ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් (පුද්ගලික) සමාගම වෙත හිමිකම් ප්‍රාග්ධනය සලසා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මෙරට පොදු ප්‍රවාහනය නවීකරණය කිරීමේ අරමුණින් 2007 අංක 7 දරන සමාගම් පනතේ විධිවිධාන යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් පරිපාලිත සමාගමක් ලෙස ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් (පුද්ගලික) සමාගම 2025-10-03 දින සංස්ථාගත කරනු ලැබුණි.
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ වෙන් කර දෙන ලද අරමුදල් මඟින් මිල දී ගනු ලැබූ පත්ල පහත් බස් රථ 10ක් යොදා ගනිමින් එම සමාගම විසින් ආරම්භ කරනු ලැබ ඇති කොළඹ නාගරික ප්‍රවාහන නියමු මෙහෙයුම් කටයුතුවල වර්තමාන ප්‍රගතිය සැලකිල්ලට ගෙන සමාගම විසින් එළඹෙන සැප්තැම්බර් මාසයේදී තවත් පත්ල පහත් බස් රථ 112ක් සේවයේ යෙදවීමට සැලසුම් කර ඇත. අදාළ මෙහෙයුම් කටයුතු විධිමත්ව හා කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා ඒකල ප්‍රදේශයේ අංග සම්පූර්ණ මධ්‍යම වැඩපොළක් ඉදි කිරීම, තලංගම, කඩවත, රත්මලාන හා හෝමාගම යන ස්ථානයන්හි නවීන බස් ඩිපෝ ඉදි කිරීම, අභ්‍යන්තර මාර්ග හා බස් නැවැතුම් අංගන සංවර්ධනය කිරීම ආදී යටිතල පහසුකම් කඩිනමින් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ තිබේ.
ඒ අනුව, එකී යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කටයුතු වෙනුවෙන් යොදා ගැනීම සඳහා ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් (පුද්ගලික) සමාගම වෙත රුපියල් මිලියන 800ක් මෙම වර්ෂය තුළදී සහ 2027 වසරේ සමාගමේ මෙහෙයුම් කටයුතු සඳහා තවත් රුපියල් මිලියන 267.5ක් වශයෙන් හිමිකම් ප්‍රාග්ධනය සලසා දීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
මෙම බස් සේවය ගුණාත්මක භාවය අතින් ඉතා ඉහළ තැනක තිබෙන බව මගී ජනතාව අදහස් පලකරනු දැකිය හැක. නමුත් බස් ගාස්තුව සාමාන්‍ය ගාස්තුවට වඩා ඉතා ඉහළ අගයක් ගනියි. මේ නිසා එදිනෙදා විවිධ කටයුතු සඳහා පොදු ප්‍රවාහනය බාවිතා කරන පාසල් සිසුන්ට සහ වැඩකරන ජනතාවට මෙම සේවය දිනපතා ලබාගැනීමට හැකියාවක් නොමැති බව අමුතුවෙන් පැවසිය යුතු නැත. සිදුවිය යුත්තේ අඩුමිලට මෙවැනි ගුණාත්මක සේවාවක් සෑම කෙනෙකුටම ලබාගත හැකි ක්‍රමයක් නිර්මාණය කිරීමයි. ඒ සඳහා පොදු ප්‍රවාහනය නැංවීම සඳහා ආණ්ඩුව අවදානය යොමුකළ යුතුය. නමුත් ආණ්ඩුවේ අවදානය තිබෙන්නේ දැනට ඇති ඉතා ප්‍රශ්නසහගත පොදු ප්‍රවාහන සේවය දඩමීමා කොටගෙන ජනතාවට ගුණාත්මක සේවාවක් ලබාගැනීම සඳහා වැඩිමිලක් ගෙවන ලෙස බල කිරීමටයි. මෙට්‍රෝ බස් සේවාව සඳහා යෙදවෙන්නේද ජනතාවගේ බදු මුදලුයි. එබැවින් ජනතාවට අඩු මුදලට ගුණාත්මක පොදු ප්‍රවහනයක් ලබාදීමට ආණ්ඩුවට වගකීමක් ඇති බව ආණ්ඩුව අමතක කළ යුතු නැත.






