ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින් ඉහළින්ම අගය කරනු ලබන අව්‍යාජ සහ සිනහමුසු පිළිගැනීමේ මුහුණුවර සහ රටේම පුරවැසියන් බියට පත් කරන දැඩි, සිනහවක් නැති මුහුණුවරයි.
තිළිණා වීරසිංහගේ ‘මරණය අසල නිසලව’ ග්‍රන්ථය එම අඳුරු පැතිකඩ නොසැලෙන අවංකභාවයකින් පිළිබිඹු කරයි. ‘මරණය අසල නිසලව’ යන්න ‘මරණය හමුවේ මරණීය නිසලතාව’ හෝ ‘මරණය අසල නොසැලී සිටීම’ ලෙස පරිවර්තනය කළ හැක. එහෙත්, මෙම පරිවර්තනයන්ගෙන් කිසිවක් මුල් කෘතියේ ඇති දැඩි හා ශෝකජනක ස්වභාවය නිසි ලෙස මතු කර දක්වයිදැයි මම නොදනිමි.

මේ ආකාරයේ ලිවීම් ජනප්‍රිය රුචිකත්වයට ගැළපෙන්නේ නැත. මිනිසුන්ට අවශ්‍ය වන්නේ අතීතය අමතක කර ඉදිරියට යාමටය. සමූහ ඝාතන ගැන සිතනවා වෙනුවට, සමාජ මාධ්‍ය හරහා දිනපතා වාර්තා වන බිහිසුණු අනතුරු ජනතාවට අතිශයින් විනෝදාස්වාදයක් ගෙන දෙන්නක් බවට පත්ව ඇත.
’මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි.
එය පාසල් දැඩි වියේ සිට මේ දක්වා දෝෂ සහිත සහ බිඳ වැටුණු පද්ධතියකට එරෙහිව දැඩි ලෙස විවේචනය කරන, පරිණත සහ සම්මුති විරහිත ක්‍රියාකාරිනියක දක්වා ලේඛිකාවක-ක්‍රියාකාරිනියකගේ ගමන පිළිබඳ වාර්තාවකි.
ඇය ස්ත්‍රීවාදිනියක ලෙස හැඳින්වීම සීමාකාරී වනු ඇත. ඇය පිරිමින් සමඟ කටයුතු කරන්නේ කෙසේදැයි දන්නා කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරිනියක ලෙස හැඳින්විය හැකිය.
මෙය ජනවාර්ගික කලබල, සිවිල් යුද්ධය, කැරලි සහ රුධිරයෙන් යටපත් කිරීම්වලින් පිරුණු දශක ගණනාවක් පුරා සිදු වූ අශුද්ධ වන්දනාකරුවෙකුගේ ගමන්මඟකි.
තිළිණාගේ දෘෂ්ටිකෝණය සාමාන්‍ය දේශපාලන ක්‍රියාකාරීත්වයෙන් වෙන් කර පෙන්වන්නේ බුද්ධිමය අවංකභාවය කෙරෙහි ඇය සතු නොසැලෙන කැපවීමයි. එහෙත්, පුද්ගලික පක්ෂපාතීත්වයන් සහ සබඳතාවලින් වර්ණවත් වූ, බොහෝ විට පක්ෂග්රාහී අදහස් රජයන ක්ෂේත්රයක එවැනි දෘෂ්ටිකෝණයක් සැමවිටම අගයනු නොලැබේ.
කාලය වෙනස් වන අතර, ඒ අනුව ප්‍රමුඛතා ද වෙනස් වේ. දැවැන්ත සමාජ-ආර්ථික කැලඹිලි මධ්‍යයේ වුවද, 1980 ගණන්වල සිට ශ්‍රී ලංකාව කලබල කළ දේශපාලන අරමුණු මත සිදුකළ පැහැරගැනීම්, අදෘශ්‍ය වීම්, මරණ කණ්ඩායම් සහ ‘සුදු වෑන්’ සංස්කෘතිය පසුගිය දශකය තුළ දක්නට ලැබී නැත.
රජයේ මරණ කණ්ඩායම් වෙනුවට මාෆියා ඝාතකයින් පත්ව ඇති අතර, එය සමාජ මාධ්‍ය විනෝදාස්වාදයේ නිමාව නොපෙනෙන මූලාශ්‍රයකි. සමූහ මිනී වළවල් කණිමින් පවතින නමුත් ජනතාවගේ අවධානය වෙනත් අතකට යොමු වී ඇත. සමූහ මිනී වළකට වඩා, තේජාන්විත ඇතා වන කාවන්තිස්සගේ ඝාතනය විශාල ප්‍රවෘත්තියක් වී තිබේ.
එය කාවන්තිස්සගේ හෝ ශ්‍රී ලංකාවේ වඳවී යන අලි ඇතුන්ට ආදරය කරන්නන්ගේ වරදක් නොවේ. අධිකරණයෙන් බාහිරව සිදුවන ඝාතනවලින් පුරවැසියන් ආරක්ෂා කිරීමට පොලිසියෙන් අපේක්ෂා කළ නොහැකිවාක් මෙන්ම, අලි ඇතුන් ආරක්ෂා කිරීමට වනජීවී දෙපාර්තමේන්තුවෙන් ද අපේක්ෂා කළ නොහැක.
කාවන්තිස්සගේ මරණයෙන් පසු වත්මන් අධ්යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ එය මනුෂ්‍ය-අලි ගැටුමේ සන්දර්භය තුළ බැලිය යුතු බවයි; එය නිලධාරීන්ගේ උදාසීන ආකල්පවලට කදිම සාක්ෂියකි. දිනකට වේල් තුනක් අනුභව කිරීමට පවා බොහෝ දෙනෙකුට අසීරු වී ඇති මෙම පසුබිමක, මෙය ජනතාවට මුල්තැන දෙන (වෙනත් ජීව ස්වරූපවලට දෙවන තැන දෙන) ආණ්ඩුවක් යැයි පැවසේ.
මේවා පරස්පර විරෝධතාය.
කතුවරිය වනජීවී අංශය මගහැරියද, ඇය වෙනත් පරස්පරතා ගැන දැඩි ලෙස අවධානය යොමු කර ඇත. සුනාමියක් බඳු ආර්ථික බිඳවැටීමකින් පසු, ජනතාවට නව ප්‍රමුඛතා සමඟ ඉදිරියට යාමට සිදුවී තිබේ.
රට ආර්ථික පුනර්ජීවනයක් සඳහා සංචාරක කර්මාන්තය මත යැපෙන අතර, අලි ඇතුන් යනු සංචාරක ආකර්ෂණයේ ප්රමුඛ අංගයකි. සංචාරකයින් (සාමාන්‍යයෙන්) පවසන්නේ එය කෙතරම් සුන්දර රටක්ද යන්නත්, ජනතාව කොතරම් අව්‍යාජ ලෙස මිත්‍රශීලීද යන්නත්ය. ප්‍රවර්ධනය කිරීමට හැමෝම කැමති සිනහමුසු මුහුණුවර, එනම් සුන්දර මුහුණුවර එයයි.
එහෙත් ‘මරණය අසල නිසලව’ යනු සිනහවක් නැති, අඳුරු පැතිකඩක වචනාර්ථයෙන් කළ චිත්රයකි.
තිළිණා වීරසිංහ යනු ඔබ එක්කෝ අගය කරන නැතහොත් ද්වේෂ කරන ආකාරයේ ලේඛිකාවකි. එහි මැද මාවතක් නැත. මෙම මානසික අවපීඩන කතාව දරාගත නොහැකි පුද්ගලයින්ට වඩාත් ප්‍රීතිමත් විස්තර වෙත යොමු විය හැකිය.
අදුරු සහිත පැත්ත යනු ප්‍රබන්ධයක් නොව සැබෑවකි. එහෙත් ශ්‍රී ලංකාවේ ප්රචාරක රූපය වන්නේ අඳුරු පැතිකඩ නොව, සුන්දර මුහුණුවරයි. දැන් බොහෝ දෙනෙකු අමතක කිරීමට උත්සාහ කරන දෙය එයයි.
ඇයගේ කතාව ආරම්භ වන්නේ ළමා කාලයේ මතකයන් දෙකකිනි .
ගම්වාසීන් පිරිසක් විසින් වෙනත් කෙනෙකුගේ වත්තකින් මඤ්ඤොක්කා සොරාගනිමින් සිටියදී අල්ලාගත් වැඩිහිටි යුවළකට, බියට පත් කාන්තාව තමාගේ ඇඳුම්වලම මළපහ කරන තෙක් පහර දුන් ආකාරයයි.
ජනප්‍රිය මතයට එරෙහිව
මෙය ‘ගාමි සුන්දරත්වය’
(ගමේ නිස්කලංක සහ සුන්දර ස්වභාවය) පිළිබඳ ජනප්‍රිය, ස්ථාපිත ආඛ්‍යානයට සෘජුවම පටහැනි වේ. එම ආඛ්‍යානය අසත්‍ය නොවේ.
එහෙත් කුසගින්නෙන් පෙළුණු පුද්ගලයන් දෙදෙනෙකුට එරෙහිව ක්‍රියාත්මක වූ දැඩි ග්‍රාමීය සංස්කෘතික සදාචාරාත්මක යුක්තිය පිළිබඳ තිළිණාගේ ළමා කාලයේ මතුවන අඳුරු ආඛ්‍යාන වැනි අනෙකුත් අඳුරු කථා යටපත් කිරීමට එය භාවිත කර ඇත.
ඇයගේ අනෙක් ළමා කාලයේ මතකය වන්නේ, 1971 අප්‍රේල් මස පළමු ජවිපෙ කැරැල්ල මැඩපැවැත්වීම සඳහා යවන ලද හමුදා කණ්ඩායමක සාමාජිකයින් පිරිසක් විසින් දකුණු පළාතේ කතරගම ප්‍රදේශයේ 22 හැවිරිදි රූ රැජිනක වූ ප්‍රේමාවතී මනම්පේරි බලහත්කාරී සංසර්ගයට ගොදුරු කර, සමාජය ඉදිරියේ නිරුවත් කර නින්දාවට ලක් කරමින් මරා දැමීමේ කතාවයි.
ප්‍රේමවතීගේ නඩුවේදී, මානව හිමිකම් පිළිබඳ ජනතාවට එතරම් පැහැදිලි අවබෝධයක් නොතිබූ කාලයක, චෝදනා ලැබූවන් අත්අඩංගුවට ගෙන, නඩු පවරා දඬුවම් ලබා දෙන ලදී. එහෙත්, තිළිණාගේ මෙම බිහිසුණු ආඛ්‍යානය පෙන්වා දෙන පරිදි, එවැනි ලිංගික අපයෝජන එතැනින් නතර වූයේ නැත.
1996 දී යාපනයේ උතුරු හමුදා මුරපොළකදී දෙමළ පාසල් සිසුවියක වූ ක්‍රිෂාන්ති කුමාරස්වාමි ලිංගික වධ හිංසනයට ලක් කර මරා දැමීමේ සිද්ධියට ගොදුරු වූවාය.
මෙම කෘතිය කියවීමේ රුචිය වඩවන අමතක වූ සංඛ්‍යා ලේඛන හා සිදුවීම් ඉස්මතු කරයි.
1977 දී ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ලෙස තේරී පත්වන විට, ජනගහනයෙන් 25% ක් පමණ දැඩි දරිද්‍රතා මට්ටමක පසුවූ අතර, ඔවුන්ගේ සාමාන්‍ය මාසික ආදායම රුපියල් 50 කටත් අඩු විය. ඔහු විශාල බහුතරයකින් සහ ඉහළ බලාපොරොත්තු ඇතිව තේරී පත්විය.
එහෙත් ඔහුගේ ලිබරල් ආර්ථිකය දැඩි පොහොසත්-දිළිඳු පරතරයක් නිර්මාණය කළ අතර, දහස් සංඛ්‍යාත පිරිසකට සූරාකෑම්වලට සහ අපයෝජනවලට මුහුණ දෙමින් මැදපෙරදිග පහත් රැකියා වෙත යාමට බල කෙරුනි.
ජනවාර්ගික ද්වේෂය පිළිබඳ කතුවරියට ඇති ප්‍රථම මතකය ඇයට වයස අවුරුදු දහයක් වන විට පැනනැගුණි. ඇය සහ ඇගේ මව්පියන් ඇගේ පියාගේ මිතුරෙකු විසින් පදවන ලද මෝටර් රථයක ගමන් කරමින් සිටියදී, දෙමළ ජාතිකයින් සොයා පහර දීමට සැරසුණු සන්නද්ධ මැරයන් පිරිසක් දෙමටගොඩ දුම්රිය ස්ථානය අසලදී ඔවුන් නවත්වන ලදී.
පසු කලෙකදී
විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමට සූදානම් වන තරුණියක ලෙස ඇය සිටි බස් රථයට මැරයන් ගොඩවී දෙමළ ජාතිකයින් සෙවූ අවස්ථාවේදීද ඇයට යළිත් එම බිහිසුණු අත්දැකීමට මුහුණ දීමට සිදු විය.
වර්ගවාදය යනු ලූහුබැඳීම්, ගිනිතැබීම් සහ මිනීමැරුම් පමණක්ම නොවේ. මඩකලපුවෙන් පැමිණෙමින් සිටියදී දෙමළ මිතුරියක සහ ඇගේ දියණිය සමඟ බස් රථයට ගොඩ වූ කාන්තා සොල්දාදුවෙකු, කුඩා දරුවා සෙල්ලම් කරමින් සිටි මොනර පිහාටුව අපයෝජනාත්මක ලෙස විසි කර දැමූ ආකාරය කතුවරිය සිහිපත් කරයි.
1980 ජූලි මාසයේදී, රු.300ක මාසික වැටුප් වැඩිවීමක ඉල්ලීමක් මුල් කර ගනිමින් වෘත්තීය සමිති විසිපහක් විසින් ආරම්භ කරන ලද වැඩ වර්ජනයක් රජය විසින් තදින්ම මර්දනය කරන ලදී. එහිදී සේවකයින් 40,000 කට රැකියා අහිමි විය.
ඇය මාධ්‍යකරණයට සම්බන්ධ වීමේදී ප්රමුඛ සිංහල පුවත්පත් කර්තෘවරයෙකු මෙවැනි අදහසක් ඇයට ප්‍රකාශ කළේය
“වෙන දෙයකට කලින් ඔබේ ජීවිතය බේරා ගන්න බලාගන්න.”
අවදානම් සහගත මාධ්‍යවේදය
සහජයෙන්ම අවදානම් භාරගන්නා තිළිණා බොහෝ විට මෙම උපදෙස නොසලකා හැරියාය. අතුරුදහන් වූ දරුවන් වෙනුවෙන් වැළපෙන මව්වරුන් ගැන ඇය ලිපියක් ලියූ විට වාරණයන් එය අවහිර කළේය. එම ලිපිය පළ වීමෙන් පසු, ‘වනිතා විත්ති’ කාන්තා මාසික පුවත්පතේ කතුවරරියට ටයිප් කරන ලද, අත්සනක් නොමැති සටහනක් ලැබුණු අතර, එයින් තිළිණාට අනතුරු අඟවා තිබුණේ මෙලෙසිනි:
“ටයර්වල දමා පුළුස්සා දැමිය යුත්තේ ඔබ වැනි අයයි.”
ඇයට මුහුණ දීමට සිදු වූයේ නිල රාජ්‍ය වාරණයට පමණක් නොවේ.
ප්‍රධාන ප්‍රකාශකයින් සහ සමහර පොත් අලෙවිකරුවන් පවා ඇයගේ ප්‍රබන්ධ සහ ප්‍රබන්ධ නොවන කෘති ‘අනාචාරශීලී ලිවීම්’ ලෙස හංවඩු ගසමින් ප්‍රවර්ධනය කිරීම ප්‍රතික්ෂේප කළහ. එක් ප්‍රකාශකයෙක් ඇයට උපහාසාත්මක ලෙස ඇයට පියෙක් සිටීදැයි විමසීය.
1989 අඳුරු ‘භීෂණ’ යුගයේ එක් සන්ධ්‍යාවක ඇයට ප්රමුඛ පෙළේ ඡායාරූප ශිල්පියෙකුගෙන් පාර්සලයක් ලැබුණි. එහි ඔහු විසින් වීදිවල තිබී ගන්නා ලද මළ සිරුරු වල ඡායාරූප අඩංගු විය. හමුදාව ඔහුගේ අසල්වැසි ප්‍රදේශය පරීක්ෂා කරමින් සිටීමෙන් බියට පත් වූ ඔහු, ඇගේ ජීවිතය අනතුරේ හෙළමින් එම ඡායාරූප ඇය වෙත එවා තිබුණි.
පසු කලෙක ඔහු එංගලන්තයට පලා ගියේය.
මෙම ග්‍රන්ථය පුද්ගලික පාවාදීම්වල වාර්තාවක් නොවේ. එය දැඩි නීති සහ දරිද්‍රතාවය ඇති කරන ආර්ථිකයන් හරහා බලය රඳවා ගන්නා පාලකයින් විසින් මහජනතාව පාවා දීම පිළිබඳ විශාල චිත්රයකි. එහෙත්, තම අත්තනෝමතික නීති සහචරයින් මත පැටවීමට උත්සාහ කරන සැමවිටම තිළිණාගේ විවේචනාත්මක හඬ එකසේ දැඩි වේ .
උදාහරණයක් ලෙස, විශ්වවිද්‍යාල නවක වදය සහ ලිංගිකව හැසිරෙමින් සිටි සිසුන් යුවළක් අල්ලා ඔවුන්ගේ ඇඟට මිනිස් මළපහ වත් කර දඬුවම් කළ වධකයින් කණ්ඩායමක් ඇය දැඩි ලෙස හෙළා දැකීම දැක්විය හැකිය.
දේශපාලන ස්වරූපයට මෙන්ම ලිංගික මර්දනයට සහ කුහකත්වයට එරෙහිවද ඇය එකසේ විවේචනාත්මක වේ.
යාපනයේදී ඇය ඇගේ ලේඛනයට ප්‍රිය කරන සොල්දාදුවෙකු රහසිගතව මුණගැසෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස මතුවන්නේ, සිවිල් යුද්ධ සමයේදී, විශේෂයෙන්ම අවසන් දශක දෙක තුළ ශ්‍රී ලංකිකයින් පුරුදු පුහුණු කරනු ලැබූ ගල් ගැසුණු ‘රණවිරු’ සංකල්පයට සෘජුවම පටහැනි හැඟීම් සමුදායකි.
මෙය බියගුලු හෝ සංවේදී අයට කියවිය හැකි ග්රන්ථයක් නොවේ. එය බොහෝ දෙනෙකුට දැන් අමතක කිරීමට අවශ්‍ය වී ඇති අඳුරු පැතිකඩක් හෙළි කරයි.
ගාමිණී අක්මීමන
2026.10.24 දින ‘ඩේලි මිරර්’ (Daily Mirror) පුවත්පතේ පළ වූ, තිළිණා වීරසිංහගේ නවතම ග්‍රන්ථය “මරණය අසල නිසලව” ග්‍රන්ථය පිළිබඳ ගාමිණී අක්මීමන විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය.




