මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සඳහා මරණ දඬුවම ලබා දීම සම්බන්ධයෙන් “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේදී අවධානය යොමු වී තිබීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා කතා බහක් ඇතිව තිබේ.
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනාධිපති අනුරු කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (10) රැස්විය.
විෂ මත්ද්‍රව්‍ය උවදුර මේ වන විට හුදු පුද්ගල සබඳතාවලින් ඔබ්බට යමින් සමස්ත ආර්ථික සහ සමාජ දේහයම බරපතළ තර්ජනයකට ලක් කර තිබීමත්, ඉන් නොනැවතී එම තත්ත්වය වර්ධනය වෙමින් තිබීමත් පිළිබඳව අවධානය යොමු කරමින් මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සඳහා මරණ දඬුවම ලබා දීමට මෙහිදී සාකච්ඡා වී තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා අසීමිත ධනය ආශ්‍රිතව ගොඩනැගී ඇති අපරාධමය පරිසරය මේ වන විට ජාතික ආර්ථිකයට, සංචාරක කර්මාන්තයට සහ සමාජ ආචාරධර්ම පද්ධතියට විශාල තර්ජනයක්ව ඇති බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම සහ අපරාධ පිළිබඳව බිය වන සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් දැඩි නීතිරීති ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවත් “රටම එකට ” ජාතික මෙහෙයුම් සභාවේ සාකච්ඡාවට ලක් වී ඇති බව පැවසේ.
සමාජ මාධ්‍ය හරහා අදහස් දක්වන පිරිස් ශිෂ්ඨ සහගත සමාජයක් විසින් යොදා නොගත යුතු දඬුවමක් වන මරණ දඬුවම යොදාගැනීමට සාකච්ඡා කිරීම ගැටළු සහගත බවයි.
මෙලෙස අදහස් දක්වන ඇතැම් පිරිස් පසුගිය සමයේ ජාතික ජනබලවේගය ආණ්ඩුව සඳහා සහයෝගය දැක්වූවන් වේ.#
ඔවුන් ප්‍රශ්න කර සිටින්නේ බන්ධාගාරවල ඇති නොසන්සුන්කාරී තත්ත්වයට විසඳුම මෙයද යන්නයි.
මෙහිදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ දිණමින පුවත්පත මරණ දඬුවම ලබාදීම සම්බන්ධයෙන් ප්‍රධාන සිරස්තලයක් යොදා වාර්තා කිරීම ගැන පහත සටහන සිය facebook ගිණුමේ පළකර තිබුණි.
”අද රජය මගින් පාලනය වන දිනමිණ පුවත්පත මහත් අභිරුචියෙන් වාර්තා කර තිබෙන්නේ “මරණ දඬුවම” යළි ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුවී ඇති බව.
මරා දැමීම දඬුවමක් නෙවෙයි පලිගැනීමක්. දඬුවමක් දීමේ අරමුණ වරද ප්‍රතිශෝධනය කිරීම. එය කළ හැක්කේ වරද කළ තැනැත්තා ජීවත්ව සිටින අතර මිස මළවුන් අතර සිටියදී නෙවෙයි.
අනෙක් අතට අප තුරන් කළ යුත්තේ වරද මිස වරදට පෙළඹුනු පුද්ගලයා නෙවෙයි. යම් කෙනෙකු අතින් වරදක් වනවිට සමාජයේ සියල්ලන්ගේ අසමත්භාවයක් එහි නියෝජනය වෙනවා. ඒ වගේම වත්මන් ක්‍රමය තුළ තමන් නිවැරදි බව ඔප්පු කිරීමට ඇති හැකියාව දක්ෂ නීතීඥයන් වෙනුවෙන් මුදල් වියදම් කිරීමේ හැකියාව මත තීරණය වෙනවා. ඒ නිසා ලැබෙන තීන්දු සියල්ල නිවැරදි හෝ සමානාත්මතා පදනමින් ලැබෙන ඒවා නෙවෙයි.
මෙම අදහස් අප ශිෂ්ටාචාර වර්ධනයන් විසින් අත්පත් කරගත් ජයග්‍රහණ.
මානව ශිෂ්ඨාචාරයේ මනුෂ්‍ය හර පද්ධතීන් සහ මිනිස් වටිනාකම් සියල්ල මොහොතේ වාසිය වෙනුවෙන් පරදු තැබීමට ආණ්ඩුව සූදානම් වෙනවාද? බන්ධනාගාර සම්බන්ධයෙන් සහ අධිකරණය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රවේශයත් එවැනි හැරවුමක ලකුණු පෙන්වනවා.
බන්ධනාගාර රැඳවියන් ඝාතනය කිරීම සහ රැඳවියන්ගේ අවම ජීවන තත්වයන් තහවුරු නොකිරීම සම්බන්ධයෙන් අප කළ ඉල්ලීම මෙම කරුණේදීත් ඉල්ලිය හැකියි.
“කෙනෙකු ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම මත පදනම්ව අවමානුෂිකකරණයට එරෙහි විය හැකියි. තවත් කෙනෙක් ගැඹුරු ආගමික හැඟීම් මත පදනම්ව එයට එරෙහි විය හැකියි. අප ම්ලේච්ඡත්වය පිටුදකින්නේ කොමියුනිස්ට්වාදී මූලධර්ම පදනම් කරගනිමින්. කවර පදනමක් මත හෝ ශිෂ්ටාචාරයේ උරුමයන් වෙනුවෙන් ඉදිරිපත් වන සියලු දෙනා මේ ප්‍රවණතාව පරාජය කිරීමට එක්වෙමු.”






