ශ්‍රී ලංකාවේ දශක හතරකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත (PTA) සම්පූර්ණයෙන්ම අහෝසි කර, ඒ වෙනුවට “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත” රජය විසින් ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කර තිබේ.
අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි නිකුත් කර ඇති මෙම කෙටුම්පත මඟින්, ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම මෙන්ම ත්‍රස්තවාදී ක්‍රියා මැඩපැවැත්වීම සඳහා වන නීතිමය රාමුව නවීකරණය කිරීමට අපේක්ෂා කරන බව ආණ්ඩුව පවසයි.
1979 දී තාවකාලික විධිවිධාන ලෙස හඳුන්වා දුන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) මෙරට නීති පද්ධතිය තුළ දීර්ඝ කාලයක් තිස්සේ සංවාදයට ලක්වූවකි. සැකකරුවන් දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීම ඇතුළු කරුණු හේතුවෙන් දේශීය සිවිල් සමාජයෙන් මෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වැනි ජාත්‍යන්තර සංවිධානවලින් ද ඊට එරෙහිව මත ඉදිරිපත්විය. මෙම පනත රාජ්‍යට එරෙහිවන්නන් මර්දනයට යොදා ගැනුණි. එහිදී සුළු ජාතික ජන කොටස් මර්දනය සඳහා විශේෂයෙන් බාවිත කරන ලදී. අරගලයෙන් අනතුරුව අරගලයේ නායකයන් අත්අඩංගුවට ගනු ලැබුවේද මෙම පනත හරහායි.
ඒ අනුව ජාතික ජන බලවේගය ආණ්ඩුවද බලයට පත්වීමට පෙර මෙම ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කරන බවට පොරොන්දු විය. නමුත් බලයට පත්වීමෙන් පසු නව ආණ්ඩුව මෙම පනත බාවිතා කරමින් අත්අඩංගුවට ගැනීම් සිදුකරන ලදී. පසුව ආණ්ඩුව නිවේදනය කරනු ලැබුවේ පැරණි පනත අහෝසි කර නව ත්‍රස්තවාදී පනතක් ගෙන එන බවයි.
මෙහිදී පැරණි පනතටත් වඩා හානිකර කොටස් මෙම නව පනත හරහා බලාත්මක කිරීමට උත්සාහ කරන බව සිවිල් සමාජයේ හා ප්‍රගතිශීලී කණ්ඩායම්වල අදහසයි. නමුත් ආණ්ඩුව ත්‍රස්තවාදී ලේබලය පාවිච්චි කරමින් මෙම පනත ගෙන ඒමට කටයුතු කරමින් සිටියි. මෙම ත්‍රස්ත පනත්වලට විරුද්ධ වෙන පිරිසගේ අදහස වන්නේ ත්‍රස්තවාදී ක්‍රියා වැලක්වීමට අවශ්‍ය නීති අපේ රටේ දණ්ඩ නීති සංග්‍රහය තුළ තිබියදී මෙම වෙනම පනතක් ගෙන ඒමේ අදහස විකල්ප අදහස් මර්දනය කිරීම බවයි.




