Breaking News

මේ කොල්ලකාරී ආර්ථිකයත් ධන කුවේරයන්ගෙ මාෆිවාවල් නැති කරන්නත් තමයි අපි එන්නේ – නුවන් බෝපගේ

ජන අරගල සන්ධානය නිර්මාණය වී ඇත්තේ මේ කොල්ලකාරී ආර්ථික ක්‍රමයත් මේ ධන කුවේරයන්ගෙ මාෆිවාවල් නැති කිරීමට බව එම සන්ධානයේ ජනාධිපති අපේක්ෂක නුවන් බෝපෙගේ පවසා තිබේ.

අනුරාධපුර ප්‍රදේශයේ පැවති දේශපාලන හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ,

“අපි මේ අද ඉන්න අනුරාධපුර දිස්ත්‍රික්කයේ මේ වෙනකොට හැම ගෙදරකින්ම වකුගඩු රෝගියෙක් වාර්තා වෙන තත්ත්වයට පත්වෙලා. මේ ඉන්න සහෝදර සහෝදරියන්ගේ ළඟම ඥාතියෙක් මිත්‍රයෙක් දැනටමත් අපි දන්නවා මේ රෝගයෙන් පීඩා විඳිනවා. දැන් දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ මේ රටේ පාලකයන්ට මේකට උත්තරයක් හොයනවා තියා අඩුම තරමේ මේකට හේතුව මොකද්ද කියලවත් හොයාගන්න බැරි වෙලා. වකුගඩු රෝගය හැදෙන්නෙ ග්ලයිෆොසෙඩ් හින්දද වෙනම මොනවා හරි හින්දද කියලා විද්‍යාත්මක තහවුරුවක් කරගන්න බැරි වෙලා.

අනිත් අතට අප රටේ විද්‍යාත්මක පරීක්ෂණ සඳහා දළ ජාතික නිෂ්පාදනය වෙන් කරන්නේ සියයට බින්දුවයි දශම ගාණක්. එහෙම තියෙද්දි කොහොමද මේ වගේ ගැටලුවලට විද්‍යාත්මක උත්තර හොයන්නෙ. එක පැත්තකින් කෝටි ප්‍රකෝටි ගණන් ජනතා මුදල් වංචා කරන ගමන් ජනතාවගේ ඇත්ත ප්‍රශ්න වලට කිසිදු උත්තරයක් නෑ. දැනටමත් රුපියල් ට්‍රිලියන එකක් විතර බදු නොගෙවා පැහැර හැර තියෙනවා. තවත් ට්‍රිලියන එකක් විතර බදු සහන දීලා තියෙනවා .තවත් රුපියල් ට්‍රිලියන දෙකක් විතර ධන කුවේරයෝ ණය ගෙවන්නැතුව පැහැර හැරලා. මේ වගේ අධික මුදල් කන්දරාවක් ධන කුවේරයන් සහ වී ව්‍යාපාරිකයන්ට කොල්ලකන්න ඉඩ දෙන ගමන් මේ රටේ ජනතාවට බරපතල ගැටලුවක් වෙච්ච වකුගඩු රෝගයකට උත්තරයක් හොයාගන්න බැරි ක්‍රමයක් තමයි අපේ ඉස්සරහ තියෙන්නේ.

අනිත් අතට ක්ශුද්‍ර මූල්‍ය අර්බුදය මේ පැතිවල බරපතල අර්බුදයක් බවට පත්වෙලා . දැනටමත් කාන්තාවන් දෙසීයක් විතර සියදිවි නසාගෙන.මහ බැංකු වාර්තාවට අනුව හතර දෙනෙක්ගෙන් යුතු පවුලට මසකට රුපියල් 57500 ක් ජීවත් වෙන්න ඕන වෙන තත්ත්වයක් තුළ සංඛ්‍යා ලේඛන අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ රුපියල් 15000ක් තමයි ආදායම. එබඳු ආදායමක් ලබන පවුලක දුපත්කම නැති කරන්න උත්තරයක් දෙනවා වෙනුවට ක්ශුද්‍ර මූල්‍ය ව්‍යාපාරික ඇවිල්ලා අනිත් අතට බරපතල ලෙස මේ ජනතාව කොල්ල කනවා. LOLC වගේ සමාගම් ට්‍රිලියන ගණන් ලාභ ලබන අතර ඒ මුදල් කාම්බෝජය වැනි රටවල්වලට අරන් යන්න කටයුතු කරමින් තියෙනවා. ඒවට ඉඩ දෙන කොල්ලකාරී ආර්ථිකයක් පවත්වාගෙන යන අතර මේ ජනතාවගේ දුප්පත්කමට උත්තර නැහැ. ජනතාවට අපි කිසිම පැකිලීමකින් තොරව කියනවා මේ කොල්ලකාරී ආර්ථික ක්‍රමයත් මේ ධන කුවේරයන්ගෙ මාෆිවාවල් නැති කරන්න තමයි ජන අරගල සන්ධානය නිර්මාණය වෙන්නේ කියලා.” – ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂක නුවන් බෝපගේ අද දින අනුරාධපුරදී පැවසීය.

 

leave a reply