බටලන්ද කොමිෂන් වාර්තාව සම්බන්ධ අනාවරණයන් රටපුරා මර්දනයෙන් බැට කෑ ජනයාට යුක්තිය ඉටු කිරීමේ අවස්ථාවක් බවත් එය ජාතික ජනබලවේගය ආණ්ඩුවේ වගකීමක් බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් පවසයි. බටලන්ද කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස ආණ්ඩුවට බල කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද (10) දින පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසිය.
කුමාර් ගුණරත්නම් පළ කළ අදහස් සාරාංශයක් පහත සටහන් වේ.
“පසුගියදා අල් ජසීරා නාලිකාවෙ සාකච්ඡාවකදි නැවත වරක් වාර්තා කළ කරුණු අනුව, 1977-94 කාලයේ හිටපු ඇමතිවරයකු ලෙස රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් ‘බටලන්ද කොමිෂන් වාර්තාවෙන්’ කළ අනාවරණය සමාජ අවධානයට ලක් වී තිබෙනවා. පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස අපි මේ කාරණා සම්බන්ධ අපේ පක්ෂයේ අදහස, අපගේ ඉල්ලීම ජනතාව හමුවේ ඉදිරිපත් කළ යුතු බව විශ්වාස කරනවා.
1977 ජේ.ආර්. ජයවර්ධන, රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව පිහිටුවා ගත්තට පස්සෙ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කරන, ජනතාව පීඩාවට පත්කරන ක්‍රියාමාර්ග ගණනාවක් ගනු ලැබුවා. එහි ප්‍රතිඵලයක් ලෙස පැන නැගුණු ජනතා විරෝධය, දේශපාලන විවේචනය හා නැගී සිටීම් මර්දනය කරන්න එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ගත්ත ක්‍රියාමාර්ග ඇතුළෙ සැළකිය යුතු භූමිකාවක් රනිල් වික්‍රමසිංහ එක් කාලයක අධ්‍යාපන ඇමති වශයෙනුත් ඉන්පසුව තරුණ කටයුතු ඇමති ලෙසත් ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා යටතේ කර්මාන්ත ඇමති ලෙසත් ඉටු කළා. මේ වනවිට අපි කතාකරමින් ඉන්න බටලන්ද වධකාගාරය ගැන කතාව එන්නෙ ඒ එක්සත් ජාතික පක්ෂ පාලනය යටතේ සිදු වූ සිදුවීම්, දේශපාලන වර්ධනයන් සමග. 1977 සිට වැඩ කරන ජනතාව මර්දනය කරමින් වෘත්තිය සමිති නායකයන්ට හිරිහැර කරමින් 1980 ජූලි වර්ජනය දක්වා මේ පීඪාකාරී පාලනය පවත්වාගෙන ගියා. 1981 යාපනය පුස්තකාලය ගිනිතැබීම, 1983 තමිල් ජනතාවට එරෙහිව සංවිධානය කළ කලු ජූලිය ප්‍රහාරය, ඉන්පස්සෙ ඉතිහාසයේ දූෂිත මැතිවරණයක් ලෙස 1982 ජනමත විචාරණයෙන් ඡන්දය කොල්ලකාලා පාර්ලිමේන්තු කාලය දිගු කරගැනීම, 1987 ඉන්දු ලංකා ගිවිසුමට විරෝධය පළකිරීමෙන් පස්සෙ මේ රටේ ඇතිවූ සිදුවීම් පසුබිම් කරගෙන ජනතාව මර්දනය කිරීමේ සංවිධානාත්මක ක්‍රියාමාර්ග එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව ගත්තා. බටලන්දෙ වගේම රටපුරා පොලිස් ස්ථානවල, රජයේ ගොඩනැගිලිවල, හමුදා කඳවුරුවල විවිධ ආකාරයෙන් තරුණ තරුණියන් රඳවලා වධ දෙමින්, ඝාතනය කරමින් සිදුකළ සංහාර ගැන අපි දන්නවා. නමුත් 1994දි බලයට එන්න චන්ද්‍රිකා කුමාරතුංග විසින් සූරියකන්ද, බටලන්ද වගේ සිදුවීම් පාවිච්චි කරලා කිඹුල් කඳුලු හෙලලා ඒ සංහාරයට ලක්වූ තරුණ තරුණියන්ගෙ ජීවිත පාවිච්චි කරලා ඔවුන්ගෙ මව්පියන් සමීපතමයන්ගෙ කඳුළුවලින් දේශපාලන ජයග්‍රහණ ලබාගත්තා. ඒ නිසා බටලන්ද වධකාගාරය ගැන විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් දාලා චන්ද්‍රිකා රනිල්ව බ්ලැක්මේල් කළා, ඒක 1999 ජනාධිපතිවරණයෙන් අවසන් වුණා. ඉන්පස්සෙ චන්ද්‍රිකාට එහි යුක්තිය ඉටු කිරීම සම්බන්ධ වගකීම අදාළ වුණේ නෑ.
‘අල් ජසීරා’ සංවාදයෙදි රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් බටලන්ද කොමිෂන් වාර්තාව පදනම් කරගෙන බී.බී.සී. වාර්තාකාරිනිය චෝදනා ඉදිරිපත් කරද්දි ඒක නිල වාර්තාවක් නෙවෙයි කියනවා. චන්ද්‍රිකා බණ්ඩාරනායක ඒ වාර්තාව ගැන වගකීම ඉටු කළේ නැත්තෙ ඇයි? බටලන්ද ඇතුළු තරුණ සංහාර ගැනත්, රණසිංහ ප්‍රේමදාස ගැනත් යුද අපරාධ සම්බන්ධයෙන් රාජපක්ෂලා ඇතුළු වගකිවයුත්තන් ගැනත් එන චෝදනාවලදි රනිල් වික්‍රමසිංහ විසින් ආරක්ෂා කරන්නෙ එක්තරා පන්තියක්. මේ ජනතාව පෙළන ආර්ථික ක්‍රමයක් පවත්වා ගෙන යමින් ඒ සම්බන්ධ විරෝධය දක්වන්න ඉදිරිපත්වන ජනතාව මර්දනය කරමින් ඒ සම්බන්ධ අපරාධවලට පුද්ගලිකව සම්බන්ධ වෙමින් ඔවුන් ආරක්ෂා කරන්නෙ තමන්ගෙ පන්තිය. රනිල් විසින් ඒ ආරක්ෂා කරන්නෙ අපරාධ සම්බන්ධ නිලධාරින්, තමන් වගේම ඒ අපරාධවලට නායකත්වය දුන් දේශපාලන නායකයන් ඇතුළුව ඒ අපරාධ සම්බන්ධ ජනතාවගෙ පැත්තෙන් වගකීමක් නොගත් රාජ්‍ය තමයි ඔහු ඒ රකින්නෙ. චන්ද්‍රිකා බටලන්ද කොමිෂන් වාර්තාව යටගහලා කළෙත් ඒකමයි. කිසිම බයක් නැතිව ඒක නිල වාර්තාවක් නෙවෙයි කියන්න රනිල්ට පුළුවන් වුණේ චන්ද්‍රිකා තමන්ගෙ පන්තිය වෙනුවෙන් කළ යුතුකම නිසා.
මේ දක්වා පත් වූ ආණ්ඩුවලදි, ඒ ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු, යුද අපාධ, මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, ජනතාවට එරෙහිව සිදු කළ සියලු අපරාධ යට ගසමින් ඒ පිළිබඳ නීතිමය පියවර ගන්න ඇති තරම් සාක්ෂි තිබියදී රාජ්‍ය ආරක්ෂා කරමින් රටේ ජනතාවගේ ප්‍රශ්නය නොතකා හැරියා.
අප දන්නා 1980 දසකයේ ආරම්භ වී දකුණේත් උතුරේත් යුද සමයේ ජනතාව මර්දනය කිරීම්, නීතියට පිටින් කළ පැහැර ගැනීම්, වධ හිංසා, ඝාතන සම්බන්ධයෙන් යුක්තිය ඉටු නොකිරීමේ සිට ඊයෙ පෙරේදා ආයුද පෙන්වන්න ගෙන ගිහින් මරා දැමූ සැකකරුවන් සම්බන්ධ වගකිව යුත්තන් නීතිමය පියවර නොගන්නේත් ඒ රාජ්‍ය ආරක්ෂා කරන්න. 2022 අරගලයෙන් පස්සෙ, ගෝඨාභය රාජපක්ෂගේ පලා යාමෙන් පසු අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පැමිණි රනිල් වික්‍රමසිංහ කටයුතු කළේ ඔහුගෙ අතීත භාවිතය තුළම සිටිමින්. 2022 ජූලි 22 වැනිදා අලුයම් කාලෙදි ගාලුමුවදොර සාමකාමී අරගලකරුවන්ට ඉතාම තිරශ්චීන ආකාරයෙන් පහරදීමට ඔහු කටයුතු කළා. අපි තවමත් දන්නෙ නෑ නීති විරෝධී අවි භාවිතයක් කරමින්, මොන හමුදාවද මොන ඒකකයද මොන පොලිස් කණ්ඩායමද පාවිච්චි කළේ කියලා.
ඒ මහජන අරගලය පැන නැගුනෙම රනිල් වික්‍රමසිංහලා 1977 ආරම්භ කළ ඉන්පසුව අනෙකුත් පාලන කාලවල පවත්වාගෙන ගිය නවලිබරල් ආර්ථික ක්‍රමයෙන් ඇති වූ දැවැන්ත ආර්ථික අර්බුදය නිසා. ඒ ආර්ථික ඝාතනයෙ වගකිව යුත්තෙක් ලෙස රනිල් වික්‍රමසිංහ 2022 බලයට පැමිණීමෙන් පසුව කළෙත් සමස්ත පොදු ජනතාව මත බදු බර පටවමින් ඔහු නියෝජනය කරන සුපිරි පැලැන්තියේ අරමුණු ආරක්ෂා කරමින්, ජාත්‍යන්තරර මුල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට කටයුතු කිරීමයි. ඒ නිසා අදත් මේ රටේ සාමාන්‍ය පොදු ජනතාව, වැඩකරන ජනතාව මත පටවා ඇති පීඩාවෙ වගකිවයුත්තෙක් ලෙස රනිල් වික්‍රමසිංහ ඉන්නවා. ලංකාවෙ ආර්ථිකයෙදි ජනතා අරමුදල් කොල්ල කන දේශපාලන නායකත්වය වගේම ජනතාවගෙ ආර්ථික ශක්තිය කොල්ල කන ඇලෝසියස්ලා, ධම්මික පෙරේරලා නියෝජනය කරන පැලැන්තියයි දේශපාලනයෙදි එකට එකතු වෙලා මේ ආර්ථික ඝාතනය කරන්නෙ. ආර්ථික ප්‍රතිපත්තියෙදි නවලිබරල් ධනවාදය වගේම ඒ වෙනුවෙන් බලහත්කාරී පාලනයක් පවත්වා ගෙන යාම, ඊට එරෙහිවන සියලු දෙනා දැඩි මර්දනයකට ගෙනයාම වගේම රනිල්ගෙ දේශපාලනය තුළ ඒ සියලු දෙනා ආරක්ෂා කිරීමට ඉදිරිපත්වීමත් තිබෙනවා.
ඒ නිසා මේ නවලිබරල් ධනවාදී සමාජ ආර්ථික ක්‍රමය වෙනුවෙන් රාජ්‍ය ආරක්ෂා කිරීම
රනිල් වික්‍රමසිංහ විසින් ඉටුකරනවා, ඒ ක්‍රමය ආරක්ෂා කරන්න, ඒ වෙනුවෙන් මර්දනකාරී රාජ්‍ය ක්‍රියාමාර්ග ඉටු කිරීම සහ ඒ ක්‍රියාමාර්ග ආරක්ෂා කිරීම වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ අදත් කටයුතු කරමින් ඉන්න බව පැහැදිලියි. නමුත් ඉතිහාසයක් පුරා මේ රටේ ජනතාවට එරෙහි මර්දනකාරී තත්වයන්, පැහැරගෙන යාම්, අනීතික රඳවාගැනීම්, වධහිංසා පැමිණවීම් සහ ඝාතනයන් සම්බන්ධ යුක්තිය ඉටු කිරීමටත් එවැනි සිදුවීම් යළි යළිත් සිදුවීමෙන් මේ සමාජය ආරක්ෂා කිරීමේ වගකීමක් අපට තියෙනවා.
පොලිසියෙ හමුදාවෙ සියලුම දෙනා සම්බන්ධයි කියලා කියන්න බෑ, නමුත් ඒ අතර සිටි පිරිසක්, දේශපාලන අනුග්‍රහය හා රැකවරණය ඇතිව ඔවුන්ගේ නියෝග පිළිපදිමින් කටයුතු කළා. ඒ අපරාධ නිසා අදත් ඒ පීඩාව දරාගන වේදනා විඳින අය මේ සමාජයෙ ඉන්නවා. ඒ අයගෙ ඥාති හිතවතුන් තවමත් ඒ ගැන කම්පා වෙනවා, ඒ අයුක්ති සහගත තත්වයන්ට වගකිව යුුතු දේශපාලන නායකත්වය මෙන්ම ඊට සම්බන්ධ නිලධාරින් ඇතුළු සියලු දෙනා නීතිය ඉදිරියට ගෙන ආයුතුයි. ඒ නිසා මේක රනිල් වික්‍රමසිංහගෙ හෝ බටලන්ද ගැන විතරක් ප්‍රශ්නයක් ලෙස අපි දකින්නෙ නෑ. ඒ වනවිට කිසිදු නීතිමය තත්වයකින් තොරව සපුගස්කන්ද පොලිසිය ඇතුළු පොලිසියෙ ස්ථාන, සුගතදාස ක්‍රීඩාංගනයත් ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයෙත් වධකාගාර පවත්වාගෙන ගියා. රටපුරාම එවැනි වධකාගාර පවත්වා ගෙන ගියා. හමුදා කඳවුරු, පොලිස් ස්ථාන මේ වධක ස්ථාන බවට පත් කරගෙන තිබුණා. නමුත් මේ බටලන්ද කොමිෂන් වාර්තාවෙන් සංකේතවත් වෙනවා ඒ යුක්තිය ඉටු කිරීමේ අභිලාෂය ඉටු කරන්න ජනසමාජයක් තුළ ඇති අවශ්‍යතාව. ඒක අවභාවිතා කරලා දේශපාලන වාසිගත්ත අයගෙ දූෂීත, පීඩක අපරාධකාරී දේශපාලනයත් හෙළි දරව් වෙනවා. ඒ නිසාම වත්මන් ජාතික ජනබලවේගය ආණ්ඩුවට පුලුවන් දැන් මේ බටලන්ද කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවෙ සම්මත කරලා එහි නිර්දේශ අනුව කටයුතු කරන්න. දේශපාලන වශයෙනුත් සදාචාරමය වශයෙනුත් ඒ ගැන කිසිදු බාධාවක් නැති බව කිව යුතුයි.
ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරින් ඉවත් කිරීමට ඩග්ලස් පීරිස් කටයුතු කළා කියන හේතුව පාවිච්චි කරලා පොලිසියේ විභාගයෙන් අසමත් වුවත් ඔහුට සහකාර පොලිස් අධිකාරි තනතුර දිය යුතු බවට කළ නිර්දේශය රනිල් වික්‍රමසිංහ අනුමත කරනවා.
විශේෂ සිදුවීමක් ලෙස 1981 ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිවරණ වේදිකාවෙ ජනප්‍රිය කතිකයෙක් ලෙස කටයුතු කළ, 1987 -88 අතුරුදන්වීම් සම්බන්ධයෙන් හබයාස් කොල්පුස් පෙත්සම් ඉදිරිපත් කිරීම නිසා පිළිගැනීමට ලක් වුණ විජේදාස ලියනාරච්චි සහෝදරයා ඝාතනය කිරීමටත් මේ රනිල්ගෙ බටලන්ද වධකාගාරය සහ එහි නිලධාරින් සම්බන්ධ බව කොමිෂන් වාර්තාවෙ අනාවරණය වෙනවා. අලුත්කඩේදි පැහැරගෙන ගිය විජේදාස ලියනාරච්චි තංගල්ල පොලිස් අධිකාරි යටතෙ ඉන්නවා කියලා ජේ.ආර්.ගෙ පුතා දන්නවා, පොලිස්පති දන්නෙ නෑ. නමුත් පසුව ඔහුගෙ ආරක්ෂාවට කියලා කොළඹ ගෙන්වා ගෙන ජනතා විමුක්ති පෙරමුණ මර්දනය කරන්න පාවිච්චි කළ බටලන්දට භාර දෙන්න කියලා ඉල්ලීමක් කරන්නෙත් ඔහු. බටලන්ද කොමිෂන් වාර්තාවෙ හොඳින් අනාවරණය වෙනවා දේශපාලන නායකයන් රාජ්‍ය නිලධාරින් එක්ක කොහොමද ඒ අපරාධකාරී රාජ්‍ය පාලනයට හවුල් වුණේ? නීත්‍යනුකූල රාජකාරි කළ යුතු නිලධාරින් ලවා පුද්ගලයන් පැහැර ගෙන ඇවිත්, නීතියට පිටින් රඳවාගැනීම, අමානුෂික වධදීම, ඝාතනය කිරීම මේ අය කළේ කොහොමද කියලා සාක්ෂි සහිතව අනාවරණය වුණා. මේ එකතැනක් විතරයි. මේ වගේ රට පුරා අනීතික කටයුතු, රැඳවුම් ස්ථාන, වධකාගාර පවත්වාගෙන ගියා. මේ ගැන ඕන තරම්, පැමිණිලි, සාක්ෂි ලබාදීම්, ජනාධිපති කොමිෂන් සභාවලට ජනතාව ලබාදුන්නා, වින්දිතයන්ගෙ ප්‍රකාශ තියෙනවා. පහුගිය කාලෙ අතුරුදන් කිරීමේ කාර්යාලයටත් මේ තොරතුරු ලබා දීලා තියෙනවා.
රනිල් වික්‍රමසිංහ විතරක් නෙවෙයි, ජෝන් අමරතුංග, ජෝශප් මයිකල් පෙරේරා, ජේආර්ගෙ පුතා රවි ජයවර්ධන වගේ අය දේශපාලන නායකයන් විශාල පිරිසකුත් මේ ක්‍රියාවලියට සම්බන්ධයි. රනිල් වික්‍රමසිංහගෙ ක්‍රියකලාපය සම්බන්ධ අනාවරණයක් බටලන්ද කොමිෂන් වාර්තාවෙන් අනාවරණය වීම තමයි විශේෂත්වය. ඔවුන් තමන්ට හිතවත් පක්ෂපාති නිලධාරින් පිරිසකගේ සහයෝගයෙන් මේ අපරාධක කළේ.
බටලන්ද කොමිෂන් වාර්තාවෙන් කළ නිර්දේශ අතර මුලින්ම තියෙනවා මෙහෙම දෙයක්. කැරලිකාරී තත්වයක් නිසා ආණ්ඩුවක් කොයිතරම් ප්‍රකෝපයට පත් කළත් නීතියට පිටින් කටයුතු කරන්න ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්න ජනතා ඡන්දයෙන් පත්වන ආණ්ඩුවකට හැකියාවක් නෑ කියන එක ඔවුන් අවධාරනය කරනවා. පොලිසියට හමුදාවට ඇති නීතිමය වගකීමට පිටින් කටයුතු කරරන්න බෑ කියන එක ඔවුන් අවධාරනය කරනවා. ඒ නිසා ජනතා ඡන්දයෙන් පත් කළ ජනතාවට වගකිවයුතු ආකාරයෙන් කටයුතු කරන්න අසමත් වූ නිසා මේ දේශපාලන නායකයන්ට විරුද්ධව නීතිමය කටයුතු කරමින් ඔවුන්ගේ ප්‍රජා අයිතිවාසිකම් අහෝසි කිරීමට පියවර ගත යුතු බව කොමිෂමේ නිර්දේශවලින් කියැවෙනවා.
ඒ වගේම මේ තිබුණු තත්වය නිසා යුක්තිය ඉටු කරන්න, නීථිමය පියවර ගන්න පොලිසියේ පැමිණිලි දාන්වත් බිය වූ තත්වයක් තිබුණු බව ඔවුන් සටහන් කරනවා. දේශපාලන අනුග්‍රහය ඇතිව, පොලිසියේ අතැම් කණ්ඩායම්, අතුරු හමුදා මේ ක්‍රියාවලිය තුළ හිටිය නිසා පැමිණිලි කරන අයටත් ජීවිත තර්ජනයක් තිබුණා. ඒ නිසා නීථිය ගැන පොලිසිය ගැන විශ්වාසය ඇතිකරන්න කටුතු කරන්න කියලා කොමිෂන් වාර්තාවෙන් නිර්දේශ කර තිබුණා. නමුත් මේ කිසිවක් ක්‍රියාවට නගන්න චන්ද්‍රිකා පාලනය හෝ වෙනත් පාලනයකින් සිදු වුණේ නෑ. ඒ වගේම මේ අනීතික අපරාධකාරී තත්වය ඉනපස්සෙ වෙනත් ආකාරයෙන් උතුරෙ යුද්ධය තුළ මෙන්ම ඊට පස්සෙත් සිදු වුණා. ඒ ක්‍රියාදාමයෙදි 89 මර්දනයට එක්ව හිටිය ෆොන්සේකලා වගේ කට්ටිය උතුරෙදිත් ඒ ක්‍රියාදාමයම ඉදිරියට ගෙන ගියා. ඒ සම්බන්ධ යුක්තිය ඉටු කිරීමේ වගකීම සමාජයක් ලෙසත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙසත් අපි අවධානයට ගන්නවා.
මේ වනවිට බලයට පැමිණ සිටින ජාතික ජනබලවේගය ආණ්ඩුව ඒ ගැන කියමින් ජනතාව හමුවේ පොරොන්දු ප්‍රමාණයකුත් දීලා තියෙනවා. විශේෂයෙන් අපට මතකයි අනුර දිසානායක ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවලදි කිව්වෙ නීතිගරුක පාලනයක් පිහිටුවන්න කටයුතු කරනවා කියලා. ඒ නිසාම බටලන්ද කොමිෂන් වාර්තාව සම්බන්ධ යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාමාර්ග ගැන අපේ සමාජයේ අවධානය යොමු විය යුතුයි. අපි මේ පවතින නීතිය සම්බන්ධ දැඩි විවචෙනයක් සහිතව වුවත් පවතින නීතිය යටතේ හෝ එවැනි අපරාධ සම්බන්ධ යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් ආණ්ඩුවට වගකීමක් තිබෙන බව පිළිගන්නවා. දැන් මේ ආණ්ඩුවට මන්ත්‍රි ධුර 159ක් තියනවා. ඔවුන්ගෙන් කී දෙනෙක් රාජ්‍ය භීෂනය යටතේ පීඩාවට පත්වූවන්ද කියලා අපිට තොරතුරු නෑ. නමුත් අපි දන්නවා, ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයන් හැටියට කටයුතු කිරීම නිසා ඒ ධවල භීෂණයෙන් වධ විඳපු ආදරණීය සහෝදරියො, සහෝදරවරු පිරිසක් අතරින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ලෙස පත්වූ අයත් ඉන්නවා. පොදුවේ එදා භීෂණයෙන් ජීවිත උදුරාගත්ත පිරිස නිල වශයෙන් තහවුරු කර නැතත් හැට දහසක් පමණ කියලා කියන්නෙ. 1971 අරගලයේ සිට 87-89 අරගලයෙදිත් 2009 අවසන් වූ උතුරේ යුද්ධයට අදාළව රාජ්‍ය මර්දන කණ්ඩායම් යටතේ ඇති වූ අනීතික කෘර ක්‍රියාකාරකම් නිසා ජීවිත බේරාගත් අයගෙනුත් විශාල පිරිසක් සදාකාලික ආබාධවලට, මානසික පීඩාවලට ලක්වූවන් ඉන්නවා.
1987-90 මර්දනයෙන් පස්සෙ, 1994 අපි ජාතිය ගලවාගැනීමේ පෙරමුණ යටතේ නැවත අපි ජනතා විමුක්ති පෙරමුණ ලෙස දේශපාලන කටයුතු ආරම්භ කරද්දි අපේ පළවෙනි නියමුවා පුවත්පතෙන් අපි අනාවරණය කළා රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු පක්ෂ නායකයන් ඝාතනයට සම්බන්ධ කවුද, තෝරදෙනිය, රොනී ගුණසරිංහ වගේ නම් අපි හෙළිකළා. යුද හමුදාවෙ හිටපු අපේ පක්ෂයෙ මධ්‍යම කාරක සභික ඉන්ද්‍රානන්ද ද සිල්වා සහෝදරයා ඒ කාලෙ අත්අඩංගුවට පත් වුණාට පස්සෙ දිවුරුම් ප්‍රකාශයක් මගින් විජේවීර ඝාතනය ගැන දිවුරුම් ප්‍රකාශයකින් කරුණු ඉදිරිපත් කළා. විජේවීර ඝාතනය සම්බන්ධ හෙළිදරව් කරන්න, යුක්තිය ඉටු කරන්න කොමිසමක් වෙනුවෙන් ඉල්ලීමකුත් ඉදිරිපත් වුණා. රෝහණ සහෝදරයා වගේම, උපතිස්ස ගමනායක, එච්.බී.හේරත්, ඩී.එම් ආනන්ද, වනසිංහ, තංගරාජා, විමලරත්න වගේ පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙ, දේශපාලන මණ්ඩලයෙ සහෝදරවරු සම්බන්ධයෙන් බොරු ප්‍රවෘත්ති මවමින් ඝාතනය කරමින් ගෙන ගිය කටයුතු සම්බන්ධ හෙලිදරව් කිරීම් කළා. මේ ඊයෙ පෙරේදා ආයුද පෙන්වන්න ගෙන ගිහින් සැකකරුවන් ඝාතනය කළා වගේම ඒ දවස්වල එකිනෙකාට වෙඩි තියාගත්ත බවට රජයේ ප්‍රවෘත්ති වලින් බොරු කතා කිව්වා. ඒ වේගම නිදහස් අධ්‍යාපනය රකින්න, පෞද්ගලික විශ්වවිද්‍යාලවලට එරෙහිව කටයුතු කළ සහෝදරවරු වෙනුර එදිරිසිංහ, මොහොමඩ් නිශ්මි, බන්දුල දිසානායක වගේ සහෝදරවරු ඝාතනය කෙරුණා.
රුහුණු විශ්ව විද්‍යාලයෙ හිටිය ඥානසිරි පල්ලියගුරු සහෝදරයා සමාජවාදී ශිෂ්‍ය සංගමයෙ කටයුතු කරමින් ඉඳිදද්දි අත්අඩංගුවට පත් වුණා. ඔහු ඝාතනය කළේ 1990 අප්‍රේල් මාසෙදි. මව්පියන් ඥාතින්ට කියලා ඔහුව රඳවාගෙන හිටිය හමුදා කඳවුරට බලන්න එන්න දීලා, අවුරුදු කාලෙ නිසා කිරිබත් ගෙනල්ලා ඒවා නිලධාරින් විසින් කාලා දවස් කීපයක් අවසානයෙ තමයි ඔහුව ඝාතනය කළේ. අත්අඩංගුවට ගත් අය ඥාතින්ට පෙන්වලා, කිසිදු බයක් සැකයක් නැතිව තමයි ඝාතන සිදු කළේ. මෙන්න මේ තත්වයයි අපි වෙනස් කරන්න ඕන, වෙනස් කිරීමේ පදනම සකස් කළ යුතුයි. දේශපාලන ක්‍රියාකාරින් මර්දනය කරන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරීම විතරක් නෙවෙයි, එවැනි නව පනත් සම්මත නොකිරීමත්, වගකීමක්. තාක්ෂණය ගෙන එන මුවාවෙන්, ජෛවමිතික දත්ත අරගෙන යන්නෙ කොහෙද, ඉන්නෙ කොතනද, කන බොන දේවල්, බෙහෙත් පවා දත්ත රැස් කරමින් පුද්ගලයන් සම්බන්ධ මූළික අයිතිවාසිකම් උල්ලංඝනය කරන නව නීති සැලසුම් පවා පරාජයට පත් කිරීමේ වැදගත්කම අපි අවධාරනය කරනවා. ජාතික ජනබලවේගය ආණ්ඩුව මේ ගැන යුක්තිය ඉටු කිරීම වෙනුවට පැරණි මර්දනකාරී කොල්ලකාරී පාලනය ඉදිරියට ගෙන යාමේ අරමුණක ඉන්වා නම් වහාම එය වෙනස් කරන්න කියන අවධාරනය අපි කරනවා.
මේ ගැන ආණ්ඩුවට වකීමක් තියෙනවා වගේම විපක්ෂයෙන් නම් කිසි දෙයක් වෙන එකක් නෑ. මොකද සජිත්ගෙන් මේ ගැන කතාවක්වත් නෑ. මොකද එයාගෙ තාත්තා ආර්.ප්‍රේමදාස තමයි ඩග්ලස් පීරිසගේ විභාගය අසමත් තත්වය තුළ සුදුසුකම් ඇති නිලධාරින් 150ක් පන්නලා, මෙයාව නිර්දේශ කළාම කැබිනට් අනුමැතිය අරගෙන උසස්වීම අනුමත කළේ. ඒ නිසා ජේආර් ජයවර්ධනලා, රනිල් වික්‍රමසිංහලා, ආර්ත ප්‍රේමදාසලා, චන්ද්‍රිකා බණ්ඩාරනායකලා, මහින්ද රාජපක්ෂලා ගෙන ගිය කොල්ලකාරී ආර්ථිකය සහ එයට විරුද්ධ ජනතා නැගිටීම් මර්දනය කරමින් ගෙන ගිය ඝාතන අපරාධ හෙළි කිරීමත් ඒ අපරාධකාරි සමාජ ආර්ථික ක්‍රමය පරාජය කිරීමත් කළ යුතුයි.
ඒ වෙනුවෙන් දේශපාලන නායකත්වයක් ගොඩනගන්න, ජනතාව සංවිධානය කරන්න, දේශපාලන පරිවර්තනයක් ඇති කරන්න අවශ්‍ය වැඩපිළිවෙළක් වෙනුවෙන් අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස කටයුතු කරනවා.”