Breaking News

ආණ්ඩුව අර්බුදයට සූදානම් නොවීමේ ඵලවිපාක ජනතාව මතට

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ ලෝක බලශක්ති වෙළඳපොළේ ඇති වී තිබෙන දැඩි අර්බුදය හමුවේ ඉන්ධන මිල සංශෝධනය කිරීම කිරීම පිළිබඳ අදහස් දැක්වීමට ආණ්ඩුව ඊයේ මාධ්‍ය හමුවක් පවත්වා තිබුණි.

එහිදී නලින්ද ජයතිස්ස ඇමතිවරයා විසින් ඉන්ධන මිල ඉහළ දැමීමට හේතු පැහැදිලි කරන ලදී.

යුද්ධය සහ ලෝක වෙළඳපොළේ බලපෑම
“මැදපෙරදිග කලාපයේ පවතින යුද්ධය දැන් දින 23කට ළඟා වෙලා තියෙනවා. මේ යුද්ධය එක්ක ලෝකයේ බලශක්ති සැපයුම අර්බුදයට ලක් කරලා තියෙනවා. බලශක්තිය කියන්නේ ආර්ථිකයකට ඉතාම වැදගත් වන දෙයක්. ලෝක ආර්ථිකයට බලපෑමක් එල්ල වෙමින් පවතිනවා. ලෝකයේ ඒ ඒ රටවල පවතින තත්ත්වය අනුව ආර්ථිකය කළමනාකරණය කර ගැනීම සඳහා විවිධාකාර ක්‍රියාමාර්ග අනුගමනය කරමින් ඉන්නවා. ඒ ක්‍රියාමාර්ග දවසින් දවස සතියෙන් සතිය වෙනස් වෙනවා. මිල දී ගැනීමේ වේගය සහ බලශක්තිය සැපයීමට බාධාවන් අනුව එය තීන්දු වෙනවා. මේ දවස්වල වැඩිපුර මාධ්‍ය වාර්තා කරනවා බලශක්ති නිෂ්පාදනයට අදාළ යටිතල පහසුකම්වලට යුද්ධය නිසා හානි වෙලා තිබෙනවා කියලා. නැව්වලට හානි වෙනවා වගේම යටිතල පහසුකම්වලට හානි සිදු වන නිසාත් මෙහි බලපෑම දිනෙන් දින තීව්‍ර වෙමින් පවතිනවා.”

ලෝක වෙළඳපොළේ මිල ගණන් ඉහළ යාම පිළිබඳ දත්ත ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා මෙසේ ද පැවසීය:

“යුද්ධය ආරම්භ වෙලා ගත වූ දවස් කිහිපයේදී 92 පෙට්‍රල් පෙබරවාරි 28 වැනිදා බැරලයක් ඩොලර් 79.63ක් වුණා. මාර්තු පස්වැනිදා වන විට එය ඩොලර් සියය ඉක්මවා ගියා. පෙබරවාරි 28 සිට මාර්තු 20 දක්වා ගත වූ කාලයේදී පෙට්‍රල් 92 බැරලයක් ඩොලර් 70කින් වැඩි වෙලා තියෙනවා. වැඩිවීම සියයට 89ක්. ඩීසල් පෙබරවාරි 28 වැනිදා ඩොලර් 92.26ට තිබුණු බැරලය මාර්තු 20 වැනිදා වන විට ඩොලර් 228 දක්වා වැඩි වුණා. ඩීසල් බැරලයක වැඩිවීම ඩොලර් 129.76ක්. ඒ කියන්නේ සියයට 141ක වැඩිවීමක්. මර්බන් (Murban) බොරතෙල් බැරලයක මිල පෙබරවාරි 28 ඩොලර් 72 සිට මාර්තු 20 වැනිදා වෙන කොට ඩොලර් 138.60ක් වුණා. බොරතෙල් බැරලයක මිල ඩොලර් 66කින් හෙවත් සියයට 66කින් වැඩි වෙලා.”

“ලෝක වෙළඳපොළේ මිල පමණක් නොවෙයි වැඩි වෙන්නේ. නැව්වල ගමනාගමනය සහ අනෙකුත් බාධා නිසා ප්‍රීමියම් (Premium) එකත් වැඩි වෙලා තියෙනවා. පහුගිය මාස 14ක් පුරා ප්‍රීමියම් එක ඩොලර් 3ට අඩුවෙන් තිබුණා. පිරිපහදුවේදී ඩොලර් 4ක් තිබුණා. දැන් එය ඩොලර් 45-50 අතර ප්‍රමාණයකට ඇවිල්ලා තියෙනවා. ඩීසල් ඩොලර් 4 තිබුණු එක ඩොලර් 57 දක්වා වැඩි වෙලා තියෙනවා.”

මෙරට සැපයුම් ජාලයේ අර්බුදය
දේශීය වශයෙන් පවතින සැපයුම් අර්බුදය අමාත්‍යවරයා මෙලෙස විස්තර කළේය:

“අපේ වෙළඳපොළ අවශ්‍යතාව ගත්තාම ඩීසල්වලින් සියයට 30ක් සහ පෙට්‍රල්වලින් සියයට 20ක් අපි සපයන්නේ පිරිපහදුවෙන්. මාර්තු 24-25 සහ අප්‍රේල් 12-13 බොරතෙල් නැව් ගෙන්වා ගැනීමට තිබුණා. ඒත් මාර්තු මාසයේ එන්න තිබුණු නැව දැන් එන්නේ නැහැ. අප්‍රේල් නැව පිළිබඳවත් යම් අවදානමක් පවතිනවා. ඒ නිසා පිරිපහදුවෙන් තෙල් සැපයීමේදී ඩීසල් සියයට 30ක සහ පෙට්‍රල් සියයට 20ක ප්‍රමාණය සපයා ගත නොහැකි ගැටලුවක් පැන නැඟිලා තියෙනවා. ඊට පිළියමක් ලෙස තමයි අපි මාර්තු 17 අවසන් කරපු ටෙන්ඩරයෙන් අප්‍රේල් 06-07 සහ 07-08 ඩීසල් නැව් දෙකක් ගෙන්වන්නේ.”

පෞද්ගලික අංශයේ දායකත්වය සහ තෙල් මිල
මිල වැඩි කිරීමට බලපෑ තීරණාත්මකම සාධකය වන්නේ වෙළඳපොළෙන් 43%ක් හිමිකාරීත්වය දරන පෞද්ගලික අංශයේ ස්ථාවරය බව අමාත්‍යවරයා පැහැදිලි කළේය:

“ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විතරක් නොවෙයි තෙල් සපයන්නේ. අපේ වෙළඳපොළෙන් සියයට 43ක් තෙල් සපයන්නේ පෞද්ගලික අංශය විසින්. පෞද්ගලික අංශයේ සමාගම් පසුගිය කාලය පුරාම රජයෙන් ඉල්ලා සිටියා මිල වැඩිවීමක්. මාර්තු 06 වැනිදා ඔවුන් ඉල්ලුවා රුපියල් 146ක මිල වැඩිවීමක්. දැන් ඒ සමාගම් රුපියල් 200කට ආසන්න මිල වැඩිවීමක් ඉල්ලා සිටිනවා. එයින් කොටසක් හෝ නොදුන්නොත් ඔවුන් පෞද්ගලික සමාගම්; ඔවුන් අලාභ තියාගෙන ව්‍යාපාර කරන්නේ නැහැ. ඒ නිසා ඔවුන් තෙල් ආනයනය කරන එකක් නැහැ. ඉදිරියේදී පැමිණෙන නැව්වලට අදාළ මුදල් යෙදවීමට හැකියාව නැති වුණොත් ඔවුන් තෙල් ආනයනය නතර කරනවා. මාකට් එකෙන් පොඩි ප්‍රමාණයක් නොවෙයි, පෞද්ගලික සමාගම් ආනයනය කළේ සියයට 03ක් 04ක් නම් පියවා ගන්න තිබුණා. ඒත් සියයට 43ක් නම් තෙල් වෙළඳාමේ යෙදෙන්නේ පෞද්ගලික සමාගම් නිසා අපට මෙය නොසලකා හරින්න බැහැ.”

“ඔවුන් ඉල්ලුවේ රුපියල් 200ක තෙල් වැඩිවීමක්. තෙල් සංස්ථාවට මේ මොහොතේදී අතිශය පාඩුවට විකුණලා ඊළඟට තෙල් ගෙන්වා ගැනීමේදී දැඩි අර්බුදයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. කෑෂ් ෆ්ලෝ එකේ ප්‍රශ්නයක් එනවා. මේ අවස්ථාවේ යම් ප්‍රමාණයකට හෝ මිල වැඩිවීමකට අනුගත නොවුණොත් සිදුවෙන්නේ ඊළඟ නැව්වලින් ගෙන්වා ගැනීමේදී අධික ණයක් ගන්න සිද්ධ වෙනවා. අධික පොළියට යට වෙන්න වෙනවා. ඒකට මුහුණ දෙන්න වෙන්නේත් විශාල වශයෙන් මිල වැඩි කරලයි.”

රජය දරන සහනාධාරය සහ ආර්ථික ස්ථාවරත්වය
මිල වැඩි වුවද තවදුරටත් රජය විශාල බරක් දරන බව පෙන්වා දුන් අමාත්‍යවරයා:

“මේ ගෙන්වන ලද තෙල්වල සහ ඉදිරියේදී පැමිණෙන තෙල්වල මිල ගණන් හදලා බැලුවොත් තෙල්වල වැඩිවීම මීට වඩා වැඩියි. මේ ඉහළ මිල වැඩිවීමෙන් කොටසක් ආණ්ඩුව දරාගෙන තිබෙනවා. ඩීසල් ලීටරයකට රුපියල් සියයක් රජය දරාගෙන තිබෙනවා. පෙට්‍රල් ලීටරයක රුපියල් 20ක් රජය දරලා තියෙනවා. එතකොට මාසයකට රුපියල් බිලියන 20ක් රජය මඟින් දරනවා. රජයට පමණක් මේ බර දරාගන්න සිද්ධ වුණොත් අවුරුද්දකට අමතර වශයෙන් ඩොලර් බිලියන 1.5ක වැය බරක් දරන්න වෙනවා. එහිදී ඩොලරයේ මිල ඉහළ යනවා. එය තෙල් වෙළඳාමට පමණක් නොවෙයි සමස්ත ආර්ථිකයටම බලපානවා.”

“අපි 2022 ආර්ථික අර්බුදයෙන් දැන් ගොඩ එන්න පටන් අරගෙන ස්ථාවරත්වයක් අත්පත් කරගනිමින් ඉන්නවා. ආර්ථික සංඛ්‍යාලේඛන, සංචිත වැඩිවීම්, ආර්ථික වැඩිවීම්, විදෙස් ප්‍රේෂණ, රාජ්‍ය ආදායම, බදු ආදායම, වියදම් කළමනාකරණය, ප්‍රාථමික ගිණුමේ ශේෂය වැනි සියලු දර්ශකවලින් ආර්ථිකය ස්ථාවර වෙමින් තිබෙනවා. ඒ අනුව ආර්ථිකය හකුළුවන්න අපට බැහැ. අපේ ආර්ථික ස්ථාවරත්වයට අවම හානියක් කරගනිමින් ජනතාවගේ දෛනික ජීවිතයට බලපෑම අවම කරන්නට ඉන්ධන මිල වැඩි කරන්න සිදු වුණා.”

“යුද්ධය පිළිබඳ කාටවත් පුරෝකථනය කරන්න බැහැ. අපේ අපේක්ෂාව යුද්ධය ඉක්මනින් අවසන් වේවා යන්නයි. යුද්ධය හෙට අවසන් වුණත් අපේ ආර්ථිකයට යුද්ධයෙන් වෙන බලපෑම එක රැයින් අවසන් වෙන්නේ නැහැ. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම බලශක්ති පරිභෝජනය අඩු කරගන්න කටයුතු කළ යුතුමයි. එයට එක ක්‍රමයක් ලෙස QR කේතය හඳුන්වා දී තිබෙනවා.” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මැදපෙරදිග මතුව ඇති අර්බුදය ඉදිරියේ ආණ්ඩුවට යම්කිසි ආකාරයක පාලන ක්‍රියාමාර්ගයකට යාමට සිදුවීම පිළිගත හැකි නමුත් ආණ්ඩුව මේ අර්බුදය ආරම්භ වූ මුල් කාලයේ හැසිරුනේ අපිටනම් ප්‍රශ්නයක් නෑ ස්ථාවරයෙනි. උදාහරණයකට මාර්තු 2වනදා රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් නලින්ද ජයතිස්සම ප්‍රකාශ කරේ මසකට අවශ්‍ය තෙල් තොග ඇති බවයි. ඊට අමතරව ගොඩබෑමට සුදානම් නැව්වලද අවශ්‍ය තරම් තෙල් සංචිත ඇති බැවින් ප්‍රශ්නයක් ඇති නොවන බවයි.

ඊට දින දෙකට පසුද නලින්ද ජයතිස්ස ඇමැතිවරයාම කැබිනට් මාධ්‍ය හමුවකදී පවසන්නේ තෙල් අවශ්‍ය තරම් ඇති බවයි. එසේම ලංකාව තෙල් ගෙන්වන්නේ මැදපෙරදිග කලාපයෙන් නොවන බවත් ඉන්දියාවෙන් සහ සිංගප්පුරුවෙන් බැවින් ප්‍රශ්නයක් ඇති නොවන බවයි.

නමුත් දැන් ඇමතිවරයා පවසන්නේ වෙනත් කතාවකි. දැනට තෙල් සංචිත පමණක් නොව ඉදිරියේ තෙල් ගෙන්වීමද අවිනිශ්චිත බව ඇමතිවරයා පවසයි.

ඊට අමතරව ඇමතිවරයාගේ කතාවේ තවත් අවධානය යොමුකළ යුතු කතාවක් වන්නේ අනෙකුත් තෙල් බෙදාහැරීමේ සමාගම් තෙල් මිල වැඩිකරන ලෙස ඉල්ලීම්කළ බව පැවසීමයි. මෙහිදී ඇතැම් NPP ආණ්ඩුවද පිළිගන්නා පෞද්ගලිකරණයේ ඇත්ත ප්‍රතිවිපාක හොඳින්ම පෙනෙන අවස්ථාවකි. ලිබරල් කේවට්ටයන් දිගින් දිගටම පැවසුවේ තෙල් වෙළඳපොල රජය යටතේ තබා ගැනීම නවත්වා පුද්ගලීකරණය ශක්තිමත් කළ යුතු බවයි. ඒ හරහා තෙල් වෙළඳපොලේ තරඟයක් ඇතිවී ජනතාවට අඩු මිලට තෙල් ලබාගැනීමට හැකිවෙනු ඇති බව ඔවුන්ගේ අදහස විය. නමුත් දැන් ඇත්තටම සිදුවී ඇත්තේ ඔවුන් තෙල් මිල වැඩිකරන ලෙස ආණ්ඩුවට ද බලාපෑම් කිරීම් මිස අන්යමක් නොවේ.

ආණ්ඩුව තෙල් වෙනුවෙන් යම් පිරිවැයක් දරන බව පැවසුවත් එය ජනතාවට සහන දීමක් නොවේ. ආණ්ඩුව කළ යුත්තේ ඩීසල් වැනි ආර්ථිකයට කෙලිනම් බලපාන ඉන්ධනය සඳහා බදු විරාමයක් ලබාදී විශේෂයෙන් මගී ප්‍රවාහන ක්ෂේත්‍රයට, සහ භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයට මෙන්ම විදුලිය ජනනය සඳහා යම් සහනයක් ලබාදීමයි. මන්ද මේ ක්ෂේත්‍ර අනෙකුත් පරිභෝජන භාණ්ඩවල මිල ඉහළ යාම සඳහා කෙලින්ම බලපාන බැවිනි.

leave a reply