ත්රස්තවාදය වැළැක්වීමේ නව කෙටුම්පත හමුවේ ශ්රී ලංකාවේ ජනමාධ්ය නිදහස රාජ්ය රහස්, හමුදා ක්රියාකාරකම්, තොරතුරු මූලාශ්ර, ගවේෂණාත්මක වාර්තාකරණය සහ සමාජ මාධ්ය භාවිතය පිළිබඳ නව නීතියෙන් මතුවන අවදානම.
රටක ජනමාධ්යවේදියා යනු පුවත් වාර්තාකරුවෙකු පමණක් නොවේ. ඔහු හෝ ඇය සමාජයේ සිදුවන අසාධාරණකම් හෙළි කරන, රාජ්ය බලය ප්රශ්න කරන, ජනතාවට තොරතුරු ලබාදෙන සහ ප්රජාතන්ත්රවාදයේ පැවැත්මට දායක වන පුද්ගලයෙකි. විශේෂයෙන්ම ශ්රී ලංකාව වැනි රටක ජනමාධ්යවේදීන්ට දේශපාලන බලපෑම්, තර්ජන, නඩු පැවරීම් සහ තොරතුරු ලබාගැනීමේ බාධා පිළිබඳ බොහෝ නරක අත්දැකීම් තිබේ. එවැනි පසුබිමක ත්රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට හඳුන්වාදීමට යෝජිත 2026 නව PSTA කෙටුම්පතේ ඇතැම් වගන්ති ජනමාධ්යවේදීන්ගේ වෘත්තීය නිදහස සම්බන්ධයෙන් අලුත් ප්රශ්න මතු කරයි.
මෙහි වැදගත්ම කරුණ වන්නේ නව කෙටුම්පත තුළ ජනමාධ්යකරණය සඳහා ඇතැම් ආරක්ෂණ හඳුන්වා දී තිබුණද, වෙනත් වගන්ති හරහා එම ආරක්ෂණවලින් ඔබ්බට යන බලතලද යෝජනා කර තිබීමයි.

- හමුදා සහ පොලිස් ක්රියාකාරකම් වාර්තා කිරීමේ අවදානම
මෙය ජනමාධ්යවේදීන්ට බලපෑ හැකි බරපතළම කරුණකි.නව කෙටුම්පතේ 74 වැනි වගන්තියෙන් ‘Confidential Information’ හෙවත් රහස්ය තොරතුරු යන්න අර්ථ දක්වා තිබේ.
එහි පොලිසියේ හෝ සන්නද්ධ හමුදාවල නිල කටයුතු සිදුකිරීම සම්බන්ධ තොරතුරුද ඇතුළත් වේ.
මෙහි ගැටලුව වන්නේ එම තොරතුරු රහස්ය විය යුතු බවට හෝ ඒවා ප්රසිද්ධ කිරීමෙන් සැබෑ හානියක් සිදුවිය හැකි බවට සෑම අවස්ථාවකදීම පැහැදිලි සීමාවක් පනවා නොතිබීමයි.උදාහරණයක් ලෙස,පොලිස් වැටලීමක් වීඩියෝගත කිරීම.හමුදා මුරපොළක ක්රියාකාරකම් වාර්තා කිරීම.අත්අඩංගුවට ගැනීමක් ඡායාරූපගත කිරීම.පොලිස් සෝදිසි මෙහෙයුමක් පිළිබඳ සමාජ මාධ්ය සටහනක් පළ කිරීම.ජනතාවට බලපාන ආරක්ෂක මෙහෙයුමක් පිළිබඳ තොරතුරු හෙළි කිරීම.වැනි සාමාන්ය මාධ්ය කටයුතු පවා ඇතැම් තත්ත්වයන් යටතේ නීතිමය ගැටලුවකට හේතු විය හැකි බව OHCHR පෙන්වා දී තිබේ.
මෙය හුදෙක් මාධ්ය සංවිධානයක මතයක් නොවේ. 2026 ඔක්තෝබර් 13 දිනැති සිය නිරීක්ෂණවලින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලයද මෙම අවදානම විශේෂයෙන් පෙන්වා දී ඇත.
- මාධ්යවේදියාගේ තොරතුරු මූලාශ්ර හෙළි කිරීමට බලපෑම් ඇතිවිය හැකිද?
ගවේෂණාත්මක ජනමාධ්යකරණයේ මූලිකම අංගයක් වන්නේ තොරතුරු මූලාශ්ර ආරක්ෂා කිරීමයි. රාජ්ය ආයතනයක දූෂණයක් හෙළි කරන නිලධාරියෙකු, වන විනාශයක් පිළිබඳ තොරතුරු ලබාදෙන රාජ්ය සේවකයෙකු හෝ නීති විරෝධී ක්රියාවක් පිළිබඳ සාක්ෂි ලබාදෙන පුද්ගලයෙකු බොහෝවිට මාධ්යවේදියා සමඟ රහසිගතව සම්බන්ධ වේ.එවැනි පුද්ගලයන්ගේ අනන්යතාව හෙළි වුවහොත් ඔවුන්ට රැකියා අහිමිවීමේ සිට ජීවිත තර්ජන දක්වා අවදානම් ඇතිවිය හැකිය.
නව කෙටුම්පතේ 15 වැනි වගන්තියෙන් ඇතැම් ත්රස්තවාදී වැරදි සම්බන්ධයෙන් තොරතුරු දැන සිටින පුද්ගලයන් ඒවා බලධාරීන්ට දැනුම්දිය යුතු බවට වගකීමක් පනවයි. එය නොකිරීම වරදක් විය හැකි අතර වසර හතක් දක්වා සිරදඬුවමකටද යටත් විය හැකිය.
මෙහිදී මතුවන ප්රශ්නය වන්නේ ජනමාධ්යවේදියෙකුට තම තොරතුරු මූලාශ්රයේ අනන්යතාව රහසිගතව තබාගැනීමට ප්රමාණවත් නීතිමය ආරක්ෂාවක් තිබේද යන්නයි. කෙටුම්පතේ වෘත්තීය රහස්යභාවය සම්බන්ධ යම් ව්යතිරේක තිබුණද, මාධ්යවේදියා සහ ඔහුගේ තොරතුරු මූලාශ්ර අතර සම්බන්ධතාව එම ආරක්ෂාවට නිසැකවම ඇතුළත් වන බව පැහැදිලි කර නැත.එම නිසා තොරතුරු ලබාදෙන පුද්ගලයා පමණක් නොව තොරතුරු ලබාගන්නා මාධ්යවේදියාද නීතිමය පීඩනයකට මුහුණදීමේ අවදානමක් පවතී.
- සමාජ මාධ්ය වාර්තාකරණය සහ දේශපාලන විවේචන
අද ජනමාධ්යකරණය පුවත්පතකට හෝ රූපවාහිනියකට පමණක් සීමා නොවේ.
Facebook, YouTube, TikTok, WhatsApp වැනි මාධ්ය හරහාද පුරවැසියන් තොරතුරු හුවමාරු කරගනිති.නව කෙටුම්පතේ 9 සහ 10 වැනි වගන්තිවල ත්රස්තවාදයට පොළඹවන ප්රකාශ සහ ත්රස්තවාදී ප්රකාශන බෙදාහැරීම සම්බන්ධ වැරදි ඇතුළත් වේ.එම වගන්තිවල ඇතැම් පුළුල් හා අපැහැදිලි වචන භාවිතය නිසා සමාජ මාධ්ය පළකිරීම්, නැවත බෙදාහැරීම් සහ සබැඳි හුවමාරු කිරීම් සම්බන්ධයෙන් ගැටලු මතුවිය හැකි බව Internet Media Action සංවිධානය පෙන්වා දී තිබේ.කෙසේ වෙතත් මෙහිදී වැදගත් වෙනසක් හඳුනාගත යුතුය.
ඕනෑම රජයක් විවේචනය කිරීම, දේශපාලන උපහාසයක් පළ කිරීම හෝ සාමකාමී විරෝධතාවකට සහාය දැක්වීම ස්වයංක්රීයව ත්රස්තවාදී වරදක් බවට පත්වන්නේ නැත.
නව කෙටුම්පතේ 11 වැනි වගන්තියෙන් ජනමාධ්යකරණය, පර්යේෂණ, මානව හිමිකම් ලේඛනගත කිරීම, උපහාසය සහ විරුද්ධ මත දැරීම සම්බන්ධ ආරක්ෂණ ඇතුළත් කර තිබේ.
එහෙත් එම ආරක්ෂණ ප්රධාන වශයෙන් 9 සහ 10 වැනි වගන්ති යටතේ ඇති ප්රකාශන වැරදිවලට සීමා වේ. එය අනෙකුත් වගන්ති යටතේ ඇති සියලුම නීතිමය අවදානම්වලින් මාධ්යවේදියා ආරක්ෂා නොකරයි.
- ඡායාරූප ගැනීම, වීඩියෝගත කිරීම සහ වාර්තාකරණ උපකරණ අත්පත් කරගැනීම
ගවේෂණාත්මක මාධ්යවේදියෙකුගේ ප්රධාන සාක්ෂි වන්නේ ඡායාරූප, වීඩියෝ, හඬ පටිගත කිරීම් සහ ලේඛනයි.නව කෙටුම්පත යටතේ සෝදිසි කිරීම් හා අත්පත් කරගැනීම් සඳහා බලතල පවතී.ඒ අනුව සාධාරණ සැකයක් මත කැමරා, ජංගම දුරකථන, පරිගණක සහ වෙනත් ලේඛනගත උපකරණ අත්පත් කරගැනීමේ අවදානමක් පවතී.ඒවා පසුව රජයේ විශ්ලේෂකයෙකුට හෝ වෙනත් විශේෂඥයෙකුට යොමු කිරීමේ හැකියාවද තිබේ.
මෙහි ප්රායෝගික බලපෑම කුමක්ද?
යම් මාධ්යවේදියෙකු වන සංරක්ෂණ නිලධාරීන්ගේ නීති විරෝධී ක්රියාවක් වීඩියෝගත කළේ යැයි සිතමු. එම වීඩියෝව සමඟ ඔහුගේ දුරකථනය අත්පත් කරගනු ලැබුවහොත් එහි ඇති වෙනත් තොරතුරු, සම්බන්ධතා සහ මූලාශ්රද අවදානමට ලක්විය හැකිය.එමෙන්ම එවැනි ක්රියාවලියක් පිළිබඳ බියක් ඇති වුවහොත් මාධ්යවේදියා තම සාක්ෂි රැස්කිරීමේ කටයුතු සීමා කිරීමට පෙළඹිය හැකිය.මෙහිදී සඳහන් කළ යුත්තේ නව කෙටුම්පතේ 2025 මුල් කෙටුම්පතේ තිබූ සන්නිවේදන බාධා කිරීම සහ සංකේතනය කළ පණිවිඩ විවෘත කිරීමට බලකෙරෙන විශේෂ විධිවිධානය ඉවත් කර තිබීම සාධනීය වෙනසක් බවයි. එහෙත් සාමාන්ය සෝදිසි හා අත්පත් කරගැනීමේ බලතල තවමත් පවතී.
- තහනම් ප්රදේශ සහ මාධ්යවේදීන්ගේ ක්ෂේත්ර වාර්තාකරණය
නව කෙටුම්පතේ තහනම් ස්ථාන (Prohibited Places) සම්බන්ධ විධිවිධානද මාධ්යවේදීන්ගේ අවධානයට ලක්විය යුතුය.
ආරක්ෂක ලේකම්වරයාට නියමිත කොන්දේසි යටතේ යම් ස්ථානයක් තහනම් ස්ථානයක් ලෙස නම් කිරීමේ බලය ලබාදීම පිළිබඳ විවේචන පවතී. එවැනි ස්ථානවල ඡායාරූප ගැනීම, වීඩියෝගත කිරීම සහ තොරතුරු රැස්කිරීම සීමා විය හැකිය.මෙහිදී මාධ්යවේදියෙකුට ඇතිවන ප්රායෝගික ගැටලුව මෙසේය.
- හමුදා හෝ පොලිස් මෙහෙයුමක් සිදුවන ස්ථානයක් වාර්තා කිරීමට නොහැකි වීම.
- මානව හිමිකම් උල්ලංඝනයක් පිළිබඳ සාක්ෂි රැස්කිරීම සීමා වීම.
- රජයේ ක්රියාකාරකම් පිළිබඳ මහජනතාවට තොරතුරු ලබාදීමේ හැකියාව අඩුවීම.
- තහනම් ස්ථානයකින් ලබාගත් තොරතුරු ප්රසිද්ධ කිරීමේදී නීතිමය අවදානම් ඇතිවීම.
- පොලිස් නියෝග සහ මහජන විරෝධතා වාර්තා කිරීම
නව කෙටුම්පතේ 51 වැනි වගන්තිය යටතේ හදිසි අවස්ථාවල පොලිස් ස්ථානාධිපතිවරයාට රැස්වීම්, පෙළපාළි සහ මහජන රැස්වීම් සම්බන්ධයෙන් සීමා පැනවීමේ බලතල යෝජනා කර ඇත.එවැනි නියෝගයක් අධිකරණය විසින් කලින් අනුමත කිරීම අවශ්ය නොවන අවස්ථා තිබීමද විවේචනයට ලක්ව තිබේ.
මෙය ජනමාධ්යවේදියාට බලපාන්නේ කෙසේද?
උදාහරණයක් ලෙස, යම් ප්රදේශයක ජනතාව පරිසර විනාශයකට එරෙහිව සාමකාමී විරෝධතාවක් පවත්වන බව සිතමු.මාධ්යවේදියෙකු එම ස්ථානයේ සිට සිදුවීම් වාර්තා කරයි. පොලිසිය විසින් රැස්වීමක් තහනම් කර ඇති අවස්ථාවක එම නියෝගය උල්ලංඝනය කිරීමට යන පුද්ගලයන්ට ආරක්ෂක වළල්ලක් පිළිබඳ තොරතුරු ලබාදීම පවා වෙනත් වගන්ති සමඟ සම්බන්ධ වී නීතිමය ගැටලුවක් බවට පත්විය හැකිය.
මෙය හුදෙක් න්යායික ගැටලුවක් නොවේ. 2022 අරගලය වැනි මහජන විරෝධතා නැවත ඇතිවන අවස්ථාවක මාධ්යයේ කාර්යභාරය සම්බන්ධයෙන්ද මෙවැනි වගන්තිවල බලපෑම විමසා බැලිය යුතුය.
- ජනමාධ්යවේදීන්ට තිබෙන ආරක්ෂණ මොනවාද?
මෙහිදී සාධාරණත්වය සඳහා නව කෙටුම්පතේ ජනමාධ්යයට හිතකර සංශෝධනද සඳහන් කළ යුතුය.
11 වැනි වගන්තිය ජනමාධ්යකරණය, පර්යේෂණ, මානව හිමිකම් ලේඛනගත කිරීම සහ උපහාසය සඳහා ආරක්ෂණ
9 හා 10 වගන්ති හුදු ප්රකාශනය පමණක් ප්රමාණවත් නොවන බවට සහ සැබෑ හා වස්තුමය අවදානමක් තිබිය යුතු බවට ආරක්ෂණ
මහජන යහපත රහස්ය තොරතුරු රැස්කිරීම හා බෙදාහැරීම සම්බන්ධ මහජන යහපත පිළිබඳ ආරක්ෂණයක්
සන්නිවේදන පෞද්ගලිකත්වය 2025 කෙටුම්පතේ තිබූ පුළුල් සන්නිවේදන බාධා කිරීමේ විධිවිධාන ඉවත් කිරීම
ඡායාරූපකරණය තහනම් ස්ථානවල සීමා ජනමාධ්යකරණයට අනවශ්ය බාධාවක් නොවන පරිදි පටු ලෙස යෙදීම
එහෙත් මෙම ආරක්ෂණ සියලුම වගන්තිවලට පොදුවේ බලපාන සම්පූර්ණ මාධ්ය නිදහස් සහතිකයක් නොවේ.
- එක්සත් ජාතීන්ගේ අවධානයට ලක්වූ ප්රධාන කරුණ
එම කාර්යාලය පෙන්වා දී ඇත්තේ රහස්ය තොරතුරු පිළිබඳ පුළුල් අර්ථ දැක්වීම නිසා මාධ්යවේදීන්ට සාමාන්ය වාර්තාකරණ කටයුතු පවා නඩු පැවරීමේ අවදානමකට ලක්විය හැකි බවයි.
විශේෂයෙන්ම පොලිස් වැටලීම්, අත්අඩංගුවට ගැනීම්, ආරක්ෂක මුරපොළවල් සහ හමුදා ක්රියාකාරකම් ලේඛනගත කිරීමේදී මෙම අවදානම මතුවිය හැකි බව එක්සත් ජාතීන් අවධාරණය කර තිබේ.
එමෙන්ම කෙටුම්පත තවදුරටත් සංශෝධනය කර ජාත්යන්තර මානව හිමිකම් ප්රමිතීන්ට අනුකූල කළ යුතු බවද නිර්දේශ කර ඇත.
9. ආන්ඩුව ලහි ලහියේ ගෙනඒ්මට සුදානම් වන මෙම නව පනත සම්බන්ධයෙන් ශ්රී ලංකාවේ ජනමාධ්යවේදීන් වෙනුවෙන් මාධ්ය සංවිධාන පහත කාරණා ආන්ඩුවෙි අවදානයට යොමුකර තිබෙි
- තොරතුරු මූලාශ්ර ආරක්ෂා කිරීම: ජනමාධ්යවේදීන්ගේ රහසිගත තොරතුරු මූලාශ්ර හෙළි කිරීමට බලකිරීමෙන් ආරක්ෂා කරන පැහැදිලි නීතිමය ප්රතිපාදනයක් තිබිය යුතුය.
- රහස්ය තොරතුරු පිළිබඳ අර්ථ දැක්වීම: රජයේ හෝ ආරක්ෂක අංශවල සියලුම නිල කටයුතු සම්බන්ධ තොරතුරු රහස්ය තොරතුරු ලෙස සැලකීම වෙනුවට සැබෑ හානියක් සිදුවිය හැකි රහස්ය තොරතුරු පමණක් ඊට ඇතුළත් කළ යුතුය.
- මහජන යහපත ආරක්ෂා කිරීම: දූෂණය, පරිසර විනාශය, මානව හිමිකම් උල්ලංඝනය සහ රාජ්ය දේපළ අවභාවිතය හෙළි කිරීම සඳහා තොරතුරු රැස්කරන මාධ්යවේදීන්ට පැහැදිලි ආරක්ෂණයක් තිබිය යුතුය.
- උපකරණ අත්පත් කරගැනීම: මාධ්යවේදීන්ගේ දුරකථන, පරිගණක සහ කැමරා අත්පත් කරගැනීමේදී ස්වාධීන අධිකරණ අධීක්ෂණය හා මූලාශ්ර රහස්යභාවය ආරක්ෂා කළ යුතුය.
- මාධ්යකරණය ත්රස්තවාදී ප්රචාරණයෙන් වෙන් කිරීම: සැබෑ ප්රචණ්ඩත්වයට පොළඹවන ක්රියා සහ මහජන යහපත වෙනුවෙන් සිදුකරන වාර්තාකරණය අතර නීතිමය වශයෙන් පැහැදිලි වෙනසක් තිබිය යුතුය.
මාධ්යවේදියා නිහඬ වුවහොත් ජනතාවට සත්යය කියන්නේ කවුද?
මෙහිදී මට ඔබේ අවධානයට යොමු කිරීමට අවශ්ය විශේෂ කරුණක් තිබෙනවා.
ත්රස්තවාදය වැළැක්වීම සඳහා නීතියක් අවශ්ය විය හැකිය. එහෙත් එම නීතියෙන් ත්රස්තවාදය හෙළි කරන මාධ්යවේදියාත්, ත්රස්තවාදය පිළිබඳ පර්යේෂණ කරන විද්වතාත්, රාජ්ය බලය ප්රශ්න කරන පුරවැසියාත් එකම සැකයේ රාමුවකට ඇතුළත් නොවිය යුතුය.
ජාතික ආරක්ෂාවට ශක්තිමත් නීතියක් අවශ්යය. එහෙත් ප්රජාතන්ත්රවාදයට නිදහස් මාධ්යයක්ද අත්යවශ්යය. මේ දෙක එකිනෙකට විරුද්ධ නොවිය යුතුය.
නයනජීව බන්ඩාර




