෙන මාවතක් ඉතිරිව නැත.

සිය ළබැඳියාව ජනාධිපතිවරයා හොඳින්ම ප්‍රකාශ කළේ වැටුප් වැඩිවීමක් සඳහා මුදල් සොයා ගන්නා ආකාරය විමසීමේදීය. ඔහුට ඊට හිලව්වට කැපීමට සිහිපත් වූයේ අස්වැසුම, ආබාධිත දීමනා ආදියයි. ඇත්තටම ඒවා දැනටමත් කපා ඇත. සහනාධාර සඳහා 2026දී වෙන්කළ රුපියල් බිලියන 1572 ක මුදල ලබන අවුරුද්දේ රුපියල් බිලියන 1482ට කපා ඇත. ඔහුට මොන ආකාරයෙන්වත් රජයට රුපියල් බිලියන 190ක් පාඩු කළ ඒකාධිකාර සමාගම් වලට ලබාදී ඇති බදු සහන පැකේජයෙන් යමක් කැපීමට මතක් වූයේ නැත. ඔහු ඇසුවේ මේ වැටුප් වැඩිවීම දීමටනම් අධ්‍යාපන හා සෞඛ්‍ය වියදම් කැපීම ගැනය. ඒවායේ කපන්නට දෙයක් ඉතිරිව නැත. ලංකාව ඉන්නේ ලෝකයේ ද.දේ.නි. ප්‍රතිශතයක් ලෙස අධ්‍යාපනයට අඩුවෙන්ම වියදම් කරන රටවල් පහ අතරය. සෞඛ්‍ය සේවය සඳහා මේ වසරට වෙන්කළ ප්‍රාග්ධන වියදම් රුපියල් බිලියන 105.1 කින් වසරෙන් අඩක් අවසානයේ වියදම් කර තිබුණේ බිලියන 16ක් පමණි. මූල්‍ය බූවල්ලන්ට බැඳුම්කර සඳහා දෙන පොලියෙන් 2%ක් කපා දැමීමට මතක් නොවුණේ ඇයි? වැටුප් වැඩි කිරීමටනම් ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මත අමතර බදු පැනවීමට සිදුවන බව කියද්දී නොගෙවා පැහැර හරින ලද ධනපතියන්ගේ බදු අය කිරීම හෝ බිලියන ගණන් ලාභ ලැබූ සමාගම් වලට Super Gain Tax එකක් පැනවීම වැනි විකල්ප ඔහුට අමතක වීම හුදු අහම්බයක්ද? රාජ්‍ය සේවක වැටුප් සඳහා රුපියල් බිලියන 1410ක් වැයවන බව අයවැයේ ලියා තිබියදී ඒ වියදම බිලියන 2100ක් බව කීම අත්වැරැද්දක්ද? නැතිනම් මේ සියල්ල මුලින් කියූ ළබැඳියාව සමග සම්බන්ධ ප්‍රශ්නයක්ද? තවදුරටත් කියන්නේනම්, මේ පන්‍ති පක්ෂපාතීත්වය පිළිබඳ ප්‍රශ්නයකි. ජනාධිපතිවරයා ඊයේ කළ කතාව ගැන වැඩකරන ජනතාව සිටින්නේ අතෘප්තියෙන් හා කෝපයෙන් බැවින් එම බලවේගයට අමතර පැහැදිලි කිරීම් අවශ්‍ය නැත. නොවැම්බර් 30 වැඩවර්ජනයේදී ජනතාවට සිය ප්‍රතිචාරය දැක්වීමට ඉඩක් ඇත.

එහෙත් ඊයේ ඔහුගේ කතාවෙන් ප්‍රමෝදයට පත් ජවිපෙ සාමාජිකයන් අවධානයට ගත යුතු දෙයක් ඇත. මෙතෙක් කල් ජනාධිපතිවරයාගේ කතා තුළ දෙගිඩියාවක් දක්නට ලැබිණි. එක පැත්තකින් තමන් බලයට පත්කළ හා ඡන්දය දුන් ජනතාවගේත්, තම පක්ෂයේ අතීත සටන්කාමීත්වයේ කීර්තියත් ඔහුට බලපෑම් කළ අතර අනෙක් පැත්තෙන් IMF ඇතුළු අධිරාජ්‍යවාදි සංවිධාන, බලගතු රටවල තානාපති කාර්‍යාල සහ දේශීය ධනකුවේර ප්‍රභූව කරන බලපෑමේ ශක්තිය පෙනිනි. ඔහු වාණිජ මණ්ඩලයේ සමුළුවේදී රාජ්‍ය ආයතන පෞද්ගලිකරණය කරන බව හා ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමට කම්කරු නීති සංශෝධනය කරන බව පවසා, ඊළඟ සතියේ වෘත්තීය සමිති රැස්වීමකදී රජය සතු ව්‍යවසායන් ලාභ ලබන හැටි සහ කම්කරු අයිතීන් ආරක්ෂා කිරීම ගැන කිව්වේ එනිසාය. ජාතිවාදීන් පිස්සු නටන වෙලාවේ මේ ජනාධිපතිවරයාම කිව්වේ සංවිධිත සටන් වලට එකඟ බවය. නමුත් ඊයේ කතාව ඒ දෙගිඩියාව අවසන් කර ආණ්ඩුවේ පන්ති පක්ෂපාතීත්වය නිශ්චිත කරන ලදී. ජනාධිපතිවරයා සිය උපන්දිනය සමරන මොහොතේ වැඩකරන ජනතාව බඩගින්නට එරෙහිව, අයිතීන් අහිමිවීමට එරෙහිව හා තමන් බොරුවෙන් රවටනු ලැබ ඇතැයි යන හැඟීමෙන් ආත්ම ගෞරවය වෙනුවෙන් පාරට බැස සිටියේය. ජනාධිපතිවරයාට හොඳම උපන්දින සුබපැතුම් ඉදිරිපත් කළේ හුලංගමුව ඇතුළු ජාවාරම්කාර මූල්‍ය ප්‍රභූවයි. ඉන් අනතුරුව ඊයේ කතාවේදී ජනාධිපතිවරයා සිය කථික හැකියාව, සිය කෞෂල්‍යය, සිය කැරිස්මාව සහ සිය පක්ෂයේ සංවිධාන බලය යන සියල්ල වැඩකරන ජනතාවට එරෙහිව ගොනු කළේය.

දැන් දෙගිඩියාවේ යුගය අවසන්ය. තමන් කුසගින්නේ බව කියූ ජනයාට, තමන්ට ගෞරවය අවශ්‍ය බව කියූ ජනයාට ජනාධිපතිවරයා ප්‍රතිගාමීත්වයේ හංවඩුව ගසා ඇත. චාල්ස් ඩිකන්ස් නම් ඉංග්‍රීසි ගත්කරුවාගේ ඔලිවර් ට්විස්ට් කෘතියේ කුඩා ඔලිවර් නම් දරුවාට ජීවිත කාලයටම බලපාන පරිදි අපරාධකරුවෙකුගේ හංවඩුව වදින්නේ ඔහු “තව චුට්ටක්” (little more) කියා සුප් ටිකක් ඉල්ලූ නිසාය. ඒ 19 වන සියවසේ බ්‍රිතාන්‍යයේය. ධනවාදයේ ආරම්භක මොහොතේදීය. 21 වන සියවසේ ලංකාවේදීත් කම්කරු පන්තිය ඒ ඉරණමෙන් ගැලවී නැත. ජවිපෙ සිය අතීත උරුමයෙන් ගැලවී ඇත. කම්කරු පන්‍තියෙන් හා වැඩකරන ජනතාවගෙන් ගැලවී ඇත. ජවිපෙ බඩගින්න ගැන කියන ජනයා ප්‍රතිගාමීන් ලෙස හඳුන්වන විමල් වීරවංශගේ න්‍යායික පදනමට ලොකු වට රවුමක් ගසා නැවත සේන්දු වී ඇත. ජවිපෙ සමාජිකයන් ඒ ගැන සිතන්න.

වැඩකරන ජනතාව සිය සිතීමේ අවයවය ක්‍රියා කරවීම ආරම්භ කර ඇත. 2022 ජන අරගලයේදී ජනතාව තමන් වෙනුවෙන් සිතීම එක එක අයට පවරා, දෙන දෙයක් කා – වෙන දෙයක් බලාගෙන සිටීමේ අවසන් ප්‍රතිඵලය ආර්ථික බංකොලොත්බව සහ දේශපාලන ඒකාධිපතිත්වය බව දැක තමන්ගේ ඉරණම තමන් අතට ගැනීම ගැන සිතන්නට පටන් ගත්තේය. තමන් වෙනුවෙන් සිතීම හා ක්‍රියාකිරීම මාලිමාවට භාරදී වසර දෙකක් බලාසිට කිසිම ප්‍රතිඵලයක් අත්පත් වූයේ නැති බැවින් දැන් යළි සිතීම ආරම්භ කර ඇත. ජනාධිපතිවරයා සමාජයේ හදගැස්ම වැටහෙන ජාජබ නියෝජිතයන්ගේ භාෂාව වෙනුවට ලාල්කාන්ත – මහින්ද ජයසිංහ වර්ගයේ ලුම්පන් භාෂාව වහරන්නට ගන්නේ හරියටම වැඩකරන ජනතාව සිය සිතීමේ අවයවය සක්‍රිය කරන මොහොතේය. මේ බාල ගණයේ තර්ජන වලට නොසැලී ජනතාව සිතිය යුතුය – විචාරශීලී විය යුතුය – ඒ නිගමන මත ක්‍රියාව ආරම්භ කළ යුතුය – ඒ සඳහා සංවිධානය විය යුතුය. අවකාශයේ විසිර යන වචන බොහෝ ගණනක් මැද අපේ ඉල්ලීම එයයි.

පුබුදු ජයගොඩ

Share post:

Popular

වෙනත් පුවත්

ලලිත්-කුගන් අතුරුදන් කිරීම ගැන අහන්න ගෝඨාභය කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

ලලිත් සහ කුගන් අතුරුදන් කිරීමට අදාළ නඩුවට සක්ෂි දීමට...

එළවළු මිල තවත් ඉහළට

පවතින අයහපත් කාලගුණික තත්වයන් හමුවේ දිනෙන් දින ඉහල යමින්...

ළමා සුරක්ෂාව අවදානමක – මුල් මාස 9ට දරුවන් සම්බන්ධ පැමිණිලි 9,613ක්

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ (NCPA) වාර්තාවක් හරහා රට පුරා...

ට්‍රම්ප් නව තීරු බදු ලැයිස්තුවක් එළිදක්වයි

ලබන වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි චීනය, යුරෝපා සංගමය...