Breaking News

කඳුළු ගෑස් ගැන තොරතුරු ලබාදීම පොලීසිය නැවතත් ප්‍රතික්ෂේප කරයි

පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ අණ දෙන නිලධාරියා පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටිමින් කඳුළු ගෑස් සම්බන්ධ තොරතුරු ලබා දෙන බවට පොරොන්දු වී තිබියදී පොලිස් නීති කොට්ඨාසයේ නිලධාරියකු පැමිණ තොරතුරු ලබාදී ප්‍රතික්ෂේප කරන්නේ කෙසේදැයි තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව ශ්‍රී ලංකා පොලිසියෙන් ප්‍රශ්න කර තිබේ.

තොරතුරු කොමිෂන් සභාව එලෙස ප්‍රශ්න කළේ කල් ඉකුත් වූ කඳුළු ගෑස්, උද්ඝෝෂණවලට එල්ල කරන ලද කඳුළු ගෑස් සහ කඳුළු ගෑස් මිලදී ගැනීම සම්බන්ධයෙන් සමාජ ක්‍රියාකාරිකයකු වන තරිඳු ජයවර්ධන තොරතුරු ඉල්ලීමකට අදාල ඉදිරිපත් කළ අභියාචනයක් තෙවැනි දිනටත් විභාගයට ගත් අවස්ථාවේදීය.

තොරතුරු කොමිෂන් සභාව හමුවේ පසුගිය අවස්ථාවේ පොලිස්පතිවරයා නියෝජනය කරමින් සහභාගි වූ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ අණ දෙන නිලධාරීවරයා දින 10 ක් ඇතුළත තොරතුරු ලබාදීමට පොරොන්දු වූවද ඔහු සැප්තැම්බර් 17 වැනිදා එම තොරතුරු එකතු කරගැනීම සඳහා පොලිසියේ සියලුම කොට්ඨාස භාර නිලධාරීන් සහ අධ්‍යක්ෂවරුන්ට ලිපියක් යොමු කර ඇති බවත් එලෙස යොමු කර තිබියදී පොලිස්පතිවරයා සැප්තැම්බර් 30 වැනිදා ලිපියක් යොමුකරමින් තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවත් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශ කර තිබේ.

පොලිස්පතිවරයා නියෝජනය කරමින් පොලිස් නීති කොට්ඨාසයේ නීති උපදෙස් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නීතිඥ වසන්ත කුමාර ප්‍රකාශ කළේ එම තොරතුරු ලබාදීම මගින් ජාතික ආරක්ෂාවට සහ භෞමික අඛණ්ඩතාවයට හානියක් වන බැවින් පොලිස්පතිවරයා තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවයි.

පොලිස්පතිවරයා වෙනුවෙන් පැමිණි පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ අණදෙන නිලධාරියා එම තොරතුරු ලබාදීම කොමිසම හමුවේ එකඟතාවය පළ කර තිබියදී සහ එම තොරතුරු එකතු කර ගැනීම සඳහා ලිපි පවා නිකුත් කර තිබියදී මෙලස යළිත් වරක් තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කරන්නේ කුමන පදනමකින්දැයි කොමිෂන් සභාව කළ විමසුමේදී, පොලිස්පති නියෝජනය කරන නිලධාරීන්ගේ සැලකිරීම් පරස්පර බව ද සඳහන් කර තිබේ.

leave a reply