පොළොන්නරුව, වැලිකන්ද රුහුණුකෙත ගම්මානයේ, සැරටියෙන් ගොස් කුලියට ලොතරැයි අලෙවිකර ජීවිතය ගැටගසා ගන්නා, දෙනෙත් අහිමි යුවලක් අස්වැසුම දීමනාව අහිමි කර ඇති බවට පවසමින් නිවස ඉදිරිපිට බිත්තියක, ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කරවීමේ අරමුණින් විරෝධතා පුවරුවක් දවටා අද (16) දිනයේ සාමකාමී විරෝධතාවයක නිරත වීමේ සිදුවීමක් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වෙමින් පවතියි.
වැලිකන්ද, රුහුණෙකත ලිපිනයේ පදිංචි 44 වියැති දෙදරු කේ,ජගත් ප්‍රසන්න කුමාර සහ ඔහුගේ බිරිඳ වන පී.ඩබ්ලිව්. සුගන්ධිකා මානෙල් යන 41 වියති දෙදරු මවක් මෙම විරෝධතාවයේ නිරත වී තිබේ.
දෛනිකව කිලෝමීටර් හතළිහක් පමණ පයින් ගමන් කරමින් ලොතරැයි දෙසීයක් පමණ අලෙවි කර ගනිමින්,ඉතා අසීරුවෙන් ජීවිතය ගැට ගහගන්නා මෙම දෙනෙත් අහිමි යුවළට අවුරුදු දොළහක සහ අවුරුදු හතක පාසල් යන වයසේ දරුවන් දෙදෙනෙකුද සිටින බව වාර්තා වේ.
වසරක පමණ කාලයක් ඔවුන් රුපියල් පන්දාහේ අස්වැසුම දීමනාවක් ලැබී ඇති අතර, මීට මාස දෙකක පමණ කාලයක සිට ගම්මානයේ කමිටුවක් මගින් තම අස්වැසුම දීමනාව අහිමි කිරීමෙන් අනතුරුව මේ පිළිබඳව වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටත් හා ප්‍රදේශයේ දේශපාලන අධිකාරියටත් දැනුම් දුන්නද ඊට කිසිදු විසඳුමක් නොමැති නිසා තම නිහඬ විරෝධය මෙලෙස ප්‍රකාශ කරන බව ඔවුන් පවසා තිබේ.
අස්වැසුම ලබාදීම පිටුපස ඇති කතාව වන්නේ රටේ ආර්ථික අර්බුදයෙන් පසු දරිද්‍රතාවයේ පතුලටම වැටුණු ජනතාවගෙන් වඩාම අවධානම් සහගත කොටසට යම්කිසි ආකාරයකට ජීවත්වීම සඳහා සොච්චම් මුදලක් ප්‍රධානය කිරීමයි. මෙය යෝජනා කරන ලද්දේ ජාතන්තර මූල්‍ය අරමුදල විසින් වන අතර මෙය කිසිසේත්ම ප්‍රමාණවත් මුදලක් නොවේ. නමුත් මෙය හරහා ජනතාවගේ කෝපය යමිකිසි ලෙසකට පාලනය කිරීමට ආණ්ඩුවලට හැකිවිය. එසේම බදු අඩු කිරීමකින් තොරව ආර්ථිකයේ බර බහුතර ජනතාව මත පැටවීමේ ක්‍රමය පවත්වාගෙන යාමටද හැකිවිය. ආණ්ඩුව දැන් සැරසෙන්නේ අස්වැසුම නැවත සමාලෝචනයක් කරමින් එම දීමනාව ලබාදීම නැවත්වීමටයි. ඒ වෙනුවට අලුත් ණය දෙන ක්‍රමයක් හඳුන්වා දීමට ආණ්ඩුව සූදානම් වෙන බව මෙවර අයවැයෙන් පෙනෙන්නට තිබුණි. නමුත් ජනතාවගේ සියලු සුබ සාධන ක්‍රමවේද කප්පාදු කරමින් ජනතාවට ණය ගැනීම හැර වෙන විකල්පයක් ඉතිරි නොකරන තැනට ආණ්ඩුව පත්කරමින් සිටියි.




