Breaking News

ප්‍රශ්නයක් වුනාම රට පැන්නේ ඇමතිවරු, අපි අරගලය අඛණ්ඩව කරනවා – වසන්ත මුදලිගේ

සිංගප්පූරු ගියේ සහ ප්‍රශ්නයක් වුනාම පැන ගියේ ඇමතිවරු බවත් අපි මේ රටේ සිටින බවත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පවසයි. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ මේ රටේ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් ලේ හැලුනත්, ඝාතනය කරත්, හිරේ විලංගුවේ දැම්මත් මේ අරගලය නතර නොවන බවයි. රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීමේ ලේඛණ නමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ලේඛණයක් වෙනමත්, සාමාන්‍ය පුරවැසියන්ගේ ලේඛණ, මහා ශිෂ්‍ය සංගම්වල ලේඛණ ලෙස වෙනමත් ලේඛණ සකස් කරමින් සිටින බවද වසන්ත මුදලිගේ පවසයි.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වැඩිදුරටත් පැවසුවේ,
“අපි ඉල්ලුවේ රටේ ජනතාවට කන්න දෙන්න කියලා. උඹලා හොරාකාපු සල්ලි ටික දීපන් කියලා කිව්වේ. ඩොලර් අර්බුදයට උඹලා ඔක්කොම වගකියන්න ඕනා කියලා කිව්වේ. විධායක ජනාධිපතිධූරය අහෝසි කරන්න කියලා කිව්වේ. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්න ඕනා කියලා කිව්වෙ. රටේ පාලනයට ජනතාව සම්බන්ධ කරගන්න ඕනා කියලා කිව්වේ.ඒවාට අපිට දෙන උත්තරේ මර්දනය. විශ්ව විද්‍යාලවල නේවාසිකාගාරවලට යන පාරවල්වල සුදු වෑන් දාලා තියෙනවා. හමුදාවේ බයික් ඇවිල්ලා කැරකෙනවා විශ්ව විද්‍යාලේ ගේට්ටුව අසළ. අපි රනිල් වික්‍රමසිංහට කියනවා මේ අරගලය මර්දනය කරන්න බැහැ අත්අඩංගුවට අරගෙන. ඒ නිසා අත්අඩංගුවට ගත් සියලු අරගලකරුවන් වහාම නිදහස් කරන්න ඕනා. ඒ වගේම අරගකරුවන්ට එරෙහිව අරන් යන මර්දනය නතර කරන්න ඕනා. රනිල් ආවේ ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න නොවෙයි. රනිල් ආවේ රාජපක්ෂලා ආරක්ෂා කරන්න. ඒ නිසා තමටි අපි කියන්නේ රනිල් වික්‍රමසිංහ එලවා දැමිය යුතුයි. දැන් අපෙන් අහන ප්‍රශ්නය තමයි ඊළඟට මොනවද කරන්නේ කියලා. අපි ඒක කියලා තියෙන්නේ. ජනතාවට කන්න නැහැ. ජනතාව දින ගණන් තෙල් පෝලිම්වල. රනිල් වික්‍රමසිංහට අපි කියනවා වහාම ඉල්ලා අස්වෙන්න කියලා. මොකද රනිල් එළවා දැමීමට අවශ්‍ය අඛණ්ඩ අරගලයක් අපි කරනවා. උඹලගේ මර්දනයට හැමදාම මේ රටේ ජනතාව , ශිෂ්‍ය ව්‍යාපාරය උත්තර දීලා තියෙනවා. ඇඳිරි නීතිය නොසලකා ජනතාව මහ පාරට අවේ. බැරියර් ඉස්සරහ පපුවට වෙඩි තියද්දි රටේ ජනතාව ජනාධිපතිවරයට යන්න කිව්වා. අපි රනිල්ට කියනවා ප්‍රතිපාදන වැඩි කරලා හිරගෙවල් හදන්න. හිරේ දාලා මේක නවත්වන්න බැහැ. මොකද දැන් සංවිධානය වූ ජනමතයක් තියෙනවා. ඒ මතය අපි වඩාත් සංවිධානාත්මක කරනවා. ජනතාව පාලනයට සම්බන්ධ වෙන මහජන කවුන්සිලය ගොඩනගන්න අදාළ සටන්කාමී මැදිහත්වීම අපි කරනවා. ඒ වගේම නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට අදාළ සටන්කාමී මැදිහත්වීම සහ සාකච්ඡාව අපි කරනවා. ඒ වගේම උඹලා හොරාකාපු සල්ලි අයකරගෙන්නේ කොහොමද කියන සාකච්ඡාව රටේ ජනතාවත් එක්ක අපි කරනවා. අපි ආණ්ඩුවට කියනවා වහාම ගෙදර යන්න ලෑස්ති වෙලා ඉන්න. ඔයගොල්ලෝ රටේ ජනතාවගේ මතය නෙමෙයි නියෝජනය කරන්නේ. අපිත් එක්ක සෙල්ලම් කරන්න නම් ආණ්ඩුව ලෑස්ති වෙන්නෙ අපි ලෑස්තියි ඒ අභියෝගය බාරගන්න. සියගණන් ඝාතනය වෙද්දී පවා ශිෂ්‍ය ව්‍යාපාරය ජනතාවගේ අයිතීන් වෙනුවෙන් සටන් කරලා තියෙනවා. මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහ කියන්නේ අවලංගු කාසියක්.”

leave a reply