ළමා සුරක්ෂාව අවදානමක – මුල් මාස 9ට දරුවන් සම්බන්ධ පැමිණිලි 9,613ක්

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ (NCPA) වාර්තාවක් හරහා රට පුරා දරුවන් මුහුණ දෙමින් සිටින බරපතල තත්ත්වය ගැන අනාවරණයක් සිදුකර තිබේ. මෙම තත්ත්වය වාර්තා වෙන්නේ මෙවරත් අයවැය හරහා ළමා සුරක්ෂාව සම්බන්ධයෙන් අඩු සැළකිල්ලක් යොමුවී ඇති තත්ත්වයකදයි.

ශ්‍රී ලංකාව තුළ මාස නවයක් වැනි කෙටි කාලයක් තුළ ළමා අපචාර සහ ළමයින්ට අදාළ වෙනත් ගැටලු සම්බන්ධයෙන් පැමිණිලි 9,600කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය (NCPA) වෙත මෙම වසරේ ජනවාරි 1 වැනිදා සිට සැප්තැම්බර් 30 වැනිදා දක්වා කාලය තුළ පැමිණිලි 9,613ක් ලැබී ඇති අතර, ඒ අතරට නව යොවුන් වියේ පසුවන දැරියන් ගැබ් ගැනීම් 51ක්, ළමා ලිංගික බලහත්කාරීත්වයන් සිද්ධීන් 169ක් සහ බරපතල ලිංගික අපයෝජන සිද්ධීන් 114ක් ඇතුළත් වේ.

මෙම සිදුවීම් අතරට ලිංගික හිරිහැර කිරීම් පිළිබඳ පැමිණිලි 364ක් සහ නිරුවත් ඡායාරූප යොදා ගනිමින් තර්ජනය කිරීම් ඇතුළත් අන්තර්ජාලය හරහා සිදුවන හිරිහැර කිරීම් (cyberbullying) පිළිබඳ සිද්ධීන් 196ක් ද ඇතුළත් වන අතර, මෙය නිවසේදී මෙන්ම අන්තර්ජාලය තුළදී ද දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ බරපතල ගැටලු මතු කරයි.

මේ අතර, මෙම කාලසීමාව තුළ ළමා විවාහ 9ක් වාර්තා වී ඇති අතර, දරුවන්ට එරෙහිව සිදු වූ කෲර ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 1,889ක් ද, රැකවරණය සහ ආරක්ෂාව අවශ්‍ය දරුවන් සම්බන්ධයෙන් පැමිණිලි 2,387ක් ද වාර්තා වී තිබේ.

වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් සුරැකීමේ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව ප්‍රකාශ කළේ, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන මගින් හෙළිදරව් වී ඇත්තේ කඩිනම් ජාතික මැදිහත්වීමක් අවශ්‍ය වන ඉතා බරපතල තත්ත්වයක් බවයි.

කොළඹ, ගම්පහ, කුරුණෑගල, රත්නපුර, අනුරාධපුර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල ළමා අපචාර සිද්ධීන් සාපේක්ෂව ඉහළ මට්ටමක පවතින බව වාර්තා වේ.

මෙම සංඛ්‍යාලේඛනවලින් පෙනී යන්නේ ළමා අපචාර යනු හුදෙක් ලිංගික අපරාධවලට පමණක් සීමා වූවක් නොවන බවයි. ඊට අමතරව, ළමා ශ්‍රමය යොදා ගැනීම් පිළිබඳ පැමිණිලි 153ක් සහ අනිවාර්ය අධ්‍යාපනයට අදාළ පැමිණිලි 1,592ක් ද මීට අමතරව, දෙමාපියන්ගේ හෝ භාරකරුවන්ගේ නීත්‍යානුකූල භාරකාරත්වයෙන් දරුවන් පැහැරගෙන යාම සම්බන්ධ පැමිණිලි 146ක්, මිනිස් ජාවාරම පිළිබඳ පැමිණිලි 40ක් සහ අසභ්‍ය ප්‍රකාශන සම්බන්ධ පැමිණිලි 103ක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය (NCPA) වෙත ලැබී ඇත.

‘වෙනත්’ (miscellaneous) කාණ්ඩය යටතේ ඇති සංඛ්‍යාලේඛන ද සමානව කනස්සල්ලට කරුණක් වන තත්ත්වයක් පෙන්නුම් කරයි. ඊට උපදේශන සහ මනෝ-සමාජීය සහාය සඳහා ඉල්ලීම් 719ක්, මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ පැමිණිලි 99ක්, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබඳ පැමිණිලි 46ක් සහ සියදිවි නසා ගැනීමට තැත් කිරීමේ සිද්ධීන් 19ක් ඇතුළත් වේ.

2024 වසරේදී නව යොවුන් වියේ ගැබ්ගැනීම් 53ක්, ලිංගික ප්‍රහාර (sexual assault) සිද්ධීන් 500ක්, දරුවන්ගේ ගබ්සා කිරීම් සිද්ධීන් 3ක්, ළමා ලිංගික බලහත්කාර සිද්ධීන් 42ක් සහ ළමා ලිංගික අපයෝජන සිද්ධීන් 321ක් වාර්තා වී ඇත.

2025 වසරේදී, වෙනත් සිදුවීම්වලට අමතරව, නව යොවුන් වියේ ගැබ්ගැනීම් 46ක්, ලිංගික ප්‍රහාර සිද්ධීන් 545ක් සහ ළමා ලිංගික අපයෝජන සිද්ධීන් 98ක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් වාර්තා කර ඇත.

මෙම වසරේ වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ සැප්තැම්බර් මාසයේදී වන අතර, එම සංඛ්‍යාව 1,554කි. ඉන්පසුව ජූලි මාසයේදී 1,375ක් සහ ජූනි මාසයේදී 1,239ක් ලෙස පැමිණිලි වාර්තා වී ඇත.

දිස්ත්‍රික්ක අනුව ගත් කල, වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි (991ක්). ඉන්පසුව ගම්පහ දිස්ත්‍රික්කයෙන් 821ක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 623ක් ලෙස වාර්තා වී ඇත.

කෙසේ වෙතත්, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සංඛ්‍යාලේඛනවල යම් විෂමතාවක් දක්නට ලැබේ. සමස්ත පැමිණිලි වගුවේ පැමිණිලි 9,613ක් සටහන් වී තිබුණද, දිස්ත්‍රික්ක අනුව සකස් කළ වගුවේ දැක්වෙන්නේ මුළු පැමිණිලි 7,867ක් පමණි. ‘ළමා අපයෝජන සහ ඒ ආශ්‍රිත වැරදි’ යන ප්‍රධාන කාණ්ඩය යටතේ පමණක් පැමිණිලි 7,622ක් වාර්තා වී ඇත.

එක් පැමිණිල්ලකට වරදවල් එකකට වඩා ඇතුළත් විය හැකි බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසා ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

ට්‍රම්ප් නව තීරු බදු ලැයිස්තුවක් එළිදක්වයි

ලබන වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි චීනය, යුරෝපා සංගමය...

චෙම්මනි සමූහ මිනීවළ – අතුරුදන් වූවන්ගේ ඥාතීන් DNA පරීක්ෂනයක් ඉල්ලයි

චෙම්මනි සමූහ මිනීවළ සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ...

ගෝඨාභයට රටින් පිටව යන්නට බැරි බව තවදුරටත් තහවුරුයි 

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදෙස්ගත...

යාල පරිවාරක කලාපයේ වනජීවී ජාවාරමේ නිරත වූ විදේශිකයන් දෙදෙනෙකු කොටුකළ මෙහෙයුම

ශ්‍රී ලංකාව ලෝකයේ ජෛව විවිධත්ව උණුසුම් කේන්ද්‍රවලින් එකක් ලෙස...