Breaking News

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත් එයට නිශ්චිත ක්‍රියාවලියක් පවතින බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස පවසයි.

ඔහු මේ අදහස් ප්‍රකාශ කලේ අද (11) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

ජනමත විචාරණයකයකට සඳහා යොමු විය හැක්කේ ව්‍යවස්ථා සංශෝධනයකට හෝ පනත් සංශෝධනයකට එරෙහිව යම්කිසි පුද්ගලයෙක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කළ අවස්ථාවකදී එම සංශෝධනය පාර්ලිමේන්තුවේ වැඩි බහුතරයකින් සම්මත කිරීමට අමතරව ජනමත විචාරණයක් සඳහාද යොමු විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණ විසින් තීරණය කරන අවස්ථාවකදී බව නලින්ද ජයතිස්ස මෙහිදී සඳහන් කර තිබේ.

නමුත් ජනාධිපතිවරයාට අවශ්‍යනම් ජනමත විචාරණයකින් යම් කරුණක් සම්බන්ධව මතයක් විමසිය හැකි බවද එහෙත් එම මතය විමසිම මගින් නීතියක් සම්පාදනය නොවන බවද ඔහු පෙන්වා දී තිබේ.

නීතියක් සම්පාදනය කිරීමටනම් ජනාධිපතිවරයා එම ජනමතය සැලකිල්ලට ගෙන ව්‍යවස්ථාවේ පවතින ක්‍රමවේදය තුළ කටයුතු කළයුතු බවද මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදී අවධාරණය කර ඇත.

ඒ අනුව 22වන ව්‍යවස්ථා සංශෝධනයට අදාළවද මෙම තත්වය බලපැවැත්වෙන බව පෙන්වා දුන් නලින්ද ජයතිස්ස එයට එරෙහිවද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කළ හැකි බව සඳහන් කර ඇත.

“රජයට ජනමත විචාරණයක් ගැන තීන්දුවක් ගන්න බෑ. රජයට පුළුවන්කම තිබෙන්නේ යම්කිසි කෙනෙක් ව්‍යවස්ථා සංශෝධනයට හෝ පනත් සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කරලා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරන්නට ඕනේ මේ පනත් සංශෝධනය හා ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකකින් සම්මත කිරීම පමණක් ප්‍රමාණවත්ද ඊට අමතරව ජනමත විචාරණයකුත් අවශ්‍යද කියන එක.

නැත්තම් මං කැමති වුනයි කියලා ජනමත විචාරණයකට යන්න බෑ.

ජනාධිපතිවරයාට ඕනෙනම් යම් කරුණක් සම්බන්ධයෙන් මතයක් විමසන්න පුලුවන්. හැබැයි ඒ මතය විමසීම කියන්නේ නීතිය නෙවෙයි. යම් දෙයක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ජනතාවගෙන් මතයක් විමසනවා. ඒ මතය අරගෙන නීතියක් සම්පාදනය කිරීම සඳහා ව්‍යවස්ථාවේ පවතින ක්‍රමවේදය තුළ ඉදිරියට යනවා මිසක් ජනාධිපතිවරයටත් බෑ එහෙම කරන්න. ජනමත විචාරණයකට යනවනම් ඒකට ක්‍රමවේදයක් පවතිනවා.

දැන් ඒකට අවස්ථාව තියෙනවා. පෙත්සම් ඉදිරිපත් කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට. ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක ප්‍රමාණවත්ද තුනෙන් දෙකත් එක්ක ජනමත විචාරණයක් අවශ්‍යයිද කියන එක. හිතුණ හිතුණ හැටියට වෙන වෙන කාටවත් තීන්දු කරන්න පුළුවන් අයිතියක් නෙවේ. ව්‍යවස්ථාවේ ලියලා තියෙනවා මෙන්න මේ වගන්තිවලට තමයි ජනමත විචාරණයක් ඕනේ කියලා…”

නලින්දම කියන ආකාරයට ජනමත විචාරණයක් ජනාධිපතිවරයාට අවශ්‍යනම් කැඳවිය හැක. ඒ සඳහා අධිකරණයට යාමට අවශ්‍ය නොවේ. ජනමත විචාරණයක් කැඳවීම හරහා නීතියක් සම්මත නොවන බව ජනතාවට අමුතුවෙන් පැවසිය යුතු නොවේ. ආණ්ඩුවේ ඇමතිවරු විවිධ භාෂා සූත්තර දමමින් ඇත්ත ප්‍රශ්නය යට යැවීමට උත්සාහ කරන ආකාරය මේ හරහාද පෙනෙන්නේට තිබේ.

leave a reply