මන්නාරම් දූපතේ සුළං විදුලි බල ව්‍යාපෘති අත්හිටවන්නට කියා එහි ජීවත් වෙන ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වූ අතර එම විරෝධය සමනය කිරීම සඳහා ආණ්ඩුව විසින් 2025 නොවැම්බර් 3 දා කැබිනට් තේන්දුවක් ගනු ලැබුවා ජනතාවගේ කැමැත්තෙන් තොරව මන්නාරමේ තවදුරටත් සුළං විදුලි ව්‍යාපෘති ආරම්භ නොකරන බවට . එසේ පවසා ආණ්ඩුව කල්පනා කළේ ජනතාවගේ විරෝධය තුනී කර හැරීමටය .
2025 නොවැම්බර් 3 දා කැබිනට් තීන්දුව සම්බන්ධයෙන් ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ දැක්වූ අදහසේ මෙසේ සඳහන් වෙනවා .
එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක් වූ වසන්ත මුදලිගේ පැවසුවේ ” ආණ්ඩුව කියලා තියෙන්නේ ජනතාවගේ සහ පාරිසරික ගැටලු මූලික කරගෙන තවදුරටත් මන්නාරමේ නව ව්‍යාපෘති පටන් ගන්නේ නෑ කියලා.
එතකොට මේ කියන වචන අස්සෙ ම තියනවා දැනට කරගෙන යන බලාගාර ව්‍යාපෘති ඒ විදිහට ම ක්‍රියාත්මක කරනවා කියන එක. ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශකවරයා මේ ගැන කොළඹ දී මාධ්‍යට ප්‍රකාශ කරන වෙලාවෙ ම අන්න මන්නාරමට ගිහිල්ලා බලශක්ති අමාත්‍යාංශය ජනතාවට කියනවා දැනට ගහන්න ඉන්න ටර්බයින් 14 ගහනවා. එතනින් එහාට ව්‍යාපෘති කරන්නේ නෑ කියලා.
මේ ටර්බයින් 14 ගහන එකට විරුද්ධව තමයි ජනතාව මෙච්චර ආණ්ඩුව එක්ක පොරබදන්නේ. මේ ටර්බයින් 14 නිසා තමයි මන්නාරම පක්ෂි පර්‍යටන කලාපය විනාශ වෙන්නේ. මේ ව්‍යාපෘතිය නිසා තමයි මන්නාරම් දූපතට හානි වෙන්නේ. ඒ නිසා අනේ අපිට මේ ටික කරගන්න දෙන්න මෙතනින් එහාට අපි මුකුත් කරන්නෑ වගේ සුරංගනා කතා කියලා ආණ්ඩුව මේ කරන්න යන බොරුව මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕන.
ආණ්ඩුව ඉහත ප්‍රකාශය සිදුකර මාසයක් එළඹෙන තැන නැවතත් මන්නාරම් දූපතේ නව සුළං විදුලි බලාගාර ව්‍යාපෘති දෙකක් සඳහා අනුමැතිය ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය ලබාගෙන තිබෙනවා . 2025 දෙසැම්බර් 10 දා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ තීන්දු දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය වෙත දොළොස් වන කැබිනට් තීන්දුව ලෙස එය ඉදිරිපත් කරනු ලැබුවා .
2025 නොවැම්බර් තුන්වනදා කැබිනට් තීන්දුවෙන් ප්‍රකාශ කළේ ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති සඳහා ජනතාවගේ අනුමැතිය සහ පරිසර තත්ව වාර්තාවන් ලබාගෙන ඒවා නැවත සමාලෝචනය කරමින් තීන්දු ගන්නා බවයි . ආණ්ඩුව එසේ පැවසුවද ඒ සම්බන් කිසිදු කෙනෙකුගෙන් කරුණු විමසා නැති බව වාර්තා වෙනවා . ව්‍යසනයට මුවා වී සියලු දෙනාගේම අවධානය ඒ වෙත යොමුවී තිබෙන මොහොතක මේ තීරණය ගැනීම ආණ්ඩුවේ තක්කඩි ක්‍රියා පිළිවෙතේ පිළිබිඹුවකි .
- 2025-11-03 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළබි තීරණ අංක 05. ඉදිරියේදී මන්නාරම් දූපතේ නව සුළං විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අත්හිටු වීම.
දිවයින පුරා පුනර්ජනනීය සම්පත් ව්‍යාප්ති සැලැස්මට අනුව ඉහළ සුළං විභවයක් සහිත ප්‍රදේශයක් වශයෙන් හඳුනා ගනු ලැබ ඇති මන්නාරම දූපත සඳහා සුළං විදුලි ව්‍යාපෘති තුනක් (03) සැලසුම් කර ඇත. එම ව්‍යාපෘති අතරින් එක් ව්‍යාපෘතියක් වන තම්බපවනි සුළං විදුලි බලාගාරයේ මෙහෙයුම් කටයුතු 2021 වසරේ ආරම්භ කරනු ලැබ තිබේ. අනෙක් ව්‍යාපෘති වන Windscape Mannar (Pvt) Ltd මෙගාවොට් 20 ක සුළං විදුලි ව්‍යාපෘතියේ සහ Hayleys Fentons මෙගාවොට් 50 සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියේ මෙහෙයුම් කටයුතු පිළිවෙලින් 2025 දෙසැම්බර් මස සහ 2026 දෙසැම්බර් මස ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. ප්‍රදේශයේ මහජනතාව ඉදිරිපත් කර ඇති පාරිසරික හා සාමාජීය ගැටලු සැලකිල්ලට ගනිමින් මන්නාරම් දූපතේ ජනතාවගේ කැමැත්තෙන් තොරව තවදුරටත් එම දුපතේ සුළං විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක නොකරන ලෙස ගරු ජනාධිපතිතුමා අදාළ බලධාරීන්ට දැනුම දී ඇති බව බලශක්ති අමාත්‍යතුමා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කරන ලදුව, ඒ අනුව කටයුතු කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී.
- 2025-12-10 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළබි තීරණ අංක 12. මන්නාරම, මුල්ලිකුලම් ප්‍රදේශයෙහි මෙගාවොට් 50 බැගින් වන සුළං විදුලි බලාගාර 2ක් ස්ථාපිත කිරීම.
වර්ෂ 2030 වන විට මෙරට විදුලි සැපයුමෙන් 70%ක් පුනර්ජනනීය බල ශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීමේ අරමුණ සඳහා වන රජයේ පුළුල් සැලැස්මට අනුකූලව, වසර 20 ක මෙහෙයුම් කාල සීමාවක් සහිතව ඉදිකිරීම, අයිතිය දැරීම සහ ක්‍රියාත්මක කිරීම පදනම මත මෙගාවොට් 100 මුල්ලිකුලම් සුළං බලාගාර උද්‍යානය (මෙගාවොට් 50 බැගින් වන සුළං බලාගාර 02ක්) ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා පෞද්ගලික අංශයේ උනන්දුවක් දක්වන සංවර්ධකයින් වෙතින් යෝජනා සඳහා ඉල්ලීම් කැඳවීම සඳහා 2025-02-10 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රම වේදය අනුගමනය කරමින් එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජනා සඳහා ඉල්ලීම් කැඳවන ලදුව, ව්‍යාපෘති යෝජකයින් හත්දෙනෙකු (7) විසින් සිය යෝජනා ඉදිරිපත් කරනු ලැබ ඇත. එකී යෝජනා ඇගයීමෙන් අනතුරුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය මත , Consortium of Vidullanka PLC & David Pieris Motor Company (Lanka) Limited වෙත සහ Wind Force PLC වෙත එකී මෙගාවොට් 50 සුළං විදුලි බලාගාර පහසුකම් දෙක (2) ස්ථාපිත කිරීමේ කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම පිණිස බල ශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.






