දිවයින පුරා පිහිටි රජයේ රෝහල්වල වෛද්‍ය නිලධාරීන් 7,000ක හිඟයක් පවතින බව, මෑතකදී සම්පූර්ණ කරන ලද කාර්ය මණ්ඩල සංශෝධනයක් මගින් හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද පාර්ලිමේන්තුවේදී පවසා තිබේ.
පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙම යාවත්කාලීන කරන ලද කාර්ය මණ්ඩල සංශෝධනය මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති බවත්, මේ වසරේ දෙසැම්බර් මාසය වන විට ඊට නිල අනුමැතිය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත්ය.
2017 වසරේ පැවති කාර්ය මණ්ඩල ව්‍යුහයට අදාළ සංඛ්‍යාලේඛන උපුටා දක්වමින් අමාත්‍යවරයා හෙළි කළේ, රාජ්‍ය සෞඛ්‍ය අංශය තුළ දැනටමත් විශේෂඥ වෛද්‍යවරුන් 136 දෙනෙකුගේ, වෛද්‍ය නිලධාරීන් 1,683 දෙනෙකුගේ සහ හෙද නිලධාරීන් 2,619 දෙනෙකුගේ හිඟයක් පවතින බවයි.
කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමැතිය ලබා දුන් පසු, වෛද්‍ය නිලධාරීන්ගේ පුරප්පාඩු 7,000 පිරවීම සඳහා 2027 සහ 2029 අතර කාලය තුළ අදියර වශයෙන් බඳවා ගැනීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරන බවට වෛද්‍ය ජයතිස්ස මෙහිදී පවසා ඇත.
සෞඛ්‍ය සේවය තුළ විශාල කාර්ය මණ්ඩල හිඟයක් පවතින බව කාලයක සිට දක්නට ලැබෙන්නකි. ඒ සඳහා නව බඳවා ගැනීම් සිදුකළ යුතු බව සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති දිගින් දිගටම හඬ නගමින් සිටියි. ඊට අමතරව ගුණාත්මක සෞඛ්‍ය සේවයක් සඳහා දැනට සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල ගැටළු විසඳීම ද අත්‍යවශ්‍ය දෙයකි.




