Breaking News

බිලියන ගණනින් නොගෙවූ සුරාබදු තවමත් අයකරගෙන නැහැ

මෙරට මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් රජයට ගෙවිය යුතු බදු පැහැර හැර වසර ගණනක් ගතව තිබියදීත් තවමත් එය අයකර ගැනීමට නොහැකි වී තිබේ.

සමාජ ක්‍රියාකාරිකයෙකු වන සංජය මහවත්ත විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය කර ඇති අතර අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනී වික්‍රමසිංහ සහ සම්පත් විජේරත්න යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාගයට ගෙන ඇත.

මෙම නඩුකරය ආරම්භ කිරීමෙන් පසුව පවා ඇතැම් සමාගම්වල හිඟ බදු මුදල් ප්‍රමාණය අඩුවනවා වෙනුවට ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දී ඇත.

විශේෂයෙන් ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම සම්බන්ධයෙන් ඔහු ඉදිරිපත් කළ දත්ත අනුව, 2020 වසරේ එම සමාගම නොගෙවා ඇති බදු මුදල රුපියල් බිලියන 1.29 ක් වන අතර 2024 වසරේ හිඟ බදු මුදල රුපියල් බිලියන 1.6 දක්වා වැඩි වී ඇත.

“මෙම සමාගම්වලට සැබෑ ලෙසම බදු ගෙවීමේ වුවමනාවක් තිබුණේ නම්, නඩු විභාග වෙමින් පවතින අතරතුර මෙලෙස බදු මුදල් ඉහළ යාමට ඉඩක් නැහැ,” යනුවෙන් ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රසික් සරුක් සඳහන් කර ඇත්තේ, සිය සේවාදායකයාගේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය මේ වන විටත් අත්හිටුවා ඇති බවයි. එසේම, එම සමාගමට අයත් සියලුම බැංකු ගිණුම් සහ දේපළ තහනමට ලක් කර ඇති බවද ඔහු අධිකරණයට පෙන්වා දී ඇත.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ අධිකරණයට ප්‍රකාශ කළේ, හිඟ බදු අයකර ගැනීම සඳහා ගෙන ඇති සියලු ක්‍රියාමාර්ග ඇතුළත් දිවුරුම් ප්‍රකාශයක් දැනටමත් ඉදිරිපත් කර ඇති බවයි.

බදු පැහැර හැර ඇති සමාගම්වල නිෂ්පාදන බලපත්‍ර අත්හිටුවීමට අමතරව, හිඟ මුදල් අයකර ගැනීමට ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, මෙම පෙත්සම නැවත මාර්තු මස 05 වන දා කැඳවීමට නියම කරන ලද අතර එදිනට බදු අයකර ගැනීමේ ප්‍රගතිය පිළිබඳව අධිකරණය දැනුවත් කරන ලෙස සියලු පාර්ශවකරුවන්ට නියෝග කර ඇත.

leave a reply