ශ්රී ලංකා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට යෑමේදී සහ අත්අඩංගුවේ සිටියදී පුද්ගලයන් 79 දෙනකු 2020 වසරේ සිට 2025 වසරේ මාර්තු මාසය අවසන් වන විට මරණයට පත්වී ඇතැයි ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කරයි.
2020 වර්ෂයේ ජනවාරි මස සිට 2025 වර්ෂයේ මාර්තු මස 31 දින දක්වා කාලය තුළ ශ්රී ලංකා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයන් 49 දෙනකු පොලිස් අත්අඩංගුවේ පසුවන කාලයේදී මරණයට පත්වී ඇති අතර, අත්අඩංගුවට ගැනීමට යෑමේදී පොලිසිය සමඟ ඇතිවූ ගැටුම්වලදී බව සඳහන් තවත් පුද්ගලයන් 30 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අනාවරණය කරයි.
හෝමාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසු 2026 ඔක්තෝබර් 26 වැනි දින පුද්ගලයකු මරණයට පත්වීමේ සිදුවීම මුල් කරගනිමින් මානව හිමිකම් කොමිෂන් සභාව වෙනුවෙන් එහි මාධ්ය ප්රකාශක සහ පර්යේෂණ හා අධීක්ෂණ අංශයේ අධ්යක්ෂ නිහාල් චන්ද්රසිරි මහතාගේ අත්සනින් මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් කොමිසම මෙම සංඛ්යාලේඛන හෙළිදරව් කර තිබේ.
හෝමාගම සිදුවීමට අදාළ ව මානව හිමිකම් කොමිෂන් සභාව පැමිණිල්ලක් නොමැතිවම විමර්ශනයක් ආරම්භ කළ බව ද, ඉන්පසු ඔහුගේ පවුලේ ඥාතීන්ගෙන් පැමිණිල්ලක් ලැබුණු බව ද කොමිසම සඳහන් කරයි.
එම විමර්ශන කටයුතු සඳහා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් හෝමාගම පොලිස් ස්ථානය වෙත ගොස් අදාළ තොරතුරු ලබාගෙන ඇති අතර, මියගිය පුද්ගලයාගේ ඥාතීන්ගේ නිවෙස්වලට ගොස් ප්රකාශ සටහන් කරගෙන තිබේ. මෙම සිද්ධියට අදාළ වගඋත්තරකාර පොලිස් නිලධාරීන්ට හෙට (29) දින පස්වරු 1.30ට මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ පෙනීසිටින ලෙස දන්වමින් සිතාසි නිකුත් කළ බව ද එම නිවේදනයේ සඳහන් කර තිබේ.
පොලිස් අත්අඩංගුවේදී සිදුවන මරණ වැළැක්වීම සඳහා කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද විශේෂ මාර්ගෝපදේශ මාලාවට අනුගතව හෝමාගම සිද්ධියට අදාළ පොලිස් නිලධාරීන් කටයුතු කර නොමැති බව ද පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව එම මාධ්ය නිවේදනයෙන් පෙන්වා දී තිබේ.
මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අධිකරණ වෛද්ය නිලධාරියාගෙන් අදාළ වාර්තා කැඳවීමට ද කොමිෂන් සභාව තීරණය කර ඇති බවත්, සමස්ත පරීක්ෂණ කටයුතු අවසන් වූ වහාම කොමිෂන් සභාවේ අවසන් තීරණය නිකුත් කිරීමට නියමිත බවත් කොමිසම සඳහන් කරයි.
අත්අඩංගුවට ගැනීමේදී සහ රඳවාගැනීමේදී සිදුවන මරණ සම්බන්ධයෙන් මීට පෙර වාර්තා වූ පැමිණිලි දීර්ඝ ලෙස අධ්යයනය කිරීමෙන් පසුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී ක්රියා කළ යුතු ආකාරය පිළිබඳව 2025 මැයි මාසයේදී මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ‘2025 අංක 01 දරන පොදු මාර්ගෝපදේශ සහ නිර්දේශ මාලාව’ සකස් කරන ලදි.
මානව හිමිකම් කොමිසම විසින් 2025 මැයි 14 දින යොමුකරන ලද මෙම මාර්ගෝපදේශ මාලාවට ප්රතිචාර දක්වමින් 2025 මැයි 17 වැනි දින එවකට වැඩබලන පොලිස්පති ප්රියන්ත වීරසූරිය මහතා සියලුම ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරුන් වෙත ලිඛිත උපදෙස් නිකුත් කරමින් එම නියෝග චක්රලේඛයක් ලෙස සියලුම පොලිස් ස්ථාන වෙත යොමුකිරීමට කටයුතු යොදන ලදි.
ශ්රී ලංකා ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 13(4) ව්යවස්ථාවෙන් තහවුරු කර ඇති ජීවත් වීමේ නෛසර්ගික අයිතිය සහ 11 ව්යවස්ථාවෙන් තහවුරු කර ඇති වධහිංසාවලින් මිදීමේ අයිතිය සුරක්ෂිත කිරීමේ රාජ්ය වගකීම පෙරදැරිව මෙම මාර්ගෝපදේශ මාලාව සකස් කර ඇත. ශ්රියානි සිල්වා එදිරිව ඉද්දමල්ගොඩ සහ ලහිරු ෂර්මිලා එදිරිව කොම්පඤ්ඤවීදිය ස්ථානාධිපති ඇතුළු ශ්රේෂ්ඨාධිකරණ තීන්දු මගින් ද මෙම ජීවත්වීමේ අයිතිය යළි-යළිත් තහවුරු කර තිබේ.
එම මාර්ගෝපදේශ මාලාවට අනුව යම් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට පෙර මූලික විමර්ශනයක් පැවැත්විය යුතු අතර, සාධාරණ සැකය මත පමණක් අත්අඩංගුවට ගැනීම් සිදු කළ යුතුය. අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් සඳහා යන නිලධාරීන් නිල ඇඳුමෙන් සැරසී සිය අනන්යතාව පැහැදිලිව ප්රකාශ කළ යුතු අතර, සිවිල් ඇඳුමෙන් සිටී නම් නිල හැඳුනුම්පත ප්රදර්ශනය කළ යුතු වේ.
අත්අඩංගුවට ගැනීමේදී හෝ රඳවාගැනීමේදී කිසිදු ලෙසකින් අනිසි බලය භාවිත නොකළ යුතු අතර, සැකකරුවකු ප්රතිරෝධයක් දක්වන අවස්ථාවකදී භාවිත කළ යුත්තේ අවම හා ක්රමානුකූල බලයක් පමණි. එමෙන්ම ගිනිඅවි භාවිත කළ යුත්තේ වෙනත් විකල්ප නොමැති සහ අන්යයන්ගේ ජීවිතවලට තර්ජනයක් පවතින අවස්ථාවලදී පමණක් වන අතර, බලය යෙදවීම සහ ගිනිඅවි ලබාදීම සම්බන්ධයෙන් අදාළ ජ්යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පූර්ණ වගකීම දැරිය යුතුය.
අත්අඩංගුවට ගන්නා පුද්ගලයාට ඔහු අත්අඩංගුවට ගැනීමට හේතුව තේරෙන භාෂාවකින් වහාම දැනුම් දිය යුතු අතර, පවුලේ ඥාතීන්ට හෝ නීතිඥවරයකුට ඒ පිළිබඳව දැනුම් දීමේ අයිතිය ප්රමාදයකින් තොරව ලබා දිය යුතුය. එමෙන්ම කිසිදු බලපෑමකින් තොරව නිහඬව සිටීමේ අයිතිය ද සැකකරුට හිමි වේ.
නඩු භාණ්ඩ හෝ සාක්ෂි සෙවීම සඳහා හෝ සැකකරුවන් වෙනත් ස්ථානවලට රැගෙන යෑමේදී (මාරුකිරීම්) සහකාර පොලිස් අධිකාරි මට්ටමෙන් ඉහළ ජ්යෙෂ්ඨ නිලධාරියකු විසින් අවදානම් තක්සේරුවක් කළ යුතුය. මෙවැනි මෙහෙයුම් සාමාන්යයෙන් දහවල් කාලයේ සිදුකිරීමට සැලසුම් කළ යුතු අතර, රාත්රී කාලයේ සිදුකරන්නේ නම් ප්රමාණවත් ආලෝකකරණය ඇතුළු අතිරේක ආරක්ෂිත පියවර ගැනීම සහ පූර්ණ වගකීම අදාළ ජ්යෙෂ්ඨ නිලධාරියා විසින් බාරගත යුතු වේ.
රඳවාගෙන සිටින සැකකරුවකු වෛද්ය ප්රතිකාර ඉල්ලා සිටින්නේ නම් හෝ රෝගී තත්ත්වයකින් පසුවන්නේ නම් හෝ වහාම වෛද්යවරයකු හෝ අධිකරණ වෛද්ය නිලධාරියකු වෙත යොමු කළ යුතුය. එමෙන්ම පිරිසිදු පානීය ජලය, ආහාර සහ සනීපාරක්ෂක පහසුකම් සැපයීම සහ සැකකරුගේ මානව අභිමානය රැකගැනීම අනිවාර්ය කර ඇත.
යම් හෙයකින් අත්අඩංගුවේදී හෝ පොලිසිය සමඟ ගැටුමකදී මරණයක් සිදුවුවහොත්, එම ස්ථානය අපරාධ ස්ථානයක් ලෙස සලකා මුද්රා තැබිය යුතු අතර, අපරාධ ස්ථානීය පරීක්ෂණ නිලධාරි කණ්ඩායම් ලවා සාක්ෂි ආරක්ෂා කරගත යුතුය. එමෙන්ම ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරයකු, අධිකරණ වෛද්ය නිලධාරියකු, රජයේ රස පරීක්ෂක නියෝජිතයකු සහ නීතිඥවරයකුගෙන් සමන්විත ස්වාධීන විමර්ශන කමිටුවක් මගින් අදාළ විමර්ශන පැවැත්විය යුතුය.
මෙවැනි මරණයක් සිදුවූ වහාම පැය 24ක් ඇතුළත ස්ථානාධිපතිවරයා විසින් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ඒ පිළිබඳව දැනුම් දිය යුතු අතර, පැය 24ක් ඇතුළත වෛද්ය පරීක්ෂණ පෝරමයේ පිටපතක් යොමු කළ යුතුය. තවද මාස 6ක් ඇතුළත ස්වාධීන විමර්ශන කමිටුවේ සවිස්තරාත්මක වාර්තාව මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කිරීම ද අනිවාර්ය කර තිබේ.
මෙවැනි අනිවාර්ය චක්රලේඛ සහ මාර්ගෝපදේශ පවතිද්දීත් හෝමාගම සිදුවීමේදී අදාළ පොලිස් නිලධාරීන් ඒවා අනුගමනය කර නොමැති වීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව සිය දැඩි කනස්සල්ල පළ කර ඇති අතර, ඔක්තෝබර් 29 වැනි දින පැවැත්වෙන පරීක්ෂණයෙන් පසුව ඉදිරි පියවර ගැනීමට නියමිත ය.
තරිඳු ජයවර්ධන
උපුටා ගැනීම – media.lk




