Breaking News

නව ශ්‍රී ලංකන් ගුවන් යානය – ජනතාවගේ ඇස්වලට කඳුළු පුරවයිද?

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අලුතින් එක්වූ ගුවන් යානය සම්බන්ධයෙන් ජනතාවගේ පිළිගැනීම දැක තමන්ගේ ඇස් දෙකට කඳුළු පිරුණු බව ඇමති බිමල් රත්නායක පවසා තිබේ.

ශ්‍රීලංකන් ගුවන් සේවයට අලුතින් එක්වූ එයාර්බස් A330-200 පුළුල් බඳ (Wide-body) සහිත ගුවන් යානය ඊයේ (ජූනි 04) උදෑසන ප්‍රංශයේ පැරිස් නුවර

සිට මෙරටට ළඟා විය. ඒත් සමඟම සමාජ මාධ්‍ය හරහා මේ සම්බන්ධයෙන් විවිධ මත එළියට එන්නට පටන් ගෙන තිබේ. විශේෂයෙන් ඇතැමුන් පවසන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලබාගත් ණය ගෙවගන්නට බැරුව සිටින මොහොතේ මෙවැනි යානයක් ලබාගැනීමේ තේරුම කුමක්ද යන්නයි. තවත් පිරිස් පවසන්නේ මෙය ඉතා පැරණි ගුවන් යානයක් බවයි.

තවත් පිරිසක් ප්‍රශ්න කර තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශය අනුව රාජ්‍ය වියදම් පාලනය කරන තත්ත්වයක් තුළ අලුත් ගුවන් යානයක් සඳහා මුදල් වෙන් කරන්නේ ඇයිද යන්නයි. උදාහරණයට ආණ්ඩුව විදුලි බිල වැඩිකිරීමට සූදානම් වෙන්නේ විදුලි බල මණ්ඩලය ලබාගෙන ඇති ණය ගෙවීමට ඇති බව පවසමිනි.

එසේම සමාජ මාධ්‍ය තුළ සැරිසරන තවත් මතයක් වන්නේ ධම්මික පෙරේරාට ශ්‍රී ලංකන් කොටස් හිමිකාරීත්වය සහිත නිසා ඔහු වෙනුවෙන් මෙම මිලදී ගැනීම් සිදුකරන බවයි.

මේ අතර, ගුවන් යානා සංඛ්‍යාව වැඩි වීම මගින් විශේෂයෙන් ම දිගු දුර ගුවන් ගමන් ඇතුළුව සමස්තයක් ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් කටයුතු වඩාත් කාර්යක්ෂම හා පහසු වනු ඇති බව ශ්‍රීලංකන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

කෙසේවෙතත් ශ්‍රීලංකන් ගුවන් සේවය වසර 7කට පසු ලබා ගත් Wide-body වර්ගයේ පළමු ගුවන් යානය මෙය යි.

4R-ALT ලියාපදිංචි අංකය දරන මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළට ගොඩබැස්සවීමට පෙර කොළඹ සහ කටුනායක ප්‍රදේශ හරහා පියාසර කරන අයුරු ජනතාවට ප්‍රදර්ශනය විය.

අද (ජූනි මස 04) රැගෙන ආ එයාර්බස් A330-200 පුළුල් බඳ (Wide-body) සහිත ගුවන් යානය ශ්‍රීලංකන් සමාගමේ සේවයට යොදා ගැනීමට පෙර, වෙනත් ගුවන් සමාගම් දෙකක ගුවන් ගමන් සඳහා යොදාගෙන ඇතැයි airfleets.net වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

PK-GPN යන ලියාපදිංචි අංකය යටතේ 2011 වසරේ නොවැම්බර් මස 11 වන දා සිට මෙම එයාර්බස් ගුවන් යානය ඉන්දුනීසියාවේ ගරුඩා ගුවන් සේවය විසින් භාවිත කරනු ලැබ ඇත්තේ කල්බදු ක්‍රමය යටතේ ය. 2020 වසරේ ඇති වූ කොවිඩ් වසංගතය හේතුවෙන් එම ගුවන් සේවය විසින් සේවයෙන් ඉවත් කරනු ලැබ තිබූ මෙම ගුවන් යානය නැවත එය අයත් සමාගම වෙත 2021 වසරේ ජූනි මාසයේදී භාර දී තිබිණි.

නැවත වරක් 2022 වසරේ නොවැම්බර් මස 28 වන දා HL8512 යන අංකය යටතේ ලියාපදිංචි කරන ලද මෙම එයාර්බස් ගුවන් යානය දකුණු කොරියාවේ Fly Gangown ගුවන් සේවය විසින් සේවයට එක් කරන ලද අතර ඔවුන් එය 2023 වසරේ මැයි 19 වන දා නැවත එය අයත් සමාගම වෙත භාර දී ඇත.

මෙම එයාර්බස් ගුවන් යානය 4R-ALT ලියාපදිංචි අංකය යටතේ ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් සිය සේවයට එක් කරගෙන ඇත්තේ, ඉන් අනතුරුව ය.

නව ගුවන් යානයත් සමග දැන් ශ්‍රීලංකන් ගුවන් සේවය සතු Wide-body ගුවන් යානා සංඛ්‍යාව 10ක් වන අතර, Narrow-body ගුවන් යානා 13ක් ශ්‍රීලංකන් ගුවන් සමාගම සතුව පවතින බව ද වාර්තා වේ.

leave a reply