Breaking News

ජනතාව පීඩාවට පත්කරමින් හෝද හෝද මඩේ දාන සෙල්ලකන්දේ කුණු කන්ද

සැම්සන්

මීගමුව සෙල්ලකන්ද පාරේ මීගමුව බස් ඩිපෝව අසල නිතර එකතුවන කුණු පාර්සල් නිසා කුණු කන්දක් නිර්මාණයවී ඇත. මේ හේතුව නිසා සෙල්ලකන්ද පාරේ මෙම ස්ථානයෙන් ගමන් කරන්නන් නාසය හකුළුවා ගෙන හෝ මුහුණ හකුළුවා ගෙන යන්නේ කුණු පාර්සල් වළින් හමන දුර්ගන්ධය නිසාවෙනි. නිතරම එකතුවන කුණු නිසා යන එන අය දැඩි අපහසුතාවයකට පත්වන නමුත් මේ කුණු කන්ද ස්ථිර ලෙස ඉවත් කර විසඳුමක් ලබාගැනීමට අවට ප්‍රදේශවාසීන් සමත් නොවීය.

මෙම භූමිභාගය අයත් වන්නේ මීගමුව බස්ඩිපෝවටය. එසේම එය පිහිටා ඇත්තේ මීගමුව සහ කටාන දේශසීමාවෙහිය. ඒ නිසා වගකිවයුත්තන්ගේ කඹ ඇදිල්ලක්ද පවතින බව ප්‍රදේශවාසීන් පවසති .

විවිධ පිරිස් පැමිණ මෙම ස්ථානයට කුණු පාර්සල් දමා යති . මෙකී පාර්සල් අතර මස් කටු , කුණු මාළු ආදියද ඇත. ඒ බැවින් මේවා කපුටන් සහ බල්ලන් විසින් ඇදදැමූ පසු ඒවා පාරේ තැනින් තැන විසිර පවතී. එවිට මග යන එන අය එම අපද්‍රව්‍ය මැඩගෙන යා යුතුය .

ප්‍රදේශවාසීන් විසින් විවිධ මාර්ග වළින් බලපෑම් කළද මෙහි කුණු දමායන අය ඒ කිසිවක් නොසළකමින් තමන්ගේ ක්‍රියාව අඛන්ඩව ක්‍රියාත්මක කරයි. වැඩිවශයෙන් මේවා දමා යන්නේ රාත්‍රි කාලයේදීය. මෙහිදී සමහර පුද්ගලයින් ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන අවවාද කර යවන ලදී. මීගමුව පොලීසියද මේ පිළිබඳව කටයුතු කල නමුත් ඒ කිසිවකින් පලක් වූයේ නැත .

මෙකී සියළු තත්වයන් සළකා බලා මේ සඳහා පියවරක් ගන්නා ලෙස අප අදාල බලධාරීන්ට අවධාරණය කර සිටිමු .

මීගමුව මහ නගරසභාවෙන් පැමිණ කුණු රැගෙන යන නමුත් එසේ රැගෙන ගිය පසු නැවත ඉක්මනින්ම එම ස්ථානයේ කුණු පාර්සල් ගොඩගැසේ. මෙහිදී තමන්ගෙ වුවමනාව ගැන පමණක් සිතා කටයුතු කරමින් අනෙකා පීඩාවට පත්කිරීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්ද වේ. තවත් පැත්තකින් පනුවන්ද සහිත ඕජස් ගලන කුණුවූ මස් ආදිය නිසා පාරිසරික දූෂණයක්ද ඇතිවේ.

නමුත් සෙල්ලකන්ද පාර අවසන් වන ස්ථානයේ සිදුවන මෙම දුගඳ හමන නොමිනිස් ක්‍රියාව වසර ගනනාවක් තිස්සේ සිදුවෙමින් පවතී .

ප්‍රදේශවාසී ජනතාවෙනි !
බලධරයෙනි!

මේ සඳහා වහා පියවරක් ගැනීම ඔබ සියළු දෙනා සතු වගකීමක් සේම යුතුකමක් බව අපි අවධාරණය කර කියා සිටිමු .

leave a reply