Breaking News

සම්ප්‍රදායෙන් සැනකෙලියට ලිස්සා යන පාද යාත්‍රාවේ වන්දිය ගෙවන්නේ යාල-කුමන වන උයන් ය!

යාපනයේ සිට කතරගම දේවාලය දක්වා පා ගමනින් ගමන් ගනු ලබන ‘කතරගම පාද යාත්‍රාව’ හින්දු බැතිමතුන් විසින් කලෙක සිට පවත්වාගෙන එන සංස්කෘතික අංගයකි. නමුත් මෙම වන්දනා ගමන මේ වන විට ආගමික සහ සංස්කෘතික අනන්‍යතාවයන්ගෙන් දුරස් වෙමින් සැණකෙළියක් බවට පත්වීම හරහා යාල සහ කුමන ජාතික උද්‍යානවල පැවැත්මටද දැඩි තර්ජනයක් එල්ල වීම පිළිබඳව බලධාරීන් තවමත් අවධානය යොමු නොකිරීම කණගාටුවට කරුණකි. මෙවර පාද යාත්‍රාව සඳහා පැමිණෙන පුද්ගලයන් සඳහා කුමන ජාතික උද්‍යානයේ දොරටු විවර වුණේ ඉකුත් සිකුරාදා (10) දිනය. එදින පමණක් පා ගමනින් යාල-කුමන ජාතික උද්‍යාන හරහා ගමන් කිරීමට කුමන උද්‍යාන පිවිසුමෙන් ඇතුළුවූ පිරිස 15,982 කි.

ප්‍රවේශපත්‍රයක් ලබාගැනීමෙන් තොරව නොමිලේ පා ගමනින් ශ්‍රී ලංකාවේ ජාතික උද්‍යානයන් හරහා ගමන් කිරීමට ලැබෙන අතිශය විරල අවස්ථාවක් ලෙස මෙම පාද යාත්‍රාව හැඳින්විය හැකිය. එසේම කුමන ජාතික උද්‍යානයෙන් ඇතුළුවී යාල ජාතික උද්‍යානයෙන් පිටතට පැමිණීමට වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ විශේෂ අනුමැතියක් අවශ්‍ය වේ. යාල ජාතික උද්‍යානයේ කලාප අංක දෙක තුළ සංචාරය කිරීමටද විශේෂ කොන්දේසි තිබේ. එබැවින් එවැනි කිසිඳු අවසරයක් අවශ්‍ය නොවන පාද යාත්‍රාව දඩමීමා කරගෙන තමන්ගේ පටු ඕනෑ එපාකම් සරිකරගැනීම සඳහා විවිධ පිරිස් මේ වන විට පෙළඹී තිබේ. ඊනියා පරිසරවේදීන්, වනජීවී ඡායාරූප ශිල්පීන් හා වික්‍රමාන්විත සංචාරකයින් ඊට ඇතුලත් වේ. මේ හේතුවෙන් කතරගම පාද යාත්‍රාවේ ආගමික සහ සංස්කෘතික වටිනාකම් ගිලිහී වනජීවී රක්ෂිතද විනාශ මුඛයට යාමට පටන්ගෙන වසර කීපයක් ගතවී තිබේ. තවද මෙයින් බොර දියේ මාළු බාමින් යාල සහ කුමන වෙත ඇතුළුවීමට කටයුතු කරන ආරක්ෂක අංශ, දන්සැල් කරුවන් සහ විවිධ රාජ්‍ය ආයතනද වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කිරීම ඉතා බරපතල තත්වයකි.

යුද්ධය අවසන් වීමෙන් පසු වාර්ෂිකව 25,000 – 30,000 අතර පිරිසක් මෙම වන්දනා ගමනට සහභාගීවූ අතර ඉකුත් 2025 වසරේ එම ගණන වාර්තාගත ලෙස 32,000 කට ඉතා ආසන්න වන ලෙස ඉහළ ගියේය. මෙම වසරේද පාද යාත්‍රාවට සහභාගී වීමට පැමිණෙන පුද්ගලයින්ට කුමන ජාතික උද්‍යානට ප්‍රවේශවීමට එළැඹෙන ජූලි මස 24 දින දක්වා අවසර ලැබේ. එහිදී පළමු දින තුන තුළ පමණක් සංචාරකයින් 22,559 ක් උද්‍යානයට ඇතුළු වීමෙන් මෙවර පාදයාත්‍රවේ පරිමාණය පිළිබඳව පුරෝකථනයක් ලබාගැනීමට අපහසු නැත. හින්දු බැතිමතුන් ඉමහත් දුෂ්කරතා විඳිමින් මෙම පාද යාත්‍රාවට සහභාගී වෙමින් කතරගම වෙත පැමිණෙන්නේ දෙවියන් කෙරෙහි ඇති අප්‍රමාණ භක්තිය පෙරදැරිවය. ඔවුන් අතීතයේ අනුගමනය කළ අල්පේච්ඡ වන්දනා විධි ක්‍රම මගින් පරිසරයට සිදුවූ හානිය අල්ප විය. නමුත් මේ වන විට ප්‍රමාණයෙන් විශාල සංචාරකයින් පිරිසක් මෙම පාද යාත්‍රාව හරහා උද්‍යානයට ඇතුළුවීම තුළ සිදුවන පාරිසරික බලපෑම ලඝුකොට තැකිය නොහැක.

යුධ සමයේ මෙම පාද යාත්‍රාව ඔස්සේ කොටි ත්‍රස්තවාදීන් දකුණට ගමන් කිරීමේ අවධානමක් ඇතැයි පෙන්වා දෙමින් වන්දනා කරුවන් ගණන් ගැනීමට යුධ හමුදාව මගින් කටයුතු කෙරිණි. නමුත් ඉන් නොනැවතී යුධ තත්ත්වය අවසන් වීමෙන් පසුවද ආරක්ෂක අංශ මගින් වන්දනාකරුවන්ට ජලය සහ ආහාරපාන වෙළඳාම් කිරීමට කටයුතු කිරීම මගින් මෙම වන්දනාවේ ඓතිහාසික වත්පිළිවෙත් වලට බලපෑම් එල්ල විය. වන්දනාකරුවන් ප්‍රමාණාත්මකව වැඩි වීමටද මෙම තත්ත්වය හේතු විය. සැබෑ බැතිමතුන්ගේ අපේක්ෂාව තමන්ට අවශ්‍ය සියලු දෑ පොදි බැඳගෙන දුෂ්කරතා විඳ ගනිමින් මෙම වන්දනා ගමන නිමා කිරීමය. එමගින් ඔවුන්ගේ භක්තිමත්බව දෙවියන් හමුවේ සනාථ කිරීමය. ඔවුන්ට ජාතික රක්ෂිත ප්‍රදේශය හරහා ගමන් කරන විට භාවිතා කිරීමට බෝතල් කළ ජලය හෝ ආහාර පාන තබා සෞඛ්‍ය පහසුකම් වත් වෙනත් පාර්ශවයන් මගින් සැපයීම අවශ්‍ය නොවීය. නමුත් සැබැවින්ම ඒවා අවශ්‍ය වූයේ අප ඉහත කී ඊනියා පරිසරවේදීන්, වනජීවී ඡායාරූප ශිල්පීන් හා වික්‍රමාන්විත සංචාරකයින්ටය. ඊට උඩගෙඩි දෙන වැඩි දෙනෙක් රාජ්‍ය ආයතනවල අක්‍රමිකතා යටගසා ගැනීමට මීට දායකවන බවද කියති. එහි අවසන් ප්‍රතිපලය සැබෑ අල්පේච්ඡ වන්දනාව වෙනුවට පරිසරයට විශාල වශයෙන් බලපෑම් එල්ලවන විකෘතියක් බවට මෙම චාරිකාව පත්වීමය.

කුමන ජාතික උද්‍යානයට ඇතුළුවූ තැන සිට වන්දනාකරුවන්ට ජලය ලබාගැනීමට ස්වභාවික ජල මුලාශ්‍ර රැසක් තිබේ. එසේ තිබියදී බවුසර් මගින් නොමිලේ ජලය ලබාදීමේ සහ බෝතල් ජලය විකිණීමේ කටයුත්තක යුද හමුදාව වසර ගණනාවක සිට නිරතවී සිටී. එය දඩමීමා කරගෙන යුධ හමුදාව හිතුමතේ රැයක් දවාලක් නොමැතිව ජාතික උද්‍යානවල ඔබ මොබ සැරිසරන බවත්, මහා පරිමාණයෙන් ට්‍රැක්ටර් ටේලර් ගණන් දර එකතු කිරීම වැනි කටයුතුවල නිරතවන බවත් දැනගන්නට ලැබේ. එසේම බත් පැකට් දන්සැල් වැනි වන්දනාකරුවනට බලෙන් ආරෝපණය කල අවශ්‍යතා දඩමීමා කරගෙන ඔවුන් දැනුවත්ව හෝ නොදැනුවත්ව වනසන්නේ දැයට හිමි අමිල සොබා දායාදයන්ය.

වන්දනාකරුවන් සඳහා ප්‍රති අසෘත ජල පිරිපහදු පද්ධතියක් යාල ජාතික උද්‍යානයේ ළිං තුන ප්‍රදේශයේ  ස්ථාපනය කිරීමට බව පවසමින් නාවික හමුදාව ද වන්දනා සමයේ මේ වෙත ප්‍රවේශ වේ. ඒ අතර නාවික හමුදාවේ ප්‍රධානියෙක්ද පාද යාත්‍රාවේ ගමන් කිරීමට පැමිණීම නිසා ඔහුට ආරක්ෂාව සහ සේවා සැපයීමට බව පවසමින් විශාල භට කණ්ඩායමක් යාල ජාතික උද්‍යානයට ඇතුළුවී පසුගිය වසර කිහිපයේම එහි පැවැත්මට හානිකර ආකාරයෙන් කටයුතු කල බවට චෝදනා එල්ල විය. රැයක් දවාලක් නොමැතිව උද්‍යානය තුළ රථවාහන ගමන් කරවීම, විවිධ ස්ථාන වල වැසිකිළි කැසිකිලි පද්ධති ඇතුළු පහසුකම් සකස් කිරීම සඳහා වනය විනාශකිරීම, වෙන්කරදී ඇති වන්දනා මාර්ගයෙන් පරිබාහිරව උද්‍යානයේ වෙනත් ප්‍රදේශ හරහා ගමන් කිරීම වැනි අහිතකර කටයුතු ඒ අතර වේ.

ශ්‍රී දළදා මාලිගාව ඇතුළුව විවිධ රාජ්‍ය සහ පුද්ගලික අංශ සහ පුද්ගලයින් ද මෙම සමයේදී දන්සැල් පැවැත්වීමට බව පවසමින් රක්ෂිත ප්‍රදේශයට ඇතුළුවීම සිදුකරයි. ඔවුන් අතර සිටින අප ඉහත කී ඊනියා පරිසරවේදීන් සහ වනජීවී ඡායාරූප ශිල්පීන් මෙන්ම සෞඛ්‍ය කඳවුරු පැවැත්වීම සඳහා බව පවසමින් පැමිණෙන පුද්ගලයින් පවා  තමන්ගේ ඩිපෙන්ඩර් රථ වල නැගී රාත්‍රී කාලයේ වනජීවීන්ට බාධා වන පරිදි අධි බලැති ආලෝක ධාරා එල්ල කරමින් ඉබාගාතේ සැරි සරණ බවට චෝදනා එල්ලවේ. එවැනි තත්වයන් වනජීවී සංරක්ෂණය අතින් කොහෙත්ම යහපත් නොවේ. මෙම වසරේද විශාල ස්ථීර හා තාවකාලික දන්සැල්කරුවන් පිරිසක් උද්‍යාන තුලට පිවිස ඇති අතර ඔවුන්ගෙන් ඇතැමෙක් උද්‍යාන තුල ජෙනරේටර් සහ ශබ්ද විකාෂණ පවා භාවිතා කිරීම විමතිය දනවන්නකි.

අදාළ ප්‍රවේශපත්‍ර ගාස්තු ගෙවා නිසි බලපත්‍රයක් ලබා ගෙන ජාතික උද්‍යානයකට ඇතුළුවන සංචාරකයින්ට පවා උද්‍යානයේ ගමන් කිරීමට අවසර ඇත්තේ පෙරවරු හයත් පස්වරු හයත් අතර කාලය තුළදී පමණි. නමුත් විවිධ උප්පරවැට්ටි යොදා ගනිමින් මෙම වන්දනා සමයේ උද්‍යානය තුළට ඇතුළුවන ඉහතකී පාර්ශව අදාළ කාලසීමාව තුළ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ලැබෙන අවසරය වල්බූරු නිදහසක් කරගැනීමට සංරක්ෂණ නීතී උල්ලංඝනය කරමින් කටයුතු කිරීම ජුගුප්සාජනකය.

යුද්ධය නිමා වීමෙන් පසුවද වසර ගණනාවක් පාද යාත්‍රාවේ වන්දනාකරුවන් ගමන් කළේ කිසිවෙකුගේ දන්සැල් මත යැපෙමින් නොවේ. එමෙන්ම දන්සැල් දඩමීමා කරගෙන මෙසේ පිටස්තර පුද්ගලයින් යාලට ඇතුළුවන්නේ වන්දනාකරුවන් කෙරෙහි උපන් දයාවෙන් ද නොවේ.

මේ ආකාරයෙන් මහා ජනකායක් දීර්ඝ කාල සීමාවක් තුළ වනජීවී රක්ෂිත තුළ හැසිරීම නිසා වනජීවීන්ගේ ස්වභාවික හැසිරීම් රටාවන්ට බලපෑම් එල්ලවීම,  කැලිකසල සහ මලපහ මගින් ස්වභාවික පරිසර පද්ධතීන් සහ ජල මුලාශ්‍ර දූෂණය වීම වැනි පාරිසරික බලපෑම් රැසක් ඇතිවේ. සංචාරකයින් සංඛ්‍යාව වැඩිවන විට ඊට අනුලෝමව බලපෑමද  වැඩිවේ. කතරගම පාද යාත්‍රාවද දුෂ්කර වන්දනා ගමනක සිට සැණකෙළියකට පරිවර්තනය වීමෙන් සිදුවන්නේ සංචාරකයින් සංඛ්‍යාව වැඩිවී පාරිසරික බලපෑම වැඩිවීමය. එබැවින් මීට අදාළ අනුමැතීන් ලබාදීමේදී වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සිට යාල සහ කුමන ජාතික උද්‍යාන භාරකරුවන් දක්වා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු කලමනාකරණ ධුරාවලියේ සියලු ස්ථර ද මීට වඩා අවධානයෙන් කටයුතු කිරීම ඉතා වැදගත්ය. එසේම සිදුවන මානව ක්‍රියාකාරකම් සහ ඇතිවන තත්ත්වයන් සමීපව අධීක්ෂණය කිරීමට සහ අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග නොබියව ක්‍රියාවට නැංවීමට අවශ්‍ය වනජීවී සංරක්ෂණ නිලධාරීන් සහ ඔවුන්ට අවශ්‍ය යටිතල පහසුකම් ප්‍රමාණවත් පරිදි ලබාදීමද ආණ්ඩුවේ වගකීමය.

නමුත් ඒ සඳහා වනජීවී නිලධාරීන්ට සහය ලබාදීම වෙනුවට ප්‍රදේශයේ උසස් පරිපාලන නිලධාරීන් සහ ආරක්ෂක අංශ සිදුකරමින් සිටින්නේ පාද යාත්‍රාවේ පාරිසරික බලපෑම වසරෙන් වසර උග්‍ර කිරීමය. ඒ හැර අඩු තරමින් දෛනිකව ජනනය වන කසළ කඩිනමින් එක්රැස්කර උද්‍යානයෙන් පිටතට ගෙනගොස් නිසි පරිදි බැහැරලීමේ වැඩපිළිවෙලක් වත් නැත. ඒ වෙනුවට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ජනනය වන දිරන සහ නොදිරන කසල උද්‍යානය තුල මඩමෙතොට හා කුමන විල්ලුවේ භාගුරේ පිටිය වැනි ස්ථානවල වළවල් හාර වල දැමීමට කටයුතු කිරීමෙන් ඇතිවන පාරිසරික බලපෑම පිළිබඳව අමුතුවෙන් කිවයුතු නැත.

එබැවින් තමන්ගේ කෙටිකාලීන විනෝදාස්වාදය සඳහා මෙම ඉපැරණි වන්දනා ගමන දඩමීමා කර ගැනීම, ඊට ඈඳුණු ප්‍රෝඩාකාරී කටයුතු සඳහා රජයේ මුදල් අපතේ හැරීම හා වනජිවීන්ගේ සුරක්ෂාව තහවුරු වන පරිදි වගකීමෙන් කටයුතු කිරීම වෙනුවට පාරිසරික අන පනත් නොසලකා හැරීමට මෙය අවස්ථාවක් කර ගැනීම වැලැක්වීම සඳහා කතරගම පාද යාත්‍රාවට නොපමාව වගකීම් සහිත නියාමනයක් ක්‍රියාවට නැංවීම වර්තමාන රජයේ සහ පරිසර අමාත්‍යාවරයාගේ වගකීම සහ යුතුකම බව අවධාරණයෙන් ලියා තබනු කැමැත්තෙමි.

සුපුන් ළහිරු ප්‍රකාශ්

leave a reply