ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) දත්ත පදනම් කරගනිමින් Visual Capitalist ආයතනය නිකුත් කළ ලෝක අවම වේතන සංසන්දනාත්මක වාර්තාවට අනුව, සමීක්ෂණයට ලක් කළ රටවල් 130 අතුරින් ශ්‍රී ලංකාව 120 වැනි ස්ථානයට පත්ව තිබෙනවා.
එක් එක් රටවල පවතින ජීවන වියදම සහ සේවකයන්ගේ මිලදී ගැනීමේ හැකියාව (Purchasing Power Parity – PPP) අනුව සකස් කරන ලද මෙම ශ්‍රේණිගත කිරීමට අනුව, ශ්‍රී ලංකාවේ මාසික අවම වේතනයේ මිලදී ගැනීමේ හැකියාව ඇමරිකානු ඩොලර් 200ක් ලෙසයි දක්වා ඇත්තේ.
මිලදී ගැනීමේ හැකියාව අනුව මාසිකව ඩොලර් 3,804ක අවම වේතනයක් හිමි ස්විට්සර්ලන්තය ලොව ප්‍රථම ස්ථානය හිමිකරගෙන තිබෙනවා.
පළමු රටවල් 10 අතරට ඇතුළත් වන අනෙකුත් රටවල් ලෙස, ජර්මනිය: ඩොලර් 2,928, එක්සත් රාජධානිය: ඩොලර් 2,902, නෙදර්ලන්තය: ඩොලර් 2,876, ඕස්ට්‍රේලියාව: ඩොලර් 2,819, බෙල්ජියම: ඩොලර් 2,752, අයිස්ලන්තය: ඩොලර් 2,730, නවසීලන්තය: ඩොලර් 2,673, ප්‍රංශය: ඩොලර් 2,465, අයර්ලන්තය: ඩොලර් 2,433 එම වාර්තාවට ඇතුළත්.
ආසියාවේ ඉහළම අවම වේතනය හිමි දකුණු කොරියාව (ඩොලර් 2,362) ලෝක මට්ටමින් 11 වැනි ස්ථානයටත්, ජපානය (ඩොලර් 1,839) 16 වැනි ස්ථානයටත් පත්ව තිබෙනවා.
දකුණු ආසියාතික රටවල් අතුරින් ශ්‍රී ලංකාව පහළින්ම පසුවන අතර, අසල්වැසි රටවල් රැසක් ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් පසුවෙනවා.
ඒ අනුව, පාකිස්ථානය: 68 වන ස්ථානය (ඩොලර් 570), නේපාලය: 78 වන ස්ථානය (ඩොලර් 490), බංග්ලාදේශය: 89 වන ස්ථානය (ඩොලර් 379), ඉන්දියාව: 111 වන ස්ථානය (ඩොලර් 233) ලෙසයි දැක්වෙන්නේ.
මෙම දර්ශකයේ ශ්‍රී ලංකාවට පහළින් සිටින්නේ නයිජර්, භූතානය, හයිටිය, ගිනියාව, මධ්‍යම අප්‍රිකානු ජනරජය, සියරා ලියොන්, ඝානාව, කිර්ගිස්ථානය, ගිනි-බිසව් සහ ගැම්බියාව (ඩොලර් 67) යන රටවල් 10 පමණි.
සෘජු ඇමරිකානු ඩොලර් ආදායම වෙනුවට පවත්නා දේශීය මිලදී ගැනීමේ හැකියාව මත මෙම අගයන් පරිවර්තනය කර ඇති අතර, බදු හෝ වෙනත් අමතර දීමනා මීට ඇතුළත් නොවන බව Visual Capitalist වාර්තාව වැඩිදුරටත් සඳහන් කරනවා.


