Breaking News

මිල අඩුවෙලා තිබෙද්දිත් තෙල් මිල වැඩිකළ යුතු බව ආණ්ඩුව කියන්නේ ඇයි?

ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාමේ පීඩනයෙන් සාමාන්‍ය ජනතාව ආරක්ෂා කිරීම සඳහා රජය විසින් වෙන් කර තිබූ රුපියල් බිලියන 57 ක ඉන්ධන සහනාධාර ප්‍රතිපාදනය එළඹෙන ජූනි මාසයෙන් අවසන් වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) සභාපති ඩී.ජේ.ඒ.එස්.ද එස්. රාජකරුණා නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.

පසුගිය සති අන්තයේ සිදුකළ ඉන්ධන මිල සංශෝධනයට මූලිකම හේතුව මෙම සහනාධාර සීමාව ඉක්මවා යාම බව සභාපතිවරයා පෙන්වා දෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කරන ලද නවතම කාර්ය මණ්ඩල වාර්තාව (Staff Report) මඟින් ද අවධාරණය කර ඇත්තේ, පිරිවැය පියවා ගත හැකි පරිදි බලශක්ති මිල තීරණය කිරීම (Cost-recovery pricing) මෙම ණය වැඩසටහනේ ප්‍රධානතම කොන්දේසියක් බවයි.

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය ආතතීන් හමුවේ ලෝක තෙල් මිල ඉහළ ගියද, පසුගිය අප්‍රේල් මාසයේ සිට ලංකාවේ මිල ගණන් පිරිවැයට සාපේක්ෂව පූර්ණ වශයෙන් ඉහළ නොදැමීම හේතුවෙන් මෙම සහනාධාර අර්බුදය නිර්මාණය වී ඇති බව ආණ්ඩුව පවසයි.

එසේම මෙම මාධ්‍ය හමුවටම සහභාගී වූ බලශක්ති ඇමති අනුර කරුණාතිලක පවසන්නේ අපේ තෙල් මිල පවතින්නේ ලෝකයේ තෙල් මිල වැඩිවීම්වලට සාපේක්ෂව පහළින් බවයි. එම නිසා වෙනත් රටවල තෙල් මිල අඩුකරන ආකාරයට තෙල් මිල අඩුකළ නොහැකි බව ඔහුගේ අදහසයි.

එහෙත් මේ දෙදෙනාම සඟවන කාරණය වන්නේ ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩුවී ඇති බවයි. ඒ අනුව අප අනෙක් රටවල්වලට සාපේක්ෂව තෙල් මිල ඉහළ නොදැමීම අදාළ නොවේ. 2025 වසරට වඩා තෙල් මිට දැනට අඩුවී ඇති බැවින් එම සහනය ජනතාවට ලබාදිය හැක. එසේම දැනට තෙල් මිල පවතින්නේ 2022 ආර්ථික අර්බුද සමයටත් වඩා ඉහළ මිලකයි. එවැනි වකවානුවක පොදු ප්‍රවාහනයට භාණ්ඩ ප්‍රවාහනයට වැනි තෝරාගත් ක්ෂේත්‍ර සඳහා හෝ සහනයක් ලබාදීම අත්‍යවශ්‍ය වේ.

ආර්ථික විශ්ලේෂක ධනූෂ පතිරණ ෆේස්බුක් සටහන් දෙකක් තබමින් මේ පිළිබද මෙසේ අදහස් දක්වා ඇත.

ලෝක තෙල් මිල සැලකිය යුතු ලෙස පහත වැටී ඇති නමුත් ලංකා රජය දේශීය ඉන්ධන මිල ගණන් දැවැන්ත ලෙස ඉහල දමා ඇත. තවත් ඉතාමත් වැදගත්ම කරුනක් වන්නේ 2026 පළමු මාස හතර තුල ඛණිජ තෙල් නීතිගත සංස්ථාව බොර තෙල් මිලදී ගෙන ඇත්තේ 2025 වසරටත් වඩා අඩු මිලකට වීමයි! ලෝක වෙළඳපොලේ මිල ගනන් විශාල ලෙස පහල ගොස් ඇති මොහොතක සහ ඛණිජ තෙල් සංස්ථාව 2025 වසරටද සාපේක්ශව අඩු මිලකට තෙල් ආනයනය කල ඇති තත්වයක් තුල මේ ආකාරයට රජය දේශීය ඉන්ධන මිල ඉහල දමා ඇත්තේ ඇයි? උදාහරණයක් ලෙස 2026 පළවන මාස හතර තුල ඛණිජ තෙල් සංස්ථාව මිලදී ගැනීම කර ඇත්තේ බොර තෙල් බැරලයක් පිලිවෙලින් ඇ.ඩො. 68.11ක්, 66.67ක්, 66.48ක් සහ 73.19ක් වන මිලගනන් වලටයි. මෙම අගයන් සියල්ල පසුගිය වසරේ (2025) මුල් මාස හතරේ මිල දී ගැනීම් වලට වඩා සැලකිය යුතු ලෙස පහල ගොස් ඇත (පහල මහ බැංකු දක්ත වගුව බලන්න )! මේ සියල්ල අතරවාරයේ තවත් ඉතා වැදගත් කරුණක් වන්නේ, ඛණිජ තෙල් සංස්ථාවේ ආනයන මිල ගනන් සැලකිය යුතු ලෙස පහල ගොස් තිබුනත් 2026 අප්‍රේල් මාසයේ ඉන්ධන ආනයනය සඳහා ඇ.ඩො. මිලියන 900කට ආසන්න මුදලක් වැයවීමයි. මෙය 2025 අප්‍රේල් මස ආනයන වියදම වූ ඇ.ඩො. මිලියන 354.7 මෙන් ආසන්න වශයෙන් තුන් ගුනයක්!!! ඛණිජ තෙල් සංස්ථාව අඩු මිලට බොර තෙල් ආනයනය කර ඇති පසුබිමක සමස්ථ ආනයන වියදමත් දේශීය ඉන්ධන මිලත් මේ ආකාරයට දැවන්ත ලෙස ඉහල යාමට හේතු වී ඇත්තේ කුමක්ද?

ඛණිජ තෙල් සංස්ථාව දේශීය ඉල්ලුමෙන් 50%ක් පමන ආවරනය කරන අතර ඉතිරි සියල්ල සිදු කරන්නේ විදේශ ආයතන විසිනි. එම නිසා මෙම මිල වැඩි කිරීම් ඔවුන්ගේ ලාබය මෙන්ම ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ලාබය තර කිරීම සඳහා ගත් පියවරක් ලෙස ඍජුව පෙන්වා දිය හැක.

එමෙන්ම තුන් ගුනයකට ආසන්නව ඉහල ගොස් ඇති ආනයන වියදමට අනුරූපව සැබෑ තෙල් නැව්ගත කිරීම් රට තුලට පැමිණේදැයි රජය සොයා බැලිය යුතුය. මෙම නැව්ගත කිරීම් හදිසි විගණනයකට භාජනය කිරීම ප්‍රමුඛතාවයකි. මෙම අධික ආනයන පිරිවැය නීත්‍යානුකූල ආනයන ලෙස වෙස්වලාගත් ප්‍රාග්ධනය (ඇමරිකානු ඩොලර්) රටින් පිට කිරීම සඳහා ආනයන අධි-ඉන්වොයිස කිරීමක් විය හැකිය. වෙළඳපොළෙන් 50% කට වඩා විදේශීය සැපයුම්කරුවන් විසින් පාලනය කරනු ලබන බැවින්, මෙම කොල්ලකාරී ක්‍රමවේද හරහා ප්‍රාග්ධනය රටින් පිට කිරීමේ අවදානම තවත් ඉහල යයි.

2026 අප්‍රේල් මාසයේ පමනක් ඇ.ඩො. මිලියන 900ක් ඉන්ධන ආනයනයට යට කරන ගමන් බදාදා නිවසේ සිට සේවය කරන්න තිබ්බ නියෝගය රජය අහෝසි කලා; මෝටර් රථ සඳහා ලබා දුන් ඉන්ධන සලාකය විශාල වශයෙන් ඉහල දැමුව. අප්‍රේල් මාසයේ විනාශ කරපු මේ මුදල අන්තර්ජාතික මූල්‍ය අරමුදල ඉස්සරහා අවුරුද්දක් තිස්සේ ඇඹරිලා ගත්ත වාරික දෙකේ අගයටත් වඩා වැඩී. නමුත් දැන් මූල්‍ය අරමුදලත් කියන්නෙ විදේශ ණය ගෙවීමේ හැකියාව තියෙන්නෙ අවදානම් තැනක කියලයි. සුවිශේශී පිරිසකගේ ලාබය වෙනුවෙන් මේ ආකාරයට චේතනාන්විතව ආර්ථිකයක් විනාශය කරා ගෙන යෑම චීනයේ නම් මම හිතන්නේ මරණ දඬුවමෙන් සංග්‍රහ ලබන අපරාධයක්.

leave a reply