2011 වසරේදී දේශපාලන හා මානව හිමිකම් ක්‍රියාකාරීන් වන ලලිත්කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් යාපනයේදී අතුරුදන් සිදුවීමට අදාළ නඩුවේ සාක්ෂි ලබාදීම සඳහා එළඹෙන සැප්තැම්බර් 29 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසත්, එතැන් සිට මාර්ගගත (Online) වීඩියෝ තාක්ෂණය ඔස්සේ යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සාක්ෂි ලබාදෙන ලෙසත් හිටපු ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය අද (7) නියෝග කර තිබේ.
2011 වසරේ දෙසැම්බර් 10 වැනිදාට යෙදී තිබූ ජාත්‍යන්තර මානව හිමිකම් දිනයට සමගාමීව, අතුරුදන් වූවන්ගේ ඥාතීන්ගේ විරෝධතාවයක් සංවිධානය කරමින් සිටියදී යාපනය, ආවරංගල් ප්‍රදේශයේදී මොවුන් දෙදෙනා පැහැරගෙන ගොස් අතුරුදන් කර ඇති බවට චෝදනා එල්ල වී ඇත.
සිද්ධිය වන අවස්ථාවේ රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව කරුණු විමසීම සඳහා 2017 වසරේදී මෙම නඩුවේ සාක්ෂිකරුවෙකු ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ නම ඇතුළත් කෙරුණු අතර අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ඔහුට සිතාසි නිකුත් කෙරිණි.
කෙසේ වෙතත්, ආරක්ෂක හේතූන් මත තමන්ට යාපනය අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකි බව ගෝඨාභය රාජපක්ෂවෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දැනුම් දුන් අතර, පසුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබාදීමට අවසර ඉල්ලා සිටින ලදී. එම ඉල්ලීම කෙරෙහි අවධානය යොමු කළ අධිකරණය, සුදුසු මහේස්ත්‍රාත් අධිකරණයකට පෞද්ගලිකව පැමිණ එතැන් සිට මාර්ගගත ක්‍රමවේදයට සාක්ෂි දීමට අවසර ලබා දී තිබේ.






