2013න් පාඩම් ඉගෙන ගෙන අනොජන් වෙනුවෙන් වගවෙමු!

සෞදි අරාබියේ අධිකරණ ක්‍රියාවලියකට මුහුණ දී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන සිවරාසා අනෝජන්ගේ සිද්ධිය සම්බන්ධයෙන් එරට බලධාරීන් සමඟ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් අඛණ්ඩව සාකච්ඡා කරමින් සිටින බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනය කරයි.

අම්පාර, කල්මුනේ නට්පිට්ටිමුනේ ප්‍රදේශයේ පදිංචි අනෝජන් නමැති මෙම තරුණයාට මුල් නඩු තීන්දුවෙන් නියම වූ දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනයෙන් පසු මරණ දඬුවම නියම වී ඇති බවට පවුලේ පාර්ශ්වය සහ මහජන නියෝජිතයන් ප්‍රකාශ කිරීමත් සමඟ මෙම සිදුවීම කෙරෙහි සමාජයේ දැඩි අවදානමක් යොමුව තිබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රජා රාජ්‍යතාන්ත්‍රික අංශය (Public Diplomacy Division) විසින් සැප්තැම්බර් 18 වැනිදා නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ, රියාද්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ කොළඹ පිහිටි සෞදි අරාබි තානාපති කාර්යාලය සමඟ එක්ව ඉදිරි වර්දනයන් සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන බවයි.

කෙසේ වෙතත්, අදාළ නිවේදනය මගින් ඔහුට මරණ දඬුවම නියම වී ඇති බවට නිල වශයෙන් තහවුරු කර නොමැති අතර, ඊට අදාළ ලිඛිත අධිකරණ තීන්දුව මෙතෙක් ලැබී නොමැති බවද වාර්තා වේ.

සෞදි අරාබියේදී මරණ දඩුවම නියමවී ඇති බවට පැවසෙන සිවරාසා අනෝජන්ට සමාව ලබාගැනීමට හැකිතාක් උත්සහ කරන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස ද පවසා තිබේ.

2013 වසරේදී සෞදි අරාබියේදී බිළිඳෙකු ඝාතනය කළ බවට චෝදනා ලැබූ රිසානා නෆීක්ව මරණ දණ්ඩනයට ලක් කරන ලදී. එම අවස්ථාවේදී ශ්‍රී ලංකා රජයේ රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම ඉතා දුර්වල මට්ටමක පැවතුණි. එම සිදුවීමෙන් පසුව පවා, සෞදි අරාබියේ නීති පද්ධතිය තුළ පවතින යල් පැන ගිය සහ අමානුෂික දඬුවම්වලින් අපගේ සේවකයින් ආරක්ෂා කර ගැනීම සඳහා එරට රජය සමඟ කිසිදු ආකාරයක ගිවිසුමකට එළැඹීමකින් තොරව අපි දිගින් දිගටම එරටට සංක්‍රමණික ශ්‍රමිකයින් යැවීම සිදු කරමින් සිටිමු.
2013 සිදුවීමෙන් පාඩම් ඉගෙන ගනිමින් අවම වශයෙන් අනෝජන්ගේ දඬුවම ලිහිල් කරගැනීමට සහ නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ආණ්ඩුව මැදිහත් විය යුතුය. එසේම ඉදිරියේදී විදෙස් ශ්‍රමිකයන් ලෙස යන ලාංකිකයන්ගේ ජීවිත සුරක්ෂාව වෙනුවෙන් ගතයුතු පියවර ගැනීම ආණ්ඩුවේ වගකීමකි.

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලා එකතු වෙන්නේ ජනතාවට අමාරු නිසාලු!

ජාතික ජන බලවේගය හැර සියලු පක්ෂ පොදු රාමුවක් යටතේ...

සරත් මුණසිංහ ආරචිචිගේ නව කෘති ද්විත්වයක්

ප්‍රවීණ සාහිත්‍යවේදී සරත් මුණසිංහ ආරචිචිගේ නව කෘති ද්විත්වයක් වන"...

සජබ – UNP දීගය අලුත්වෙයි

රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය සුරැකීම සහ ජනතාව මුහුණ දී සිටින...

ගෙදර වගකීම් කාන්තාවන්ගේ රැකියා අයිතිය අහිමි කරලා

මෙරට කාන්තාවන්ගෙන් ලක්ෂ 61.8 ක් රැකියාවක් නොකරන බවත් ඉන්...