Breaking News

අනතුරකින් පස්සේ කම්කරු දෙපාර්තමේන්තුවට සේවක සුරක්ෂිතාවය ගැන මතක් වෙලා

හෝමාගම කටුවාන කර්මාන්තපුරයේ පිහිටි කර්මාන්තශාලාවක ඊයේ (21) පෙරවරුවේ ඇති වූ මාරාන්තික ගින්න සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකර හැකි ඉක්මනින් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ කම්කරු දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇතැයි වාර්තා වේ.

මෙම අනතුරෙන් සේවකයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් කිහිපදෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් පවත්වන විමර්ශනවලදී පහත කරුණු කෙරෙහි පුළුල් ලෙස අවධානය යොමු කරන ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙනවා.

විමර්ශනවලදී ගින්න හටගැනීමට හේතු වූ කරුණු, කර්මාන්තශාලාවේ ගිනි ආරක්ෂණ පද්ධති නිසි පරිදි ක්‍රියාත්මක වූයේද, සේවකයින් සඳහා අවශ්‍ය ආරක්ෂක පහසුකම් සහ හදිසි අවස්ථාවක ඉවත් වීමේ ක්‍රමවේද සකස් කර තිබුණේද යන්න පිළිබඳව .

එමෙන්ම කර්මාන්තශාලා ආඥා පනත සහ වෘත්තීය සුරක්ෂිතතාවට අදාළ නීතිරීතිවලට අනුකූලව ආයතනය කටයුතු කර තිබුණේද, කිසියම් නොසැලකිල්ලක් හෝ නීති උල්ලංඝනයක් සිදුව තිබේද යන්න සොයා බලන ලෙසද කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්දට දැනුම් දී ඇති බව සඳහන් වේ.

මීට අමතරව දිවයින පුරා අවදානම් සහිත කර්මාන්ත හා සේවා ස්ථානවල වෘත්තීය සුරක්ෂිතතා සහ සේවක ආරක්ෂණ ක්‍රමවේද පිළිබඳ විශේෂ පරීක්ෂාවක් සිදු කරන ලෙසද කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

ලංකාවේ කර්මාන්තශාලාවල සේවකයන්ගේ ආරක්ෂාව සහතික කර තිබේද යන්න නිරන්තරයෙන් සොයා බැලීම කම්කරු දෙපාර්තමේන්තුව සතු වගකීමකි. නමුත් එය නිසි පරිදි සිදුනොවන බවට කටුවන අනතුර සඳහන් කළ හැක. අනතුරක් සිදුවීමෙන් පසු ඒගැන මැදිහත්වීමට පෙර එම අනතුරු වළක්වා ගැනීම කෙරෙහි පාලකයන් කටයුතු කරනු ඇත්තේ කවදාද?
කම්කරු නවීන ලෝකයට ගැලපෙන පරිදි වෙනස්කරන බව කියන ජාතික ජන බලවේගය ආණ්ඩුවට සේවක සුරක්ෂිතතාවය වැදගත් වී නැද්ද?

leave a reply