දිවයින පුරා පිහිටි බන්ධනාගාරවල පවතින දැඩි තදබදය හේතුවෙන් බන්ධනාගාර පද්ධතිය තුළ දැඩි අවදානම් තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර, පසුගිය ජූලි 05 සහ 06 දෙදින මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමඟ මෙම බන්ධනාගාර තදබදය පිළිබඳ මාතෘකාව කෙරෙහි සමාජයේ දැඩි අවධානයක් යොමු වී තිබෙනවා.
පසුව මහර, කොළඹ මැගසින්, පල්ලන්සේන සහ කුරුවිට යන බන්ධනාගාරවල ද නොසන්සුන්තා වාර්තා වීමත් සමඟ මෙම අර්බුදය තවදුරටත් උග්‍ර අතට හැරී තිබෙනවා.
මීගමුව බන්ධනාගාරයේ ගැටුම ඇතිවීමට පෙර දින, එනම් ජූලි 04 වන දින වන විට කොළඹ ඇතුළු ප්‍රධාන බන්ධනාගාර ගණනාවකම අනුමත ධාරිතාවයට වඩා කිහිප ගුණයක රැඳවියන් පිරිසක් රඳවා සිටි බව දත්ත මගින් තහවුරු වනවා.
සිරකරුවන් 839ක් පමණක් රඳවා තැබීමට ඉඩ ඇති වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් 3,400ක් ද, 328ක් රැඳවිය හැකි කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ 2,782ක් ද, 499ක් රඳවා තැබිය හැකි මැගසින් බන්ධනාගාරයේ 3,046ක් ද රඳවා සිට තිබෙනවා.
ජූලි 05 සහ 06 දෙදින නොසන්සුන්තාවය ඇතිවූ මිගමුව බන්ධනාගාරයේ රඳවා තැබිය හැකි සංඛ්‍යාව 496ක් වන නමුත් මෙම ගැටුමට පෙර දිනයේ එහි රඳවා තබා ඇති රැඳවියන් සංඛ්‍යාව 2,403කි. එනම් ධාරිතාවය මෙන් පස් ගුණයකට ආසන්න සංඛ්‍යාවක්.
අධිකරණ අමාත්‍යාංශයේ වාර්තාවලට අනුව, 2025 දෙසැම්බර් 31 වන දිනට සිරගත වූ පිරිසගෙන් 90% ක්ම සැකකරුවන් ලෙස වසරකට අඩු කාලයක් සඳහා (වැඩි පිරිසක් දින 14 සිට මාසයක් දක්වා කාලයකට) සිරගත වූවන් වනවා.
එමෙන්ම මේ වසරේ මැයි 31 වන විට රස පරීක්ෂක වාර්තා ලැබෙන තෙක් බන්ධනාගාර ගත කර සිටින මුළු සැකකරුවන් සංඛ්‍යාව 15,607 ක්.
2024 ජනවාරි 15 වන දින දත්ත සමඟ සසඳන විට, වසර දෙකහමාරකට ආසන්න කාලය තුළ බන්ධනාගාර ධාරිතාවේ සැලකිය යුතු වෙනසක් සිදු වී නැහැ.
2024 ජනවාරි වන විට බන්ධනාගාරවල පැවති 10,312 ක් වූ මුළු ධාරිතාව මේ වන විට වර්ධනය වී ඇත්තේ 10,801 ක් දක්වා පමණයි.
එහෙත් 2024 වන විට 31,000 ක් ලෙස පැවති මුළු රැඳවියන් සංඛ්‍යාව මේ වන විට 10,000 කින් පමණ ඉහළ ගොස් 41,000 ක් දක්වා ශීඝ්‍රයෙන් වර්ධනය වී තිබෙනවා.
උපුටා ගැනීම – නිව්ස් 19






