හොරොව්පතාන එළිමහන් අලි සිර කඳවුරට තවත් අලි ඇතුන් බිලි නොදෙනු!

පාර්ලි‌මේන්තු බහුතරයෙන් හස්ති චර්යා වෙනස්කළ නොහැක

ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම එන්න එන්නම උග්‍ර වෙමින් සහ භූගෝලීය වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. ඊට පිළියම් ලෙස යෝජනා කරන යල් පැනගිය පාලන ක්‍රම මහජන මුදල් මකර කටට යැවීමක් පමණි. ‘අලි පුනරුත්ථාපනය’ යන මිත්‍යා මතය පදනම් කරගත් හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය, අපට අනුව ‘එළිමහන් අලි සිර කඳවුර’ ද එවැනි සුදු අලියෙකි. නමුත් පසුගිය ඉතිහාසය පුරාම බලධාරීන් සහ දේශපාලන අධිකාරිය ඒ කිසි දෙයක් කනකට ගත්තේ නැත. ‘නිසි අධ්‍යයනයක් සිදුකර, ජීව විද්‍යාත්මක හා නව තාක්ෂණික ක්‍රමවේද භාවිත කරමින්’ අලි-මිනිස් ගැටුමට විසඳුම් සොයන බව කී වර්තමාන ආණ්ඩුව කියාද එහි වෙනසක් නැත. අලි ඇතුන්ට මරණ මංචකයක්වූ  හොරොව්පතාන එළිමහන් අලි සිර කඳවුරට තවත් අලි ඇතුන් බිලි දීම පුනරුද යුගයේදී ද අඛණ්ඩව සිදුවෙමින් පවතින්නේ එබැවිණි.

වනජීවී පශුවෛද්‍යවරුන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවෙමින් සිටින පසුබිමක හමුදා පශුවෛද්‍යවරුන් යොදාගෙන තවත් අලියෙකු අනුරාධපුර තලාව ප්‍රදේශයෙන් අල්ලා හොරොව්පතාන එළිමහන් අලි සිර කඳවුරට දැක්කීම මෙහි ආසන්නතම සිදුවීමය. එහිදී වැරදීමකින් නිර්වින්දන ඖෂධ එන්නත්කළ තවත් අලින් දෙදෙනකු පලාගොස් ඇති බවත්, තුන්වැනියා මෙසේ සිරගතකර ඇති බවටත් වාර්තා පළවේ. ඒ අනුව සත්‍ය වශයෙන්ම අල්ලාගෙන ඇත්තේ ගැටුම් ඇතිකරනබවට චෝදනා එල්ලවූ අලියාද නැත්නම් වෙනත් අලියෙක්ද, පලාගිය අනෙක් අලි දෙදෙනාට අත්වූ ඉරණම කුමක්ද යන්නද අපට විමසන්නට ඇති සාධාරණ ප්‍රශ්න ය. කෙසේ වෙතත් මේවා හුදෙක් අහඹු සිදුවීම් නොවන බවද මෙම අසාර්ථක අලි පරිස්ථාපනය හා බැඳුනු නිත්‍ය අංග බවද අප පෙන්වාදී ඇත්තේ අද ඊයේ නොවේ.

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය ඉදිකරනු ලබන්නේ 2012 මාර්තු 17 දිනැති 12/0151/549/001 දරන අමාත්‍ය මණ්ඩල සංදේශය අනුවය. ඒ 2012 අයවැය යෝජනාවලියේ සඳහන් අලි රැඳවුම් මධ්‍යස්ථාන හතරින් එකක් වශයෙනි. ඉනික්බිති ආණ්ඩුවේ විගණකාධිපති විසින්ම 2020 වසරේ ඔක්තෝබර් මස අයිඊඑන්/එෆ්/ඩීඩබ්ලිව්සී/19/පීආර්/11 අංක දරන වාර්තාව මගින්  හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අසාර්ථක බව පමණක් නොව එය හොර ගුහාවක් බවත් වාර්තාකර ඇත. එතැන් සිට අද දක්වාද බලධාරීන් මෙම රැඳවුම සාර්ථකකර ගැනීමට කොහෙත්ම සමත්වී නැත. එසේ තිබියදී වර්තමාන රජය යටතේද අලි-මිනිස් ගැටුම විසඳීමට බව පවසමින් අලි-මිනිස් ජීවිත සමග සෙල්ලම් කරමින් සහ මහජන මුදල් මකර කටට යවමින් මෙම මරණ මංචකය නඩත්තු කිරීම ජුගුප්සාජනකය.

මිනිස් ජීවිත හා දේපොළ වලට හානි කරන බවට චෝදනා එල්ලවන ප්‍රචණ්ඩ වන අලින් ඔවුන්ගේ ස්වභාවික වාසස්ථාන වලින් අල්ලා ගෙනගොස් රඳවාගෙන පුනරුත්ථාපනය කර නැවත වනයට මුදා හැරීම අලි රැඳවුම් මධ්‍යස්ථානයක අපේක්ෂිත කාර්ය භාරයයි. මෙරට ප්‍රථම අලි රැඳවුම් මධ්‍යස්ථානය 2007 වසරේදී  ඉදිකරනු ලැබුවේ ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානය තුලය. උද්‍යානයේ කොටසක් විදුලි වැට සහ අගල් යොදා වෙන්කර මෙසේ අලි ඇතුන් රැඳවීමට දරනලද උත්සාහය කෙටි කලකින්ම අසාර්ථක වූයේ රුපියල් මිලියන ගණනක මුදල් නාස්තියක් පමණක් ඉතිරි කරමිනි. ඉන්පසුව රුපියල් මිලියන 500 කට වඩා වියදම් කරමින් 2012 වසරේදී අනුරාධපුර, හොරොව්පතාන ප්‍රදේශයේ මෙම එළිමහන් හස්ති සිර කඳවුර ඉදිකිරීමට කටයුතු කලේය. ඒ මුල් උත්සාහයෙන් උගත් පාඩම් සැළකිල්ලට ගෙන වඩාත් සාර්ථක ලෙස මෙම ස්ථානය ඉදිකර පවත්වාගෙන යමින් මෙරට අලි – මිනිස් ගැටුමට පිළියම් ලබාදෙන බව පවසමිනි. නමුත් එයද අසාර්ථකබව හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ කාර්ය සාධනය පිළිබඳව ජාතික විගණන කාර්යාලය මගින් අනාවරණයකර ඇත.

එසේ තිබියදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නැවතත් ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයෙන් හෙක්ටයාර් 3500 ක් වැනි විශාල භූමි ප්‍රදේශයක් වෙන්කරගෙන මෙම අසාර්ථක අලි – මිනිස් ගැටුම් කළමනාකරණ ක්‍රමය නැවත වරක් අත්හදාබැලීම සඳහා බව පවසමින් මහජන මුදල් රුපියල් මිලියන ගණනක් මකර කටට යැවීය. ඉහතකී ආන්ධෝලනාත්මක විගණන වාර්තාව කරළියට පැමිණියේ එසේ රෑ වැටුණු වලේ තෙවැනි වරටත් මහා දවාලේ ඇදගෙන වැටීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටියදීය.  විගණකාධිපතිවරයා උක්ත වාර්තාවෙන් වැඩි දුරටත් සඳහන්කර තිබුණේ ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයේ අලුතින් අලි රැදවුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීමට ප්‍රථම හොරොව්පතාන වර්තමාන මධ්‍යස්ථානය සාර්ථක කරගැනීමට කටයුතු කළයුතු බවය.

මෙම මධ්‍යස්ථානය වෙත අලින් ඇතුලත් කිරීම ආරම්භකර ඇත්තේ 2013 වසරේ සිට වන අතර මේ දක්වා නිලවශයෙන් එහි ගාල්කර ඇති අලි ඇතුන් සංඛ්‍යාව හැත්තෑවකට අධිකය (එම සංඛ්‍යාලේඛනපවා විශ්වාසනීයත්වය ප්‍රශ්නකරයි). එමගින්  පුනරුත්ථාපනයකර මේ දක්වා වනයට මුදාහැර ඇති අලියෙකු නැති අතර අඩුතරමින් එම අලි හැත්තෑගණන පවා මේ වන විට මෙම රැඳවුම තුල ඇත්තේද නැත. 2015 සැප්තැම්බර් 04 දින සිට 2019 ජුනි 25 දින දක්වා කාලසීමාව තුල අවස්ථා 52 කදී අලි ඇතුන් මෙහි ගාල්කර ඇති නමුත් 2019 ජුනි මස වන විට එහි ඉතිරිව සිට ඇත්තේ අලි ඇතුන් නවදෙනෙකු පමණක් බව විගණකාධිපති වාර්තාවේ දැක්වේ. දොළොස් දෙනෙකු මියගොස් ඇති බවට වාර්තාවී ඇති අතර ඉතිරි අලින් 31 අතුරුදහන්වී ඇති බවත් වාර්තාව මගින් පෙන්වා දී ඇත. ලෝක සත්ව හා මින්මැදුරු පිළිබඳ සංවිධානයේ සත්ව සුභසාධන හා ආචාරධර්ම පටිපාටි පවා නොසලකා හරිමින් මුදා හැරුණු ජාතික සත්වෝද්‍යානයට අයත් අලින් දෙදෙනෙකුද ඊට අයත්ය.

තවද මෙම වාර්තාව මගින් පැහැදිලිවන යථාර්ථය වන්නේ මෙම මධ්‍යස්ථානය තුල අලි ඇතුන්ට තම ජීවිතය හා බැඳුනු අවශ්‍යතා සපුරා ගැනීමට සහ ස්වභාවික හැසිරීම් රටා ප්‍රකාශ කිරීමට හැකි පරිසරයක් නොමැති බවය. මෙවැනි මධ්‍යස්ථාන මගින් අලි – මිනිස් ගැටුමට පිළියම් නොලැබෙන බවත් එමගින් සිදුවන්නේ අලි ඇතුන්ගේ ජීවිත තර්ජනයට ලක්වීම පමණක් බවත් පැහැදිලිය. මෙවැනි මධ්‍යස්ථානවල ගාල් කරනු ලබන අලි තමන්ට එල්ල වන පීඩනය හමුවේ තව තවත් ප්‍රචණ්‌ඩ හැසිරීම් දැක්‌වීම නිසා ඉදිරියේ දී අලි – මිනිස්‌ ගැටුම තව තවත් ඔඩුදුවන බව නොකිවමනාය. මෙසේ ගාල් කරන සතුන්ට ඇති විකල්ප දෙක වන්නේ එක්‌කෝ ගාලෙන් පැන යැම හෝ එසේත් නැතිනම් අකාලයේ නිරාහාරව මරණයට පත් වීම බව කණගාටුවෙන් නමුත් ප්‍රකාශකළ යුතුය.

අලි ඇතුන් තමන්ගේ පාරම්පරික වාසභූමි වලට දැඩි ඇල්මක් දක්වන අතර තම පාරම්පරික වාසභූමි වලින් අල්ලා වෙනත් ස්ථානයකට ගෙනගොස් දැමුවද හැකි සෑම අවස්තාවකම නැවත තම මුල් වාසභූමියට පැමිණීමට උත්සාහ දරයි. ඒ බව මනාව පහදා දෙමින් හොරොව්පතාන අලි පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අවස්ථා කිහිපයකදී ගෙනගොස් දැමූ ගල්ගමුවේ ‘තනි දළයා’ නම් හස්තියා නැවත තම මුල් වාසභූමිය සොයා පැමිණි බව වනජීවී ක්ෂේත්‍රයේ රහසක් නොවේ. ඒ සඳහා එම සතුන් තමන්ට එල්ලවන ඕනෑම බාධකයක් ජයගැනීමට කටයුතු කරන අතර එවැනි අවස්ථාවල වනජීවී නිලධාරීන්ගේ වෙඩි උණ්ඩ ඔවුන් වෙත එල්ලවන අවස්ථාද ඇත. එසේම එම සතුන් නැවත තම වාසභූමිය වෙත ගමන් කරන අතරතුර පසු කරන ඇතැම් ප්‍රදේශවල ජනතාවට වන අලින් සමඟ ජීවත් වීමේ අත්දැකීම් නොමැත. එවැනි ප්‍රදේශ හරහා මේ අලින් ගමන් කරන අවස්‌ථාවල එම ජනතාවගේ ජීවිත බරපතළ අවදානමකට ඇද වැටේ. මෙසේ තම මුල් වාසභූමිය වෙත පැමිණි  අලින්ද පෙරටත් වඩා බිහිසුණු ලෙස මිනිස්‌ ජීවිත හා දේපළවලට හානි කිරීමට පසුබට නොවන අතර එමඟින් සිදු වන්නේ පෙරටත් වඩා සංකීර්ණ අලි – මිනිස්‌ ගැටුමක්‌ නිර්මාණය වීම ය.

ඒ මතුද නොව සිර කඳවුරේ බාධක බිඳ දැමීමට නොහැකි වන අවස්ථාවල මෙවැනි අලි ඇතුන් කුසගින්නේ සහ දැඩි මානසික ආතතියට ලක්ව රෝගීවී මියයාමටද හැකියාව ඇත. විගණකාධිපති වාර්තාවේ කවරය සැරසූ ‘කල්අඩි දළ කොටා’ ලෙස හැඳින්වූ හස්තියාට අත්වූ ඉරණම ද එයයි. එසේම මෙසේ පටු බිම් තීරුවකට ගාල් කරන සතුන් සියළු දෙනාම පිරිමි සතුන් වන බැවින් එම සතුන්ගේ ඝනත්වය වැඩිවී ඔවුන් අතර ගැටුම් ඇතිවී අලි ඇතුන් මරණයට පත්වීමද සිදුවිය හැකිය. තවද මෙසේ අල්ලා ගාල් කරනු ලබන අලින් අකාලයේ මිය යෑම හෝ සදාකාලික සිරකරුවන් බවට පත් වීම හෝ මඟින් එම සතුන් ගේ ජාන ඉදිරි පරම්පරා වෙත සම්ප්‍රේෂණය වීම ඇණහිටී. එය සිරිලක හස්‌ති පරපුරේ ප්‍රවේණික ශක්‌තිය හීන වීමට හේතු වේ.

නමුත් බලධාරීන් සහ නිලධාරීන් මේ පිළිබඳව කිසිඳු තැකීමක් නොකර රෑ වැටුණු වලේ ස්වකැමැත්තෙන්ම මහා දවාලේද ඇදගෙන වැටෙමින් සිටී. ඒ වෙන කිසිඳු හේතුවක් නිසා නොව මේ ඔස්සේ වංචනිකව ලැබුණු ප්‍රතිලාභ නිසාම විය හැකි බව විගණකාධිපති වාර්තාව මගින් ගම්‍යමාන වේ. 2018 නොවැම්බර් 01 සිට 2019 ඔක්තෝබර් 31 දින දක්වා කාලපරිච්ඡේදය තුල හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ අලින් තිස් දෙනෙකු සඳහා ආහාර සැපයීමට රුපියල් 26,133,700 ක කොන්ත්‍රාත්තුවක් පිරිනමා ඇත. නමුත් සපයනු ලබන ආහාරවල ගුණාත්මකභාවය පිළිබඳව ප්‍රමාණවත් අධීක්ෂණයක් සිදුකර නැත. අලි ඇතුන් ආහාරයට ගන්නා කොළ වර්ග පිළිබඳව අධ්‍යනයක් සිදු නොකර සැපයුම් ගිවිසුම් සකස්කර ඇති අතර එමගින් අලි ඇතුන් ආහාරයට නොගන්නා කොළ වර්ගද ගිවිසුමට ඇතුලත්කර, සතුන්ට සපයා, මුදල් ලබාගෙන ඇත. සපයන ලද ආහාරවල බර කිරීම සඳහා පුද්ගලික සහල් මෝලක සවිකර ඇති තරාදියක් භාවිතා කර ඇති අතර බර කිරීම අධීක්ෂණය සඳහා නිලධාරියෙකු යොදවා නැත. බර නිවැරදි දැයි තහවුරු කරගැනීමකින් තොරව ගෙවීම් සිදුකර ඇත. 2019 ජුනි මස වන විට මධ්‍යස්ථානයේ සිටින අලින් සංඛ්‍යාව නමයක් බව වාර්තා වුවද 2019 අගෝස්තු 01 දින සිට ඔක්තෝබර් 31 දින දක්වා අලින් තිස් දෙනෙකු සඳහා ආහාර පිටින් සපයා ඇති බවත් ඒ අනුව රුපියල් 6,559,245 ක වැඩිපුර ආහාර සපයා ඇති බවත් වාර්තාවේ සඳහන් වේ. නමුත් මධ්‍යස්ථානයේ සිටි අලින්ගෙන් මිය ගොස් ඇති බවට වාර්තාකර ඇති අලින් දොළොස් දෙනාගෙන් පස් දෙනෙකුම මියගොස් ඇත්තේ ආහාර නොමැතිවීම සහ මන්දපෝෂණය හේතුවෙන් වීම විමතිය දනවන සුළුය. ඒ අනුව මෙය හොර ගුහාවක්ව පවතින්නට ඇති බව යළිත් පැවසිය යුතු නැත.

එසේ තිබියදී මෙවැනි ස්ථානයක් නඩත්තුකරමින් පවත්වාගෙන යාම, ඊට අලි ඇතුන් තව තවත් බිලිදීම, මෙන්ම එමගින් අලි-මිනිස් ගැටුම අවමකිරීමට වෙන්කර ඇති මුදල් අපතේ හැරීම රාජ්‍ය මුල්‍ය විනය ගැන මහා ඉහළින් කතාකරන, යාන්තමින් බංකොලොත්භාවයෙන් මිදෙමින් සිටින රටකට කොහෙත්ම යුතු නොවේ. ඒ සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සෘජුව ඇඟිල්ල දිගුකිරීමට නොහැක්කේ, පාර්ලි‌මේන්තු බහුතරයෙන් හස්ති චර්යා වෙනස්කළ හැකැයි සිතන අමනෝඥ දේශපාලඥයින් හමුවේ, ඔවුන්ට අවනතවීම හැර රාජ්‍ය නිලධාරීන්ටද කිරීමට අන් යමක් ඉතිරිව නොතිබිය හැකි බැවිණි (කලකට පෙර මේ වෙත අලි ඇතුන් ගාල් නොකිරීමට වනජීවීය කටයුතුකළ කාලපරිච්ඡේදයක් තිබුණි). එබැවින් දැන් අපට කරන්නට ඉතිරිව ඇත්තේ තමන්ගේ ඊනියා ‘මිහිකත’ පරිසර ප්‍රතිපත්තිය නැවත පෙරළා බලන ලෙස ආණ්ඩුවේ දේශපාලඥයින්ගෙන් ඉල්ලා සිටීම පමණි.

සුපුන් ළහිරු ප්‍රකාශ්

ඡායාරූප: ශෂිකළණ රත්වත්ත

Share post:

Popular

වෙනත් පුවත්

අපව නිදහස් කර ගැනීමට සහ “වහලුන් නිදහස් කර ගැනීමට”

දුෂ්කර දේ කිරීමට ඉගෙන ගන්න දුෂ්කර වුව අසීරු දේ කරන්නබිහිරන්...

රනිල්ලා එකතු වෙන්නේ ජනතාවට අමාරු නිසාලු!

ජාතික ජන බලවේගය හැර සියලු පක්ෂ පොදු රාමුවක් යටතේ...

2013න් පාඩම් ඉගෙන ගෙන අනොජන් වෙනුවෙන් වගවෙමු!

සෞදි අරාබියේ අධිකරණ ක්‍රියාවලියකට මුහුණ දී සිටින ශ්‍රී ලාංකික...

සරත් මුණසිංහ ආරචිචිගේ නව කෘති ද්විත්වයක්

ප්‍රවීණ සාහිත්‍යවේදී සරත් මුණසිංහ ආරචිචිගේ නව කෘති ද්විත්වයක් වන"...