ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික වර්ධනය අත්පත් කර ගැනීම සඳහා ජත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අලුත් එකඟතාවකට යා හැකි නම් ඊට සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක 2026 – ශ්‍රී ලංකා ආර්ථික සහ ආයෝජන සමුළුව අමතමින් පවසා තිබේ.
ලංකාව ශ්‍රේණිගත කිරීම් වල (ratings) ඉහළට පැමිණියද, විදේශ සංචිත තවදුරටත් අපේක්ෂිත මට්ටමට වර්ධනය කරගත යුතුව තිබෙන බව ද ජනාධිපතිවරයා එහිදී කීය.
අයි.එම්.එෆ් සමඟ පැවති පළමු විස්තීරණ ණය පහසුකම් (EFF) අවුරුදු හතරේ වැඩසටහනේ මූලික ඉලක්කය වූයේ ආර්ථික ස්ථාවරත්වය ළඟා කර ගැනීම බව කී ජනාධිපතිවරයා එම ස්ථාවරත්වය සාර්ථකව ළඟා කරගෙන ඇති අතර, ඊළඟ පියවර වන්නේ එම ස්ථාවරත්වය ආරක්ෂා කරගනිමින් ආර්ථික වර්ධනය අත්පත් කර ගැනීම බව සඳහන් කර ඇත.
ජනාධිපතිවරයා මේ කියන ආර්ථික ස්ථාවරත්වය කුමක්ද යන්න බොහෝ පිරිසකට පැහැදිලි නැත. රටේ ජනතාව සිය අවශ්‍යතා ඉටුකර ගැනීමට නොහැකිව විශාල පීඩනයකට මුහුණ දෙමින් සිටියි. උද්ධමනය දිනෙන් දින වැඩිවෙමින් පවතියි. දරිද්‍රතා මට්ටම සියයට 16.9 ක් ලෙස අර්බුදයට පෙර මට්ටමට වඩා සැලකිය ලෙස ඉහළ ගොස් ඇති බව ලෝක බැංකුව පසුගියදා නිකුත් කළ වාර්තාවකින් ද පවසා තිබුණි. මේ සඳහා ප්‍රධාන ලෙස බලපානු ලබන්නේ ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් සිටින IMF වැඩපිළිවෙලයි.




