නගරාධිපති ‘සහෝදරයට’ එරෙහිව ක්‍රියාමාර්ගයක් ගනීද?

අද (10) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් විසින් සිදුකළ දෙසැම්බර් මාසයේදී නගර සභා සේවකයන්ට ලබාදෙන ත්‍යාග පාර්සල් සම්බන්ධ ප්‍රකාශය පිළිබඳව විමසා තිබේ.

ඊට පිළිතුරු දෙමින් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා සඳහන් කළේ නගරාධිපතිවරයා එම ප්‍රකාශය මගින් කුමක් අදහස් කළේද යන්න පිළිබඳව පළමුව සම්පූර්ණ ප්‍රකාශය සලකා බැලිය යුතු බවයි.

එමෙන්ම අදාළ ප්‍රකාශයේ කොටසක් පමණක් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයවී ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, “කන බොන” යන ප්‍රකාශයෙන් පසුව ප්‍රචාරය වූ වීඩියෝව නතරවී ඇති බවත් ඉන් අනතුරුව ඔහු තවදුරටත් අදහස් දක්වා තිබුණේද යන්න සොයා බැලිය යුතු බවත් සඳහන් කර ඇත.

“එතුමා මොකක්ද අදහස් කළේ කියලා මම දන්නේ නැහැ. සම්පූර්ණ කතාව අහන්න ඕනේ. කන බොන කෑල්ල කිව්වට පස්සේ වීඩියෝව කට් කරලා. මම බැලුවා එතනින් එහාට මොකක්ද කියන්නේ කියලා. එතනින් නතර වෙලා තිබුණා. කතාව තවදුරටත් දිගට ගිහින් ඇති. ඒ නිසා සම්පූර්ණ කතාව අහන්න ඕනේ” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.

තවද ජාතික ජන බලවේගයේ කිසිදු මහජන නියෝජිතයකු අල්ලස්, දූෂණ හෝ වංචාවලට සම්බන්ධ නොවන බවත් එවැනි පැමිණිල්ලක් කිසියම් පාර්ශ්වයකින් ඉදිරිපත් වුවහොත් ඒ පිළිබඳව විමර්ශනය කර පක්ෂ අභ්‍යන්තරයෙන් අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවත් අමාත්‍යවරයා පවසා තිබේ.

එමෙන්ම තමන්ට අනුව ජාතික ජන බලවේගයේ කිසිදු නගරාධිපතිවරයකු හෝ සභාපතිවරයකු එවැනි පෞද්ගලික වාසි අපේක්ෂාවෙන් කටයුතු කරනු ඇතැයි විශ්වාස නොකරන බවද නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ දේශපාලන බලය ලබාගැනීම සඳහා තමන් ඇතුළු පිරිස විවිධ කැපකිරීම් සිදුකර ඇති බැවින් එම ගමනට පටහැනිව මෙවැනි අපේක්ෂාවන් ඇතිකර ගැනීමේ තේරුමක් නොමැති බවයි.

කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය සිදුකර තිබුණේ පසුගිය නොවැම්බර් 08 වැනිදා මාලබේ, අරංගල ප්‍රදේශයේ පැවැති උත්සවයකදීයි.

එහිදී ඔහු සඳහන් කර තිබුණේ වත්මන් පාලනය යටතේ නගර සභාවලට සහ රාජ්‍ය ආයතනවලට දෙසැම්බර් මාසයේදී පෞද්ගලික ආයතනවලින් සාම්ප්‍රදායිකව ලැබුණු තෑගි පාර්සල් ලැබීම නතරවී ඇති බවට ඇතැම් පාර්ශ්ව තුළ මතයක් පවතින බවයි.

එම තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් පෞද්ගලික ආයතනවලින් නගර සභා සේවකයන්ට සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල සේවකයන්ට දෙසැම්බර් මාසයේදී ඔවුන්ගේ නිෂ්පාදනවලින් යම් කොටසක් තෑගි වශයෙන් ලබාදෙන සිරිතක් පැවතියේ නම් එය ඉදිරියටත් පවත්වාගෙන යන ලෙසද ඔහු ඉල්ලා තිබුණි.

“අපි ආවට පස්සේ දෙසැම්බර් මාසයේ තෑගි පාර්සල් එන්නේ නැහැ. දැන් ඉන්නේ කන බොන අය නෙමෙයි කියලා ඇතැමුන් හිතනවා. අපිත් හොඳට කන බොන මිනිස්සු. නගර සභාවට ගියාට පස්සේ කාලා තියෙන දේවල් අපි දන්නවා” යනුවෙන්ද ඔහු එහිදී සඳහන් කර තිබුණා.

එමෙන්ම තමන් ඇතුළු දේශපාලන කණ්ඩායම බලය ලබාගැනීම සඳහා විශාල කැපකිරීම් සිදුකළ බවත් වත්මන් පරපුරේ නගරාධිපතිවරුන්, අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දුක් විඳින අවසන් කණ්ඩායම බවට පත්විය යුතු බවත් ඔහු එහිදී ප්‍රකාශ කර තිබුණි.

මෙම ප්‍රකාශයත් සමඟ රාජ්‍ය ආයතනවල සේවකයන් සහ මහජන නියෝජිතයන් පෞද්ගලික ආයතනවලින් තෑගි භාරගැනීමේ සුදුසුකම, එමඟින් ඇතිවිය හැකි වාසිදායක සම්බන්ධතා සහ රාජ්‍ය ආයතනවල තීරණ ගැනීමේදී ඇතිවිය හැකි ගැටුම් පිළිබඳවද සමාජයේ කතාබහක් මතුව තිබේ.

රන්ජන් ජයලාල්ගේ මෙම කතාව අලුත් දේශපාලන සංස්කෘතියක් පිළිබඳ රජයේ ප්‍රතිපත්තිමය පදනමට කෙතරම් දුරට ගැලපෙන්නේද යන්න පිළිබඳව මේ වනවිට සමාජය තුළ අලුත් සංවාදයක් නිර්මාණය වී ඇත. රාජ්‍ය සේවයේ තීරණ ගැනීමේදී ඇතිවිය හැකි ගැටුම් සහ අතීතයේ පැවති “තුටුපඬුරු” හෝ අල්ලස් සංස්කෘතියේ ආකෘතීන් යළි අනුමත කිරීමක් ලෙස පෙනී යාමේ අවදානම පිළිබඳව දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි විවේචන එල්ල වෙමින් පවතී.

මේ ප්‍රකාශයට එරෙහිව අද අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ. පැමිණිල්ලක් ලැබුණහොත් පක්ෂ අභ්‍යන්තරයෙන් ක්‍රියාමාර්ග ගන්නා බවට කැබිනට් ප්‍රකාශකවරයා ලබා දී ඇති සහතිකය හමුවේ, අල්ලස් කොමිසම වෙත අද ඉදිරිපත් වූ නිල පැමිණිල්ලත් සමඟ මෙම ගැටලුවේ මීළඟ පරිච්ඡේදය සහ ඊට අදාළ නීතිමය හා විනය ක්‍රියාමාර්ග කෙසේ දිගහැරෙනු ඇත්දැයි මේ වනවිට සමාජයේ දැඩි අවධානයක් යොමුව තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

සිදුවූ පසු අනේ අපොයි කියන පසුව අමතක කර දමන බස් අනතුරු

අනුරාධපුර ප්‍රදේශයේ සිදුවූ තවත් මාරක බස් අනතුරකින් 05 දෙනෙකු...

ලංකාවේ මිලියනයකට වැඩි ජනතාවකට මානුෂීය ආධාර අවශ්‍ය වෙතැයි පුරෝකථනයක්

'සාගත පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ජාලය' (FEWS NET) විසින්...

ආණ්ඩුවෙන් හදිසියේ ළමයින් ගැන මාර්ගෝපදේශන මාලාවක් නිකුත් කරයි

පසුගියදා පැවති රූපවාහිනී වැඩසටහනකට ඉදිරිපත් වූ දරුවෙකු ජනාධිපති බොරු...

ලාල්

නුවර වැව්තෙරෙන් නැඟිකුලුණු සීතලහදැතිමදනලෙකමදහසකි සැටක්සිව්සිප්කලාසුළකුරු වසුදිස් වූමහ බිතකි පවරරණබිම්අරාරක්තතප්ත වඋදුලතිහිණිකගපත් තුඩකි නිවා...