Breaking News

සතුටේ පැහැය

අප අවට ඇති, අපට පෙනෙන, අප දකින දෑ නොයෙකුත් පැහැයන්ගෙන් යුක්තය. එහෙත්, ඇතැම් විට ඒ ඇතැම් දෑ තම තමා වඩාත් ම කැමති පැහැයෙන් දකින්නට අපි කැමැත්තෙමු. එවිට අපි සතුටු වන්නෙමු.

අපේ සතුට කුමන පැහැයක් මත රඳා පැවතුණා වුවද, සතුටට අදාල වෙනම පැහැයක් තිබෙන බව ඔබ දන්නවාද?

වර්ණ මනෝවිද්‍යාව සහ තවත් විද්‍යාත්මක පර්යේෂණ ගණනාවක අධ්‍යයන හරහා පැමිණි නිගමනයන්ට අනුව, සතුටට අදාල පැහැය ලෙස සැලකෙන්නේ කහ පැහැයයි. එම පර්යේෂණවලට අනුව කහ පැහැය මොළය උත්තේජනය කරන අතර උණුසුම සහ දීප්තිය පිළිබඳ හැඟීම් ජනිත කරවයි. තවද, මනෝවිද්‍යාඥයන් පවසන්නේ ධනාත්මක සිතුවිලි වර්ධනය, අභිප්‍රේරණය සහ නිර්මාණශීලීත්වය සමඟ කහ පැහැය බැඳී තිබෙන බවයි.

කහ පැහැය හිරු එළිය සහ ශක්තිය නියෝජනය කරයි. ප්‍රීතිය සහ ශුභවාදී හැඟීම් හිරු එළිය සමඟ ශක්තිමත්ව බැඳී පවතින බැවින් කහ පැහැයද එම බැඳීමට දායක වන්නේ නිරායාසයෙනි.

හිරු එළියට නිරාවරණය වීමෙන් සිරුරේ තිබෙන සෙරොටොනීන් මට්ටම වැඩිවන බව විද්‍යාත්මකව තහවුරු වී තිබේ. සෙරොටොනීන් යනු මනසේ සන්සුන්බව සහ සතුට රැක ගැනීමට උර දෙන රසායනිකයකි. හිරු එළිය සහ සෙරොටොනීන් අතර තිබෙන මෙම ජීව විද්‍යාත්මක බැඳියාවට කහ පැහැයෙන්ද ලැබෙන්නේ නොමඳ උත්තේජනයකි. ඒ අනුව ආතතිය අඩු කිරීමට මෙන්ම, චිත්තවේගීය සමතුලිතතාවය පවත්වා ගැනීමට කහ පැහැය ඍජුව දායක වේ.

මනෝවිද්‍යාවට අනුව තව දුරටත් පැහැදිලි කිරීමේදී, ඉහත කරුණුවලට අමතරව පැහැදිලිබව, විශ්වාසය සහ මානසික උත්තේජනය සමඟද කහ පැහැය සම්බන්ධ වේ. ඒ හරහා මතකය සක්‍රිය කිරීම සහ සන්නිවේදනය දිරිමත් කිරීම සිදුවේ. එබැවින් ක්‍රියාශීලී චින්තනය ප්‍රවර්ධනය කිරීම සඳහා, ඉගෙනුම් අවකාශයන්ට සහ නිර්මාණ කාර්යයන්හි නිරතවන පරිසරයන්ට කහ පැහැය භාවිතා කිරීම සුදුසු බව පර්යේෂකයෝ පවසති.

දෘෂ්ටි විද්‍යාව පිළිබඳ අධ්‍යයනවලින් සොයාගෙන ඇත්තේ, මිනිස් ඇසට වඩාත්ම දෘෂ්‍යමාන වන වර්ණ අතුරින් කහ පැහැයට විශේෂ තැනක් ලැබෙන බවයි. කහ පැහැය මනස සක්‍රිය කරන අතර මනස අවදියෙන් තැබීම සහ ධනාත්මක ලෙස චිත්තවේගීය ප්‍රතිචාර දැක්වීම සඳහා ද දායක වේ.

එපමණක් නොව නොයෙක් සංස්කෘතික පරිසරයන්හි කහ පැහැයට සුවිශේෂී ස්ථාන ලබා දී තිබේ. ඉන්දියාවේ කහ පැහැය සමෘද්ධිමත්බව, දැනුම, ඉගෙනීම සහ සැමරීම නියෝජනය කරන අතර බටහිර සංස්කෘතීන් තුල කහ පැහැයට හිමි වන්නේ මිත්‍රත්වය, සතුට සහ උණුසුම සමඟ බැඳුණු ස්ථානයකි. සමස්ථයක් ලෙස ගත් කළ කහ පැහැය විශ්වීය වශයෙන් ධනාත්මක වර්ණයක් ලෙස සලකනු ලැබේ.

මේ සියලු නිගමනයන්ට අනුව කහ පැහැය පිළිබඳව සිත්ගන්නාසුලු කරුණු රැසක් හෙලිදරවු වී තිබේ.

ඉන් එක් මූලික ම කාරණයක් නම්, කහ පැහැය මිනිස් හැඟීම් කෙරෙහි ඍජු බලපෑමක් ඇතිකිරීමයි. ප්‍රීතිමත්බව සහ උද්‍යෝගය වර්ධනයට කහ පැහැය බලපාන අතර, ඒ හරහා වඩා යහපත් මානසික වටපිටාවක් ගොඩනැඟේ.

එසේම, අවධානය රඳවාගැනීම සහ අවදියෙන් සිටීම සඳහා කහ පැහැය ධනාත්මකව බලපායි. තවද, මොළය වෙත ඉතා වේගයෙන් තොරතුරු රැගෙන යෑමේ හැකියාවක් කහ පැහැය සතුව පවතින බැවින් අනතුරු ඇඟවීමේ සංඥා මෙන්ම, අධ්‍යාපනික කටයුතු සඳහාද කහ පැහැය යොදා ගැනේ.

සිතුවිලිවල ඍණාත්මකබව අඩු කිරීමට මෙන්ම මානසික ශක්තිය ඇති කිරීමටද උපකාරවන කහ පැහැය, දීප්තිමත්, ධනාත්මක සහ උත්තේජන පිරි පරිසරයක් නිර්මාණය කරයි. ඉතින්, මෙවැනි හේතු කාරණා නිසාම කහ පැහැය සතුටේ පැහැය ලෙස නම් කෙරේ.

තොරතුරු අන්තර්ජාලයෙනි.
ගයනි ගුරුගේ.

leave a reply