දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා කෘති දෙකක් ශ්‍රී ලංකා රේගුව විසින් අඛණ්ඩව අත්අඩංගුවේ තබා ගැනීමේ සිදුවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් රැසක් උල්ලංඝනය කිරීමක් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) නිගමනය කර තිබේ.
මෙම නිගමය සඳහන් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ මාධ්‍ය ප්‍රකාශක සහ පර්යේෂණ හා නිරීක්ෂණ අංශයේ අධ්‍යක්ෂ නිහාල් චන්ද්‍රසිරිගේ අත්සනින් යුතුව ඊයේ (12) මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
එම නිසා අදාළ කෘතිවල රඳවාගෙන ඇති සියලුම පිටපත් වහාම නිදහස් කරන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාව ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත නිර්දේශ කර ඇත.
අංක HRC/KIL/031/26 දරන නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොමිෂන් සභාව මේ බව සඳහන් කර සිටී.
මානව හිමිකම් කොමිෂන් සභාව සිය නියෝගයේදී කරුණු කිහිපයක් අවධාරණය කරයි.
ප්‍රකාශනයේ නිදහස උල්ලංඝනය වීම: අදාළ පොත්වල ඇතුළත් කරුණු ඇතැමුන්ට ‘කැලඹිලිකාරී’ හෝ ‘අප්‍රසාදජනක’ විය හැකි වුවද, ඒවා මහජනයා වෛරයට හෝ ප්‍රචණ්ඩත්වයට උසිගන්වන සුලු නොවන බැවින් මෙම තහනම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(අ) ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති ප්‍රකාශනයේ නිදහස උල්ලංඝනය කිරීමකි.
භාෂාමය වෙනස්කම් කිරීම සහ පූර්ව විනිශ්චය: අදාළ කෘති දෙමළ භාෂාවෙන් තිබීම මෙම අත්අඩංගුවට ගැනීමට සහ දීර්ඝ කාලයක් රඳවා ගැනීමට ප්‍රධාන හේතුව වී ඇති බවත්, රාජ්‍ය ආයතන වෙනත් භාෂාවල පොත්වලට නොදක්වන පූර්ව විනිශ්චයක් සහ සැකයක් දෙමළ ප්‍රකාශන කෙරෙහි දක්වා ඇති බවත් කොමිෂන් සභාව නිරීක්ෂණය කළේය. මෙය ව්‍යවස්ථාවේ 12(1) සහ භාෂාව මත වෙනස්කම් කිරීම තහනම් කරන 12(2) ව්‍යවස්ථාවන්ගේ බරපතල උල්ලංඝනයකි.
සංස්කෘතික හා භාෂාමය අයිතිය: ශ්‍රී ලංකාවේ දෙමළ කතා කරන ජනතාව භාෂාමය සුළුතරයක් වන අතර, තමන්ගේම භාෂාව සහ සංස්කෘතිය භාවිත කිරීමටත් ප්‍රවර්ධනය කිරීමටත් ඇති අයිතිය (14(1)(එෆ්) ව්‍යවස්ථාව) සුරැකීමට රාජ්‍ය නිලධාරීන් සංවේදී විය යුතු බව කොමිසම සඳහන් කරයි.
ලංකාවේ ජාතික ගැටලුවට මූලික වූ එක් කරුණක් වූයේ දෙමළ කතා කරන ජනතාව කොන් කිරීම බව මතක් කරදෙන මානව හිමිකම් කොමිෂන් සභාව, නීත්‍යානුකූල හේතුවකින් තොරව සාහිත්‍ය කෘති පූර්ව වාරණයකට ලක් කිරීම අසාධාරණ බව නිගමනය කළේය.
ඒ අනුව, අත්අඩංගුවේ පවතින ‘Ippothum Inge Irandu Thesangalthaan’ සහ ‘Elluttal Nan Yuttam Ceykiren’ යන කෘතිවල සියලුම පිටපත් වහාම අදාළ ලේඛකයා වෙත නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රේගු බලධාරීන්ට නියෝග කර ඇත.




