Breaking News

බලහත්කාරී යුද්ධයක ගොදුරක් වූ හෘදය සාක්ෂියක මතක සටහන්… “මතක වන්නිය..”

අකමැතිවූ යුද්ධයක ට දායකව එහි සාක්ෂිකරුවෙක්ව දිවි ගෙවීම… සෘජු සහභාගිත්වයක් නොමැතිව ඉන් ඉවත්ව සිටියද එහි ප්‍රතිඵල වලින් පීඩාවට පත්වීම .. විනාශයෙහි ද වේදනාවෙහිද අන්ධකාරයෙහි පැටලී පීඩාවට පත් වූ වේදනාත්මක අත්දැකීම්.. එම යුගයේ ජීවත් වූවන්ගේ වේදනාවන් සහ අසරණ බවෙහි දරුණු ස්වරූපයන්…

විනාශයන් සහ අහිමිවීම් වැළැක්වීමට නොහැකි වීමේ මානව කම්පනය..

ඉතාමත් සියුම් දේශපාලන සංවාදයක් ලෙසින් සිවරාසා කරුණාකරන් “මතක වන්නිය..” හරහා අප වෙත රැගෙන එයි.

ජන සමාජයක සංස්කෘතික අනන්‍යතාවයන් ක්ෂණයකින් විනාශ කළද ඉතිරි වූ මිනිසුන් තුළ තැන්පත්ව ඇති අතීත මතකයන් සමග දිවි ගෙවන්නන්ගේ ස්මරණයෙහි හෘද කම්පනය “මතක වන්නිය” හරහා ඉස්මතු කිරීමට කරුණාකරන් වෑයම් කරනුයේ යුධ කාලයක සහ පූර්ව යුධ කාලයක… පශ්චාත් යුද්ධ කාලයක උතුරේ දෙමළ ජනතාවගේ ජීවිතය කවරාකාරයේ ගලා යෑම් හා විනාශයන් ..අසීරුතාවන් අතර දෝලනය වන්නේද සහ ඉතිරිව පවතින ජීවිතයේ ඛේදවාචකය කෙබඳුදැයි ගැඹුරු ලෙස සිතා බලන්නට අපට දේශපාලන අවකාශයක් සලසමිනි.

කරුණාකරන් විසින් උතුරෙහි කිලිනොච්චි,කිලාලි

චෙම්මනි,ඉයක්කච්චි, අක්කරායන්, නන්දිකඩාල්,විශ්වමඩු,පුනගරි ඇතුළු විවිධ භූමි කලාප කිහිපයක් හා බැදුණු ජන ජීවිතය දේශපාලන සමාජ ආර්ථික සංස්කෘතිමය වශයෙන් දශක ගණනාවක වූ පරිවර්තනය හමුවේ සූක්ෂමව ගවේෂණය කරමින් පශ්චාත් යුධ කාලීනව ලියන ලද ස්වයං මතකාවර්ජන සංවාදාත්මක ලිපි මාලාවක්

“මතක වන්නිය”ට පාදක වෙයි.
කරුණාකරන් ගේ “ඉප්පඩි ඔරුක්කාලම්”

( මෙහෙමත් කාලයක්) නම් ඒ සියුම් මානවීය සංවාදයෙහි අරුත් මනාව ඉස්මතු කරමින් අනුෂා සිවලිංගම් සහෝදරිය එය ප්‍රශස්ත පරිවර්තනයක් ලෙසින් සිංහල බසින් අපට සමීප කරවයි. මා දන්නා පරිදි මතක වන්නිය අනුෂා සිවලිංගම් සිංහල බසින් කළ පළමු පරිවර්තන කාර්‍යය වන අතර 2016දී ඇය කොළඹ විශ්ව විද්‍යාලයේ තෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටියදී මේ පරිවර්තනය සිදු කිරීමද සුවිශේෂී ලෙස ඇගයිය යුත්තේ ඇගේ භාෂාත්මක කුසලතාව මෙන්ම මානවීය දේශපාලනික දෘෂ්ටියෙහි විසල් බවද අගයමිනි.
අනූෂා නොවන්නට කරුණාකරන්ගේ මෙම දේශපාලනික මතක සංවාදය අපට සම්මුඛ නොවනු ඇත.එහෙයින් කරුණාහරන් ගේ අදහස් ප්‍රකාශනය දකුණේ සමාජ ගත කිරීම වෙනුවෙන් පළමුව අනූෂා සිවලිංගම් පරිවර්තිකාවට ස්තූතිය පුද කළ යුතුය.
මෙම මතක ආවර්ජනය ඇරඹෙනුයේ “නැවත හැරී බැලිය නොහැකි නගරයක…

කිලිනොච්චියෙහි” කාලාවකාශය ග්‍රහණය කර ගනිමිනි.

කිලිනොච්චිය ජනාවාසයක් ලෙස ඉරණමඩු වැව කේන්ද්‍ර කරගෙන තවත් ආසන්න කුඩා වැව් ගණනාවක ජලයෙන් කෘෂි කාර්මිකව පෝෂණය වෙමින් ගොඩ නැගුණු ආකාරය හා එය ඉතා දියුණු වෙළද නගරයක්ව පැවැති අතීතය කරුණාකරන් පවසනුයේ එය ගොඩ නැංවීමට උතුරේ ජනයා දශක ගණනාවක් ගත් දුෂ්කර වෑයම යුද්ධයක් විසින් ගොදුරු කර විනාශ කිරීමේ කම්පනය අවදි කරමිනි.
යුධමය වාතාවරණයෙහි සිදුවූ අවතැන්වීම්..

විනාශයන්…නිසා සිරවී කුඩු පට්ටම්ව ගිය නගරයක සුව නොවන අඛණ්ඩ වේදනාවන්හි තුවාල සහ කැළැල් වලින් පිරුණු නගරයක ශෝඛාන්තයක් කතුවරයා දේශපාලනික ව ප්‍රභල ලෙස සංකේතවත් කරයි. ජනයා කිලිනොච්චිය අත් හැර සම්පූර්ණයෙන්ම පිටමං වූ පසු 1996දී චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන සමයෙහි සත් ජය 1සහ සත් ජය 2දෙක යන විශාල හමුදා මෙහෙයුම් මගින් කිලිනොච්චිය සම්පූර්ණයෙන් අතුගා දැමීමෙන් පසු ශ්‍රී ලංකා රජයේ හමුදාව විසින් කිලිනොච්චිය අත්පත් කර ගැනීමේදී එහි ඉතිරි වී සිටියේ එකම එක බල්ලෙකු පමණක් බව කතුවරයා සදහන් කරයි.

“ශ්‍රී ලංකාවේ රූපවාහිනිය එම එකම එක බල්ලා කිලිනොච්චියේ ඉතිරි වීම පෙන්වා සතුටු විය. කිලිනොච්චිය යුධ හමුදාව විසින් අත්පත් කර ගැනීමෙන් පසුව එවකට නියෝජ්‍ය ආරක්ෂක ඇමති අනුරුද්ධ රත්වත්ත පැමිණ කොඩිය එසෙව්වේය. එකම එක බල්ලෙකු පමණක් ඉතිරි වී සිටි කිලිනොච්චියේ ලංකාවේ ජාතික කොඩිය ලෙල දුන්නේය. ඉන් පසු ගෙවුනා වූ සිව් අවුරුදු කාලයෙහි ජනයා නොමැති කිලිනොච්චියේ සිටියේ හමුදා සෙබළුන් පමණි.”මේ ප්‍රකාශය හරහා කරුණාකරන් ජනයාගෙන් ශුන්‍ය භූමියක් අත් පත් කර ගෙන එය ලොවට ප්‍රදර්ශනය කළ රාජ්‍යය දේශපාලනය හා මාධ්‍යය ක්‍රියාවලිය ඉතාම දැඩි සෝපාහසයකට ලක් කරනුයේ හුදකලා බල්ලෙකු පමණක් ඉතිරි කර සිය ගම්බිම් අතැර ගිය නගරයක සුවහසක් ජනයාගේ වේදනාව ඒ තුළ ගැබ් කර ගම්‍ය කරමිනි.

පසුව 2000 සිට 2008 දක්වා එල්. ටී. ටී .ඊ.සංවිධානය විසින් අත්පත් කර ගත් කිලිනොච්චිය යළි 2009 ජනවාරියෙහි රජයේ හමුදා අත් පත් කර ගැනීමෙන් පසුද හුදකලා වූ නගරය 2009 සැප්තැම්බර් වන විට ජනයා නැවැත පදිංචි වීම ඇරඹීම සමග නගරය ක්‍රමයෙන් කාලානුරූපව පරිවර්තනය වුවද එම නගරයේ යුධ කදුළු හා තුවාල සුවපත් නොවුණි.ඒ වේදනාවන් එහි ජනයාගේ ජීවිතයන්හි වූ දරුණු අභ්‍යන්තරික වේදනාවන්‍ ය.

පශ්චාත් යුධ සමයේ උතුරෙහි විනාශය දැක බලා ගන්නට පැමිණි දකුණේ ජනතාව ගේ මනෝභාවයන් කරුණාකරන් සියුම්ව විමසනුයේ එක් ජනවර්ගයක වේදනාත්මක අත් දැකීම් තවත් මානවීය ජන වර්ගයකට කෙසේ සහ කම්පනය වන්නේද යන පැනය ඍජුව අප හමුවේ තබමිනි.

“කිලිනොච්චිය බැලීමට මිනිස්සු පැමිණෙති. ඔවුහු චාරිත්‍රයක් සේ සියල්ලම ඡායාරූපගත කරති . ඔවුන් එම ඡායාරූප බලා සතුටු වන්නේද නැතහොත් වරදකාරී හැඟීමකට භාජනය වන්නේද යන්න මම නොදනිමි. එහෙත් ඡායාරූප ගැනීම නම් අඩුවක් නැතුව සිදුවේ.”
“සමහරුන්ට යුද විනාශයනුත් ප්‍රදර්ශන භාණ්ඩයන්ය. යුද ජයග්‍රහණයන්ද පශ්චාත් යුද කාලීන ප්‍රගතීන්ද පසුබෑම් ද ප්‍රදර්ශන භාණ්ඩයක්ය. ජනතාවගේ කඳුළුත් වේදනාවුනුත් ඔවුන්ට හුදු ප්‍රදර්ශන භාණ්ඩයන්‍ ය. විනෝදාස්වාදය සහ වෙළඳාම පවතින විට ඕනෑම දෙයක වටිනාකම අඩුවී ඇගැයීම් හීන වෙයි. ඔවුන්ගේ අරමුණු මිස අනෙකාගේ කඳුළුවල තේරුම ඔවුන්ට දැනෙන්නේ නැත.

කුමක් කරම්ද …”

“ලෝකය එසේ වෙනස් වී ඇත. කඳුළුත් රුහිරුත් ලාභ ලැබීමට තීරණය කළ පසුව ලැජ්ජා විය යුත්තේ කුමකටද.. දක්ෂයා ඕනෑම දෙයක් විකිණිය හැකි භාණ්ඩයක් බවට පත් කරයි. ව්‍යාපාර ලෝකය තුළ නීතියේත් සාධාරණත්වයෙත් හෘදය සාක්‍ෂියෙත් වටිනාකම අඩුවෙමින් පවතී. නැතිනම් මේවා නිහඬ වෙයි.”

ධනේශ්වර වෙළදපළ ආර්ථිකයක් තුළ මානව සංවේදනාවන්.. පීඩනයන්.. පවා හුදු වෙළද භාණ්ඩයන් බවට පත් කරලන සමාජ ආර්ථිකය මෙන්ම මානවීයත්වයෙන් අවතැන්වූ මනෝ සමාජ සංස්කෘතික නග්නත්වය කරුණාකරන් “මතක වන්නිය” හරහා අපට අභිමුඛ කරනුයේ උතුරෙහි ඉදි වන නව ආකර්ෂණීය වෙළද නගර හරහා යටපත් කළ නොහැකි මානවීය සංස්කෘතියක ඛේදනීය මතකය දෙස වාර්ගික මනෝභාවයෙන් ඔබ්බේ මානවීය දෘෂ්ටියකින් විනිවිදින්නට සහෝදරාත්මකව ඇරයුම් කරමිනි.

දශක ගණනාවකට පෙර ඉතාම සශ්‍රීක වෙල් යායක්ව පැවැති චෙම්මනිය යුද්ධය විසින් සමූහ මිනීවලක් බවට පත් කිරීමේ බිහිසුණු මතකය මෙහි සාකච්ජා කරනුයේ එවන් මානව සංහාරයන් ජන සමාජයක් කොතරම් මනෝ භ්‍රාන්තියකට පත් කරන්නේද යන දේශපාලන සාධකය සියුම්ව ඉස්මතු කරමිනි.

එල්. ටී.ටී. ඊ .නායක ප්‍රභාකරන් දිවි ගෙවූ කුඩා නිවහන නැරඹීමෙන් ආස්වාදයක් ලැබීමේ මිනිස් ගූඪ ආශාවද මෙහිලා සියුම් උත්ප්‍රාසයකින් නිරූපණය කරයි.යුද්ධයෙන් පීඩිත මිනිසුන් දැකීමට ඔවුනගේ වේදනාව බෙදා හදා තුනී කර ගැනුමට නොව යුද්ධය පවත්වාගෙන ගිය යුධ මනෝභාවයන් විසින්ම උත්කර්ෂයට නංවා ආකර්ෂණීය සංචාරක මධ්‍යස්ථාන බවට පත් කළ නටබුන් නැරඹීමට එන උතුරේ හා දකුණේ ජනයා ගේ මනෝ චර්‍යාත්මකභාවයන් සෙමෙන් සිද බිද පිරික්සා බැලුමට “මතක වන්නිය” කියවන්නාට ඇරයුම් කරයි.

මේ සා කෲරත්වයක් දරා ගෙන දශක ගණනාවක් සියල්ල අහිමිව අවතැන්ව දිවි ගෙවූ මනුෂ්‍යත්වයේ සාමූහික වේදනාවෙන් බිදක් සංවාදය ට ගැනීම හරහා මනුෂ්‍යත්වය පිළිබද පොදු සහෝදරාත්මක දේශපාලන හා සංස්කෘතික කතිකාවක් ගොඩ නැංවීමට දායක වීම පිළිබද සිවරාසා කරුණාකරන් සහෝදරයාට අපගේ ආදරණීය ප්‍රණාමය පිරි නමමි.

දකුණේ සමාජය වෙතින් ගිලිහී ගිය උතුරේ සංස්කෘතික වේදනාත්මක කලාපයක් ස්පර්ශ කිරීමට “මතක වන්නිය” හා එක් වන්නැයි දකුණේ සහෘදයන්ට ඇරයුම් කරමි.

තිලිනා වීරසිංහ
තිලිනා වීරසිංහ

leave a reply