ජනලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගියදා නිකුත් කළ නවතම වාර්තාවක් මගින් අපේ රටේ තරුණ තරුණියන්ගේ රැකියා විරහිත භාවය පිළිබඳ දත්ත අනාවරණය වී තිබේ. ඒ 2026 දෙවන කාර්තු (අප්රේල්- ජුනි) ශ්රම බළකා සමීක්ෂණ වාර්තාවට අනුව මෙරට සමස්ත විරැකියා අනුපාතිකය 4%ක් වැනි පහළ මට්ටමක තිබේ. එහිදී මෙරට තරුණ රැකියා විරහිත අනුපාතය 17.8% කි. එහි තවත් සුවිශේෂී කාරණාවක් වන්නේ තරුණ කාන්තාවන් අතර එම අගය 22.4%ක් දක්වා ඉහළ යෑමය.
මේ නවතම වාර්තාව සිදු කරන්නේ අප්රේල් සිට ජුනි දක්වා කාලය ආවරණය වන පරිදි දිවයින පුරා නිවාස ඒකක 6,250 ක් අදාළ කර ගනිමින් ක්රියාත්මක කරන ලද මෙම ශ්රම බළකා සංගණනයට අනුව ය. එහිදී වයස අවුරුදු 15ත් 24 ත් අතර පසුවන 150,684 දෙනකු රැකියා විරහිතව පසුවන බව ඇස්තමේන්තු කර තිබේ. මේ වාර්තාව මගින් පෙනීයන්නේ මෙරට රැකියා වෙළෙඳ පොළට පිවිසෙන තරුණ පිරිස් මුහුණ දෙන අභියෝග හා ක්ෂේත්ර කිහිපයක බරපතළ අසමතුලිත භාවයකි.
මෙහි වඩාත් සංවේදී කතාවක් තිබේ. එනම් ඉහළ අධ්යාපනයක් ලැබූවන් අතර පවතින විරැකියාවය. එකී ලේඛනයේ අ.පො.ස. උසස් පෙළ හෝ ඊට ඉහළ සුදුසුකම් සපුරා ඇති පිරිස අතර විරැකියාව 6.7%ක් ලෙස සටහන්ව තිබුණි. එහි කාන්තා විරැකියාව 9.6%ක් දක්වා ඉහළ ගොස් තිබූ අතර පිරිමි පාර්ශ්වයේ එම අගය සටහන්ව තිබුණේ 3.9% ක් ලෙසය. ඒ අනුව පසුගිය මාස තුනකට පෙර පැවැති 16.1% අගයේ සිට 17.8% දක්වා එය ඉහළ ගොස් තිබේ.
කොටින්ම ඉලක්කම්වලින් මේ අනුපාතයන් කුඩා එකක් ලෙස පෙනුනද එයින් කියැවෙන කතාව නම් සුළුපටු නොවේ ය. ඒ මෙරට සමස්ත විරැකියාවේ සංඛ්යාමය අගය කුඩා සීමාවක පැවැතියද, තරුණ හා උගත් පරපුර අතර පවතින ඉහළ විරැකියා ප්රතිශතය රටේ ආර්ථික සංවර්ධනයට හා ඵලදායීතාවයට තීරණාත්මක බලපෑමක් එල්ල කරන ආකාරයයි.
ආණ්ඩුව රටේ එකම ප්රශ්නය වංචා දූෂණ බව කියමින් ඉන්නේ මෙවැනි වටපිටාවකයි. එසේම පාර්ලිමේන්තු විපක්ෂය සිවුරක එල්ලී සිටින්නේද මේ ප්රශ්න අමතක කර බව අමතුවෙන් පැවසිය යුතු නොවේ.




