චෙම්මනි සමූහ මිනීවළ සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතුරු වාර්තාව සම්බන්ධයෙන් විරෝධයක් එල්ල වෙමින් තිබේ.
2026 නොවැම්බර් 19 වැනි බ්‍රහස්පතින්දා යාපනය මහේස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් ඉදිරියේ අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී අතුරුදහන් වූවන්ගේ ඥාතීන් පිරිසක් විසින් මෙම විරෝධතා මතු කර තිබේ.
ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මණ්ඩලය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දී ඇත්තේ, මුලින් ඉදිරිපත් කළ වාර්තා සහ අවසන් වරට ඉදිරිපත් කළ අතුරු වාර්තාව අතර විවිධ පරස්පරතා පවතින බවයි.
ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන්, ජ්‍යෙෂ්ඨ නීතිඥ කේ. එස්. රත්නවේල් සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ කේ. ගුරුබරන් ඇතුළු නීතිඥවරුන් 20 දෙනෙකු පමණ අතුරුදන් වූවන් වෙනුවෙන් මෙම නඩු විභාගයට පෙනී සිටි බව වාර්තා වේ.
මහාචාර්ය රාජ් සෝමදේව අවසන් වරට ඉදිරිපත් කළ අතුරු වාර්තාව පමණක් පදනම් කරගෙන තීන්දු ප්‍රකාශයට පත් නොකරන ලෙසත්, ඒ සඳහා අනෙකුත් පාර්ශ්වයන්ගේ වාර්තා ද සැලකිල්ලට ගත යුතු බවත් අතුරුදන් වූවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා ඇත.
සමූහ මිනීවළ තුළින් හමු වූ අස්ථි කොටස් වසංගතයකින් මියගිය පිරිසකගේ බවට පළ වන මතයන් පිළිගැනීමට අපහසු බවත්, එම අස්ථි කොටස් සම්බන්ධයෙන් ජාන පරීක්ෂණයක් (DNA) සිදු කළ යුතු බවත් අතුරුදන් වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥයෝ අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා ඇත.
මහාචාර්ය සෝමදේවගේ වාර්තා තුළ සමූහ මිනීවළ සම්බන්ධයෙන් ස්ථිර නිගමනයක් ඉදිරිපත් වී නොමැති බව පෙන්වා දුන් නීතිඥවරු, යාපනය දිස්ත්‍රික්කයේ පුද්ගලයින් රැසක් අතුරුදන් වීම සම්බන්ධයෙන් මේ වන විටත් නඩු 54ක් ගොනු වී ඇති බව ද අධිකරණයට සිහිපත් කර ඇත.
චෙම්මනි සමූහ මිනීවළ සම්බන්ධයෙන් වන මීළඟ නඩු විභාගය 2026 දෙසැම්බර් 14 වැනිදා යළි කැඳවීමට නියමිතය.




