රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවයේ සියලු සේවකයින් හෙට දිනයේ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සමඟ එක්වන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව පවසයි.
එහි නියෝජිත ධම්මික මුණසිංහ පවසන්නේ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කඩාකප්පල් කිරීම සදහා රජය විවිධ උපක්‍රම ක්‍රියාත්මක කරමින් සිටින බවයි.
කොළඹ අද(29)පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ධම්මික මුණසිංහ මේ බව සඳහන් කර ඇත.
“දැන් මේ වෙනකොට මාතලේ දිස්ත්‍රික්කයේ, මාතලේ ප්‍රාදේශීය සභාවේ සභාපති ගහලා තියෙනවා නිවේදනයක් සියලුම සේවකයින් හෙට සේවයට වාර්තා කරන්න කියලා. අපි මේවා දැක්කේ පොහොට්ටු ආණ්ඩුව තියෙද්දි. අපි මේවා දැක්කේ අනුප්‍රාප්තික රනිල් ජනාධිපති වෙලයි. දැන් වෘත්තීය සමිති නායකයෝ යැයි කියාගන්න ආණ්ඩුවක් ඇතුළෙත් මෙහෙම තමයි හැසිරෙන්නේ. හෙට දාලා තියෙනවා අමාත්‍යාංශවල විශේෂ කාරක සභා රැස්වීම් කියලා තියෙනවා. ඒ නිසා සොරි, ඔය මොන දේ තිබුණත් හෙට දවසේ කවුරුවත් රාජ්‍ය සේවකයෝ සේවයට වාර්තා කරන්නේ නෑ. අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට යනවා. ඒ නිසා කිසිදු දෙගිඩියාවක් තියාගන්න එපා. ප්‍රොබේෂන් එකේ ඉන්න, ස්ථිර නැති මේ සියලුම සමස්ත රාජ්‍ය සේවකයා, පළාත් රාජ්‍ය සේවකයා වෙනුවෙන් මේ සමස්ත යුනියන්, වෘත්තීය සමිති අනිවාර්යයෙන් පෙනී සිටිනවා. ආණ්ඩුවට කියනවා හෙට දවස ඇතුළේ මේකට නිශ්චිත උත්තරයක් දෙන්නේ නැත්නම් දෙසැම්බර් 14 අයවැය අවසන් කරන්න වෙන්නේ දැවැන්ත විරෝධතාවක් එක්ක කියලා අපි ආණ්ඩුවට අවධාරණය කරනවා.”
ආණ්ඩුවට සම්බන්ධ මාධ්‍ය හරහා හෙට දිනයේ පැවැත්වෙන වෘත්තීය ක්‍රියාමාර්ගයට සම්බන්ධ නොවන වෘත්තීය සමිති මොනවාද යන්න ගැන විශාල ප්‍රචාරයක් ලබාදෙමින් සිටියි.




