රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ ජාතික ප්‍රතිපත්ති රාමුවක් සැකසීම වෙනුවෙන් සම්පාදනය කළ “හරිත පත්‍රිකාව” (Green Paper) සියලු දේශපාලන පක්ෂ සහ සිවිල් සමාජය වෙත ඉදිරිපත් කළ බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී අද පැවැති මාධ්‍ය හමුවක් අමතමින් පක්ෂ නායකත්වයේ සහ තරුණ නියෝජිතයන්ගේ අදහස් මෙහිදී ප්‍රකාශයට පත් කෙරිණි.
එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පෙන්වා දෙන්නේ, ඉදිරි පරම්පරාවට රට භාරදීමේ ක්‍රමවේදය පිළිබඳව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පසුගිය කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී මෙම ලියවිල්ල මුල්වරට සාකච්ඡාවට ගෙන ආ බවයි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මීට පෙර හඳුන්වා දුන් ථෙරවාදී සමාජ වෙළඳපොළ ආර්ථික ක්‍රමවේදයට (Social Market Economy) අනුගතව මෙම ලියවිල්ලේ මූලික ආර්ථික ප්‍රතිසංස්කරණ ගොනු කර තිබෙන බව එජාප සභාපතිවරයා පවසා තිබේ.
මෙම ආර්ථික ආකෘතිය මගින් වෙළඳපොළ තරගකාරිත්වය සහ නිදහස් ව්‍යවසායකත්වය ආරක්ෂා කරන අතරම, පොදු ජනතාවට සහ අවදානමට ලක්විය හැකි කොටස්වලට අවශ්‍ය සමාජ සුබසාධන දැලක් (Safety Net) සැපයීම අපේක්ෂා කෙරේ.
එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල සභික දිනුක් කොළඹගේ සඳහන් කළේ, වර්තමාන ජීවන වියදම් සහ භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම් වැනි ආර්ථික අභියෝග හමුවේ ආර්ථිකය ස්ථාවරව පවත්වා ගැනීමට මෙවැනි පොදු ප්‍රතිපත්තිමය එකඟතාවක් අත්‍යවශ්‍ය බවයි.
ථෙරවාදී නමින් විශේෂ නමක් යොදා තිබුනද ඇතුලේ තිබෙන්නේ වසර 70කට ආසන්න ලංකාවේ ක්‍රියාත්මකවන ආර්ථික ක්‍රමයම බව එජාප සාමාජිකයන්ගේ කටින්ම එළියට පැමිණ තිබේ. ඔවුන්ම පවසන ආකාරයට මෙම ආර්ථික ක්‍රමය මගින් යෝජනා කරන්නේද වෙළඳපොළ තරගකාරිත්වය සහ නිදහස් ව්‍යවසායකත්වය ආරක්ෂා කිරීමයි. ලංකාව පසුගිය කාලයේ ආර්ථික අර්බුදයට ගොදුරු වූවේ ඔය කියන ආර්ථික ඔස්තාර් රනිල්ලා යටතේ එම වැඩපිළිවෙල ක්‍රියාවට නැගුනු නිසයි. දැන් නැවතත් අලුත් සළුපිලි අන්දවා ගෙන ඒමට හදන්නේ පරණ මළ මිනියම බව පැහැදිලිය. ඇත්තටම මෙහි අමුත්තක් නැත. රනිල් ප්‍රමුඛ එජාපයට වෙනස් ආර්ථික ගමනක් ගැන අදහස් ඉදිරිපත් වීම විය නොහැකි බව ඔවුන් සිය දහස් වරක් ඔප්පුකරන හමාරය.




