ආණ්ඩුව EPF හා ETF යන පෞද්ගලික අංශ කම්කරුවන්ගේ විශ්‍රාම වැටුප් අරමුදල් දෙක එකාබද්ධ කිරීමේ මුවාවෙන් එම අරමුදල් කම්කරුවන්ට අහිමි කිරීමට අදාළ ක්‍රියාවලියක නිරතවන බව දුමින්ද නාගමුව පවසයි. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පවසා තිබේ.
දුමින්ද නාගමුව වැඩිදුරටත් පවසන්නේ,
” අපේ රටේ පෞදගලික අංශ සේවකයන්ගේ විශ්‍රාම වැටුප් අරමුදල් දෙක වන EPF සහ ETF අරමුදල් දෙක ඒකාබද්ධ කිරීම සඳහා වන යෝජනාවක් පසුගිය ජුනි 15 වෙනිදා කැබිනට් මණ්ඩලය විසින් සම්මත කළා. පිටින් බැලුවම නං පේන්නේ මේ යෝජනාව කම්කරුවන්ට ආදරේට ගෙනාපු යෝජනාවක් වගේ. හැබැයි මේ යෝජනාව ඇතුළේ තියෙන්නේ අපේ රටේ කම්කරුවන්ගේ විශ්‍රාම වැටුප තවදුරටත් මංකොල්ලකන මෙලෙච්ඡ අරමුණක්. අපි දන්නවා මීට කලින් රාජපක්ෂ ආණ්ඩුවත් උත්සහ කළා මේ විදිහටම සේවක අර්ථසාධක අරමුදල් කප්පාදු කරන්න. ඒ වෙලාවේ මේ රටේ කම්කරුවෝ ජීවිත පරිත්‍යාගයෙන් සඨන් කරලා තමයි ආණ්ඩුවේ ඒ තීරණය පැරද්දුවේ. ඒ සටන ඇතුළේ තමයි රොෂේන් චානකලා පවා ඝාතනය වුණේ. දැන් වර්තාමන ජාතික ජන බලවේග ආණ්ඩුවත් තමන්ගේ රතු සන්නාමය පෙන්නලා කම්කරුවන්ගේ ඇස් බැඳලා එදා රාජපක්ෂලාට කරගන්න බැරි වුණ වැඩේ කරන්න යනවා.
දැන් ආණ්ඩුව යෝජනා කරන්නේ EPF සහ ETF අරමුදල් දෙක එකාබද්ධ කරන්න. හැබැයි ඇත්තටම මේ අරමුදල් දෙක ව්‍යුහාත්මකව එකිනෙකට වෙනස් අරමුණු ඇතිව තමයි ස්ථාපිත කරලා තියෙන්නේ. ඒ නිසා මේ අරමුදල් දෙක ඒකාබද්ධ කිරීමෙන් වෙන්නේ ඒ අරමුදල් පිහිටුවීමේ අරමුණු ඒවගේ සැබෑ ප්‍රතිලාභ සේවකයින්ට අහිමි වෙන එක. අනිත් පැත්තෙන් ආණ්ඩුව යෝජනා කරනවා මේ අරමුදල් දෙක සඳහා ආණ්ඩුවයි, පෞදගලික අංශයේ සේවකයිනුයි හාම්පුත්තුයි ඒකාබද්ධ කරපු විශේෂ ව්‍යුහයකට පවරන්න. අපි අහන්නේ ඇයි ආණ්ඩුවට තකහනියෙම සේවකන්ගේ අරමුදල පාලනය කරන ව්‍යුහයකට හාමුපුත්තුන්ව සම්බන්ධ කරන්න අවශ්‍ය වෙලා තියෙන්නේ ? පැහැදිලිවම මේ හදන්නේ නරින්ට කුකුල් කොටුව බාර දෙන්න. මේ යෝජනාව සම්මත වුණොත් ධම්මික පෙරේරලාට ඉෂාර නානායක්කාරලාට ඕන ඕන විදිහට මේ අරමුදල කාබාසිනියා කරන්න ඉඩ ලැබෙනවා. ඒක තමයි මේ යෝජනාවේ යටි අරමුණ වෙන්නේ.
අපි දන්නවා EPF සහ ETF අරමුදල් හරහා මෙච්චර කාලයක් රජයට ණය දුන්නා. හැබැයි මේ අරමුදල් පාලනය කරන්න මේ රටේ ධනපතියෝ ටික සම්බන්ධ වුණාට පස්සේ වෙන්නේ ඒ ණය දීම සීමා කරන එක. ඊටපස්සෙ එතන ණය සඳහා ඇතිවන රික්තකය පුරවන්න එනවා මේ රටේ ජාවාරම්කාර මූල්‍ය සමාගම් ටික. අපි දන්නවා රජයට ණය දෙන ප්‍රධාන මූල්‍ය සමාගම් 11ක් තියනවා ඒවා අයිති අර කියන ධනපතියන්ට. ඒ නිසා මේ සූදානම් වෙන්නේ අර්ථසාධක අරමුදල විනාශ වෙන්න ඉඩ හරින ගමන් ඒකේ වාසිය මේ රටේ ධනපතියන්ගේ සාක්කුවට දාගන්න. ඊටපස්සෙ අන්ති පැත්තෙන් මේගොල්ලො උත්සහ කරනවා රජයට ණය දීම නවත්තලා ඒ සල්ලි කොටස් වෙළඳපොළ ඇතුළේ ආයෝජනය කරන්න. අපි දන්නවා මේ අරමුදල් දෙක ඇතුළේ හම්බන්තොට වරාය වගේ වරායවල් 10ක් හදන්න පුලුවන් තරම් වත්කම් ප්‍රමාණයක් තියනවා. මේ මුදල් කොටස් වෙළඳපොළට ගලාගෙන ගියොත් ඒවගේ කොටස් මිල ඉහළ යනවා. ඒකෙනුත් මඩිය තරවෙන්නේ ධනපතියන්ගේ. ඒ නිසා අපි මේ රටේ කම්කරුවන්ට කියනවා මේ කූට උපාය ගැන වහාම අවධානය යොමු කරන්න කියලා.
මොකද දැනටමත් මේ රටේ පෞදගලික අංශයේ සේවකයින්ගේ විශ්‍රාම අරමුදල් 37.4කින් හැකිලා ඉවරයි. IMF ණය කොන්දේසි අනුව පළමු ප්‍රහාරය දියත් වුණේ EPF සහ ETF අරමුදල්වලට. මේ අරමුදලක සේවකයෙක්ගේ ලක්ෂ 10ක අරමුදලක් තියෙන්න ඕන නම් ඇත්තටම තියෙන්නේ ලක්ෂ 6ක වගේ ප්‍රමාණයක්. තියෙන්න ඕන මුදල රුපියල් 370,000කින් විතර කප්පාදු වෙලා තියන්නේ. හැබැයි ඉස්සරහට මේ අරමුදලට ගෙවන පොලී ප්‍රතිශතය 9%ක් දක්වා අඩු වෙන්න නියමිතයි. ඒ කියන්නේ මේ අරමුදල් තවත් හැකිලීමට ලක් වෙනවා.
මේ රටේ කම්කරු ජනතාවගේ කරපිටින් ආව ආණ්ඩුවක් තමයි අද කම්කරුවන්ට පයින් ගහල මේ විදිහට ධනපතියගේ සාක්කු පුරවන්න යෝජනා අරගෙන එන්නේ. ඒ නිසා දැන් මේ රටේ කම්කරු බලවේගවලට වෘත්තීය සමිති ව්‍යාපාරවලට වගකීමක් තියනවා තමන් හිටගන්නේ කොතනද කියලා පෙන්නන්න. මේ රටේ පෞදගලීක අංශ සේවකයන්ව හූරගෙන කන ධනපතියන්ගේ සාක්කු පුරවන යෝජනාව ආණ්ඩුව වහාම හකුළා ගන්න ඕන. ඒ වගේම තමයි EPF සහ ETF අරමුදල් හැකීලීමට ලක් කරන IMF කොන්දේසිවලින් වහාම ආණ්ඩුව ඉවත් වෙන්න ඕන. එහෙම නොවුනොත් මේ රටේ කම්කරුවන් සියලුදෙනා ඒකරාශි කරගත් අඛණ්ඩ අරගලයකට යන්න අපි සූදානම් වෙලා ඉන්නවා. “






