මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව නැවත කැඳවෙයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුව මේවනවිට විභාග වෙමින් තිබේ. එම නඩුවේ සිව්වන සාක්ෂිකරු වන සුමතිපාල සුරේෂ් කුමාර හෙවත් මුරලි යන අයගේ සාක්ෂිය නැවත කැඳවීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය (සැප් : 04) අවසර ලබා දී තිබුණි.

පසුගිය ජූලි 24 වැනිදා නඩුව කැඳ වූ අවස්ථාවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා අධිකරණය හමුවේ කියා සිටියේ නඩුවේ සිව්වන සාක්ෂිකරුගේ සාක්ෂිය නැවත ලබා ගැනීමට අවශ්‍ය බවයි.

ඊට විත්තිකාර පාර්ශවය විරෝධතා ඉදිරිපත් කළ අතර එම විරෝධතා සලකා බැලීමෙන් අනතුරුව විනිසුරු මඩුල්ල ඒකමතිකව නියෝගයක් ලබා දෙමින් සිව්වන සාක්ෂිකරු වන සුමතිපාල සුරේෂ් කුමාර හෙවත් මුරලි යන අය නැවත සාක්ෂියට කැඳවීමට පැමිණිල්ලට අවසර ලබා දී ඇත.

අනතුරුව පසුගිය නඩු වාරයේ මෙම නඩුව කැඳ වූ අවස්ථාවේ, විත්තියේ නිතීඥවරුන් ත්‍රිපුද්ගල මහාධිකරණයේ නියෝගයට විරුද්ධව අභියාචනයක් ඉදිරිපත් කළේය. එම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන ලෙසත්, එම අභියාචනා පෙත්සම විභාග කොට තීන්දුව ලබාදෙන තුරු මෙම මහාධිකරණයේ නඩු කටයුතු ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බවත් ඔවුන් තර්ක කළහ.

ඒ අනුව එම අභියාචනයේ තීන්දුව ලැබෙන තුරු සිව්වන සාක්ෂිකරුගේ සාක්ෂිය නොකැඳවන ලෙස ඉල්ලා තිබිණි.

ඒ අනුව (සැප් :04) දින විනිසුරු මඩුල්ල නිවේදනය කළේ නඩුවකට අදාළව නිකුත් කර තිබෙන අතුරු නියෝගයක් අභියෝගයට ලක් කළ නොහැකි බවත්, එමනිසා සිව්වන විත්තිකරුගේ සාක්ෂිය කැඳවන බවයි.

කෙසේ වෙතත් මෙම නඩුවේ හතරවෙනි සාක්ෂිකරු වන සුරේෂ් කුමාර සුමතිපාල විසින් (සැප් :04) දින අධිකරණය හමුවේ සාක්ෂි ලබාදීමේදී මෙම නඩුවේ පළමු විත්තිකාර ශම්මි කුමාරරත්න විසින් අවස්ථා කිහිපයකදී නඩුවට අදාළව අසත්‍ය සාක්ෂි ලබාදෙන ලෙස සාක්ෂිකරුට තර්ජනය කර ඇති බව අනාවරණය විය.

ඒ අනුව ඊයේ දින මෙම නඩුව වෙනුවෙන් වෙන්කර තිබූ කාල සීමාව අවසන් වූ බැවින් මෙම සාක්ෂියේ ඉතිරි කොටස ලබාගැනීම සඳහා අධිකරණයේ කටයුතු සැප්තැම්බර් 11 වනදා දක්වා කල් තැබීමට ස්ථීර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කරන ලදී.

2010 වසරේ ජනවාරි මස මස 25 වනදා හෝ ඊට ආසන්න දිනයකදී ගිරිතලේ, හබරණ හා කොට්ටාව යන ප්‍රදේශවලදී විත්තිකරුවන් තවත් නම් නොදත් පිරිසක් සමග එක්ව රහසිගතව සිර කර තැබීමේ අරමුණින් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ නීතිපතිවරයා දණ්ඩ නීති සංග්‍රහය යටතේ විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

ගිරිතලේ යුද හමුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ෂම්මි කුමාරරත්න, ඩබ්ලිව්.ඩී . උපසේන (සුරේෂ්), ආර්. එම්. පී. කේ. රාජපක්ෂ (නාදන්), එස්.එම්. රවීන්ද්‍ර රූපසේන (රංජි), චමින්ද කුමාර අබේරත්න, කනිෂ්ක ගුණරත්න, අයියාසාමි බාලසුබ්‍රමනියම්, තරංග ප්‍රසාද් ගමගේ, ටී.ඊ.ආර්. පීරිස් යන යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් 9 දෙනා මෙම නඩුවේ සැකකරුවන් ලෙස නම් කර තිබේ.

පශ්චාත් යුධ සමයේ රාජපක්ෂ පාලන සමයේ සිදුවූ මෙවැනි අතුරුදහන් කිරීම් සම්බන්ධ නඩු යහපාලන ආණ්ඩුව පත්වූ වහාම විභාගයට ගැනීම ඇරඹුණි. නමුත් ඒවා කාලයත් සමඟ යට ගොස් තිබුණි. නැවතත් එය ආරම්භ වී තිබේ. මෙවැනි නඩු විභාග කොට අවසන් කිරීම අතුරුදහන්වූවන්ට යුක්තිය ඉටුකිරීමේ ප්‍රධානතම ක්‍රමයකි. නමුත් මේවා කොතරම් දුර ඇදී යනු ඇද්ද සම්බන්ධයෙන් කිසිදු විශවාසයක් තැබිය නොහැක. එයට හේතුව අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් මේ ආණ්ඩුවද පැරණි පාලකයන් අනුගමනය කළ ක්‍රමවේදයම අනුගමනය කරන බැවිනි.

Share post:

Popular

More like this
Related

තෙල් සංස්ථාවේ ‘දැක්කොත් බුවා – නොදැක්කොත් එබුවා’ තියරිය

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නැප්තා සහ දැවිතෙල්...

හොරු ඇල්ලීම පමණක් ප්‍රමාණවත්ද?

එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකට අදාළව රුපියල්...

ජනාධිපති ලේකම්ගෙන් බදු ගැන අමුතු කතාවක්

ලංකාවේ උපයන විට ගෙවීමේ බද්ද (Payable tax when earned)...

පාදුක්ක සිදුවීම ගැන පොලීසියෙන් ‘බබා පාට්’

පාදුක්ක ප්‍රදේශයේදී නිල අංක තහඩුව සවි කර නොතිබූ අලුතින්...