වර්තමානයට ගැළපෙන පරිදි කම්කරු නීති සංශෝධනය කිරීමට කාලය පැමිණ ඇති බව කම්කරු නියෝජ්ය අමාත්ය මහින්ද ජයසිංහ පවසයි.
යෝජිත කම්කරු නීති සංශෝධනය පිළිබඳ වෘත්තීය සමිතිවල අදහස් හා යෝජනා ලබා ගැනීම වෙනුවෙන් සංවිධානය කළ බස්නාහිර පළාත් වැඩසටහනට ඊයේ (28) එක්වෙමින් ඔහු මේ බව කියා ඇත.
එම වැඩසටහන කම්කරු අමාත්යාංශයේදී පැවැත්වී ඇත.
කම්කරු දෙපාර්තමේන්තුවට අදාළ නීති සහ අණ පනත් නූතනත්වයට ගැළපෙන පරිදි සංශෝධනය සඳහා යෝජනා සකස් කිරීමට පසුගිය වසරේදී කම්කරු අමාත්යාංශයේ ලේකම්වරයාගේ සභාපතීත්වයෙන් කැබිනට් අනු කමිටුවක් පත් කෙරිණි.
එම අනු කමිටුවේ යෝජනාවලිය සම්බන්ධයෙන් වෘත්තීය සමිති, සේවායෝජකයින් සහ මහජනතාවගේ අදහස් ලබා ගැනීමේ අරමුණින් පළාත් මට්ටමින් මෙම වැඩසටහන් මාලාව සංවිධානය කරනු ලැබිණි.
අදාළ යෝජනාවලිය ජාතික කම්කරු උපදේශක සභාවට ඉදිරිපත් කර නව සංශෝධනය සම්බන්ධයෙන් එම සභාවේ අදහස් සහ යෝජනාද ලබා ගෙන ඇතැයි වාර්තා වේ.
ඊට සමගාමීව වෘත්තීය සමිති, ලංකා හාම්පුතුන්ගේ සංගමය ඇතුළු අදාළ පාර්ශ්වවල අදහස් සහ යෝජනාද සැලකිල්ලට ගනිමින් නව කම්කරු නීති සංශෝධනය සඳහා අවසන් කෙටුම්පතක් සකස් කිරීමට නියමිතයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කම්කරු නියෝජ්ය අමාත්ය මහින්ද ජයසිංහ,
“ අපි ආණ්ඩුවක් විදිහට අපේක්ෂා කරනවා අපේ රටේ ආර්ථිකය මෙතනින් ඉහළට පියවර ගණනාවක් ඔසවන්න. විශේෂයෙන්ම නිෂ්පාදන ආර්ථිකයකට පියමන් කරන්න. නිෂ්පාදන ආර්ථිකයකට පියමන් කරනකොට අපි ආණ්ඩුවක් විදිහට කල්පනා කරනවා ඒ ආර්ථිකයට දායක වන පිරිස්වලට සාධාරණ පංගුවක් හිමිවෙන්න ඕනකම තිබෙනවා. ඒ අනුව ඒ සියල්ලට ගැළපෙන ලෙස තමයි අපේ නීති සංශෝධනය වෙන්න ඕන කම තිබෙන්නේ”
පසුගිය ආණ්ඩු සමයේ තනි කම්කරු නීතිය ලෙස ගෙන ඒමට සූදානම් වූ කම්කරු නීති සංශෝධනය සමාලෝචනය සඳහා ද අනුකමිටුවක් පත්කර තිබුණි. කෙසේවෙතත් කම්කරු නීති සංශෝධනය කාලයට ගැලපෙන පරිදි කිරීම හොඳ දෙයක් වුවත් මේ කිරීමට සැරසෙන්නේ රනිල් වික්රමසිංහ ගෙන ඒමට සූදානම් වූ කම්කරු නීතියම නැවත ගෙන ඒමටයි. දැනට ඒ සම්බන්ධ වෘත්තීය සමිති සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා තිබේ. එම රැස්වීම්වල හෙළිවූ කරුණු අනුව ආණ්ඩුව සුදානම් වෙන්නේ රනිල් ගෙන ඒමට සූදානම් වූ තනි කම්කරු නීතියම වෙනත් වටයකින් ගෙන ඒමටයි. ඇත්තවශයෙන්ම ආණ්ඩුව සුදානම් වෙන්නේ නිෂ්පාදකයන්ට, සමාගම්වලට අවශ්ය පරිදි කම්කරු නීති සංශෝධනයටයි. ඒ වෙනුවෙන් සේවය අවසන් කිරීමේ කම්කරු නීතිය, පැය අටේ වැඩ දිනය වෙනස් කිරීම වැනි සංසෝධන දැනටම කරළියට පැමිණ ඇත. ඊට අමතරව විශ්රාමික අරමුදල් ත්රයිපාර්ශික කමිටුවක් යටතට පත්කිරීම වැනි යෝජනාද ඉදිරිපත්ව තිබේ. වෙනත් වචනවලින් කිවහොත් ආණ්ඩුව සූදානම් වෙන්නේ කකුලේ හැඩේට සපත්තුව හැදීම නොව සපත්තුව හැඩේට කකුල කැපීමටයි.




