Breaking News

තෙල් ආනයනය ලිහිල් කිරීම ව්‍යාපාරිකයන්ට අධික ලාභ ගන්න ඉඩ දීමක්ද?

අපනයනකරුවන්ට සහ සංචාරක ක්ෂේත්‍රයේ නියුතු ව්‍යාපාරිකයන්ට තමන් උපයන ඩොලර් භාවිතා කරමින් සෘජුවම ඉන්ධන ආනයනය කර අලෙවි කිරීමට අවසර ලබා දීමට තීරණය කර ඇතැයි අනුර කුමාර දිසානායක ඊයේ පැවති මාධ්‍ය හමුවේදී පවසා තිබුණි.

මීට පෙර විදේශ කටයුතු ඇමතිවරයා පැවසුවේ ටෙන්ඩර් පටිපාටියකින් තොරව ඉන්දියාවෙන් සහ රුසියාවෙන් තෙල් මිලදී ගැනීමට සැලසුමක් ඇති බවයි. කෙසේවෙතත් මෙම තීරණය සම්බන්ධයෙන් ඇතැම් පිරිස් සැක පහළ කරමින් තිබේ.

දැනටමත් අපනයනකරුවන් 30ක් පමණ මෙම ‘ඩොලර් තෙල්’ වැඩපිළිවෙල සමඟ එක්වීමට එකඟතාව පළ කර ඇති අතර, මාර්තු 18 සිට මෙම සැපයුම් කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

මෙම තත්ත්වය පිළිබඳව විශේෂ විග්‍රහයක යෙදෙන ආර්ථික විශ්ලේෂිකාවක වන ආචාර්ය අමාලි වෙදගෙදර සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් මෙසේ පවසා තිබුණි:

‘තෙල් ආනයනය තව දුරටත් විවෘත වෙනවා. ජනාධිපති ජාතිය අමතක කතාවේ කියනවා සංචාරක කර්මාන්තය වැනි ඩොලර් උපයන ක්ෂේත්‍රයන්ට ඔවුන්ට අවශ්‍යය තෙල් ආනයනය කරන්න අවසර දීලා තිබෙන බව. අපි දන්නවා 2022 ඇති වූ ආර්ථික අර්බුදය හමුවේ ඩොලරයේ මිල ඉහල යාමත් සමඟ ලංකාවේ විනිමය වෙළෙඳාමේ නියැලී සිටින්නන් කිහිප දෙනෙක් අධික ලාභ ලැබූ බව. කෝවිඩ් කලෙත් ටෙස්ට් කිට්ස් ආනයනය කිරීම සහ කොරන්ටයින් සෙන්ටර්ස් හරහා අධික ලාභ ඉපැයූ පිරිස් සිටි බව. ඉරාන යුද්ධය ආශ්‍රිත අර්බුදයෙන් වාසි ගන්නේ කවුද? කල දුටු කල වල ඉහගන්න පිරිසක් අනිවාර්යයෙන්ම සූදානම් වී සිටින බැවින් ඔවුන්ට වල ඉහ ගන්න බැරි නියාමන ශක්තිමත් කිරීම ආණ්ඩුවේ වැදගත්. තෙල් ආනයන ලිහිල් කිරීම, ටෙන්ඩර් නැතිව තෙල්/ ගෑස් ආනයනය කිරීම නම් ඒ මාර්ගය නොවෙයි.’

විශේෂයෙන්ම ඩොලර්වලින් ව්‍යාපාරිකයන් තෙල් මිලදී ගනිද්දී විශාල වංචාවන් රැසක් සිදුකිරීමේ අවධානමක් පවතියි. උදාහරණයකට ඩොලර්වලින් ව්‍යාපාර කරන ව්‍යාපාරිකයන් බොහෝ දෙනෙක් මිස් ඉන්වොයිසින් හරහා දැනටමත් විශාල ඩොලර් ප්‍රමාණයක් පිටරට තැන්පත් කර තිබේ. මේ හරහා එවැනි වංචාවන් තවත් දිරි ගැන්වීමේ අවධානමක් පවතියි.

leave a reply