Breaking News

පින්ලන්තයේ තරම් අපේ අධ්‍යාපනය හොඳ නැද්ද ?

මේ පොත ගැන කලින් දාපු පෝස්ට් එක දැක්ක ගුරුවරියක් වන මිතුරියක් ඉන්බොක්ස් එකට මැසේජ් එකක් එව්වා. ඇය අහල තිබුණෙ ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමය ඔය කියන තරම් හොඳයිද සහ මෑතක එහෙත් සමහර දේවල් වෙනස් කරන්න පටං අරගෙන නේද වගේ අදහසක් එන ප්‍රශ්නයක්. පොත කියවල ඉවර වෙලා යමක් ලියන්න කල්පනා කරමින් ඉන්නකොට ඇයත් එක්ක කරපු ඒ සංවාදය මේක ලියන්න හොඳ ප්‍රවේශයක් නිර්මාණය කරල දුන්නා.

පොතට කදිම හැඳින්වීමක් ලියන පරිවර්තක ලියනගේ අමරකීර්ති මහාචාර්යවරයා මේක ගැන ඒක ඇතුළෙ පැහැදිලි අදහසක් කියනවා. ඔහුගෙම වචනවලින් ඒක මෙන්න මෙහෙමයි;

“…මේ පොත හුදෙක් ෆින්ලන්තයේ පාසැල් අධ්‍යාපනය වර්ණනා කිරීමක් සේ කියවිය යුතු නැත. මෙහි විස්තර කෙරෙන ඇතැම් හොඳ දේවල් අපේ පාසැල්වලද මා අත්දැක ඇත. සැබවින්ම අපේ තරගකාරී අධ්‍යාපන ක්‍රමය වෙනස් කරගත හැකි නම් ෆින්ලන්තයෙහි දැකිය හැකි ඇතැම් හොඳ විධික්‍රම ක්‍රියාත්මක කිරීමට බෙහෙවින් පහසු පාසැල් පද්ධතියක් අපට තිබේ යැයි මම සිතමි… එහෙත් මෑතකදී ෆින්ලන්ත අධ්‍යාපනයෙහි ඇතැම් අංගවල පහත වැටීමක් වාර්තා වේ. ගණිතය විෂයෙහි එය වඩාත් කැපී පෙනෙයි…”

පරිවර්තකයා පැහැදිලිවම කියනවා මේවා එකක්වත් දේව වාක්‍ය නෙවෙයි කියල. වැදගත් දේ තමයි ෆින්ලන්තය තමන්ට වරදින තැන්, අඩුපාඩු නිවැරදිව අඳුරගෙන තුවාලෙට හරියටම බෙහෙත් කරනවා. මේ පොතෙන්ම උදාහරණයක් කිව්වොත් 2014 විතර වෙද්දි ෆින්ලන්තය අඳුරගන්නවා තමන්ගෙ රටේ දරුවන්ගෙ ශාරීරික ක්‍රියාකාරකම් සෑහෙන්න පහත වැටිල කියල. ඔවුන් ඒකට විසඳුමක් විදියට ‘චලනයෙන් යුත් ෆින්ලන්ත පාසැල්’ කියල ජාතික මට්ටමෙන් ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙලක් හඳුන්වා දෙනවා. ඒකෙන් ඉතාම හොඳ ප්‍රතිපල ලැබෙනවා.

ඒ නිසා ෆින්ලන්තෙ කියන්නෙ හෙණ දිව්‍ය ලෝකයක්ය කියල හිතාගෙන නෙවෙයි මේ පොත කියවන්න ඕනෙ. ඔවුන්ගෙ ඒ ‘වෙනස්වීම’ම තමයි සාර්ථකත්වය. නමුත් අපේ ඔළුවලට කාවද්දල තියෙන්නෙ වෙනස්වීම කියන්නෙ අසාර්ථක දෙයක්, ‘වෙනස් නොවීම’ තමයි සාර්ථකත්වය කියල. කිසිම දෙයක් අයිස් වගේ ගල් ගැහිල තියෙන්න ඕනෙ නෑ. වතුර වගේ ගලාගෙන යන්නයි ඕනෙ. ඔය දැන් ඇතිවෙලා තියෙනවා කියන අර්බුදයටත් ඔවුන් ඒ වගේ නිශ්චිත වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරනවා ඇති.

ඒ වගේම ෆින්ලන්තය සහ අපේ රට කියන්නෙ කටු කුරුඳුයි ඔටු චීසුයි වගේ සම්පූර්ණයෙන්ම එකිනෙකට වෙනස් සමාජ, දේශපාලන, ආර්ථික, සංස්කෘතික තත්ත්ව තියෙන රටවල් දෙකක්. අපේ රටේ වගේ කන්න නැතුව උදේ රැස්වීමෙ කලන්තෙ දාල වැටෙන දරුවො ෆින්ලන්තෙ නෑ. පොතේ කතුවරයා වන තිමෝති ඩී. වෝකර් ඒ ගැන ඔහුගෙ අදහස මෙන්න මෙහෙම කියනවා;

“…මූලික අවශ්‍යතා නොසැපිරිණු දරුවන්ගෙන් යුත් පන්ති කාමර පැවතීම වූ කලි අද්විතීය අභියෝග එල්ල කරන්නකි. එහිදී කළ යුතු කාර්යය ගැන උපදෙස් දීමට හැකි තත්ත්වයක මම පසු නොවෙමි. මට හැකියාව ඇත්තේ දරුවන්ගේ සහ ගුරුවරුන්ගේ කායික, භාවමය සහ මානසික සෞඛ්‍ය වර්ධනය කිරීමට ෆින්ලන්ත පාසැල්වලදී උගත් උපක්‍රම ගණනාවක් යෝජනා කිරීමටය…”

ඒ නිසා අපි කරන්න ඕනෙ මේ කියන සමහර කාරණා ගෙඩිය පිටින් අරගෙන අපේ පන්ති කාමරවලට දාන එක නෙවෙයි කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. එහෙම කළොත් සමහර විට ඒක හෙණ විහිළුවක් වෙන්නත් පුළුවන්. කොහොම වුණත් වෝකර් මේ යෝජනා කරන ක්‍රම 33 අතරින් බොහෝ දේවල් අමරකීර්ති කියනවා වගේම අපේ පාසැල් ඇතුළෙත් අත්හදා බලන්න පුළුවන් දේවල්. සමහර ඒවා මහා ලොකු දේවල් නෙවෙයි. උදාහරණයක් විදියට විනාඩි පහළොවක ‘මස්තිෂ්ක විවේකය’ වගේ එකක් ගත්තොත් ඒකෙන් ඇති කරන්න පුළුවන් දිගුකාලීන බලපෑම විශාලයි. ඒකයි මං යෝජනා කරන්නෙ මේ පොත කියවල බලන්න කියල. කියවල ඒ තියෙන දේවල් ඒ විදියටම ගන්න ඕනෙ කියල එකක් නෑ. අපිට පුළුවන් අපේම විදියක් හදාගන්න. මොකද මේ සමහර දේවල් දැනුවත්ව හරි නොදැනුවත්ව හරි අපිත් කරල, කියල තියෙන දේවල් වෙන්න පුළුවන්.

අමරකීර්තිගෙ මේ පරිවර්තනය පැති කීපයකින් වැදගත්. එකක් තමයි ෆින්ලන්තය ගැන අපේ හිතේ තියෙන සමහර මිත්‍යා අදහස් මේ පොතෙන් කඩල දානවා. උදාහරණයක් විදියට අපි ගොඩක් අය හිතාගෙන ඉන්න අදහසක් තමයි ෆින්ලන්ත ළමයින්ට ‘ගෙදර වැඩ’ නෑ කියන එක. කතුවරයා පැහැදිලිව කියනවා ඒක වැරදි අදහසක් බව. ෆින්ලන්ත ළමයින්ටත් ගෙදර වැඩ තියෙනවා. හැබැයි ඒ වැඩ දෙන විදියෙ සහ ප්‍රමාණයෙ තමයි වෙනස තියෙන්නෙ.

ඒ වගේම ෆින්ලන්තය ලෝකයේ දියුණුම අධ්‍යාපන ක්‍රමය තියෙන රට කියල අහල තිබුණට අන්තර්ජාල පිරික්සුම් සහ ෆින්ලන්තයෙ ඉන්න මිත්‍රයො කීපදෙනෙකුගෙන් අසා දැනගත් තොරතුරු ඇරෙන්න වැඩේ වෙන්නෙ කොහොමද කියල හරියටම දැනගන්න මේ වගේ විධිමත් ලියැවිල්ලක් හම්බ වෙලා තිබුණෙ නෑ. විශේෂයෙන්ම සිංහල භාෂාවෙන්. මං වැරදි නම් මාව නිවැරදි කරන්න. අමරකීර්ති අත තියල තියෙන්නෙ අන්න එහෙම කලාපයකට.

කලාපෙන් එවන කොළ ටික හරියට පුරවලා, කලාප අධීක්ෂණ දවසට හොඳ රඟපෑමක් කරල ‘හොඳම ගුරුවරු’ වෙන රටක පුරවැසියො අනිවාර්යයෙන්ම මේ වගේ පොත් කියවන්න ඕනෙ. ඒ වගේම ටියුෂන් අධ්‍යාපනය ගැනත් අමර්කීර්ති තමන්ගෙ හැඳින්වීමෙ බොහොම වැදගත්, ප්‍රායෝගික අදහස් ටිකක් කියනවා. කියවලම බලන්න.

මේකෙ තියෙන කාරණා ගැන එකින් එක වෙන වෙනම ඕනෙ තරම් ලියන්න පුළුවන්. ඒත් ෆේස්බුක් එක කියන්නෙ එහෙම සංවාදයකට ලොකු ඉඩක් ලැබෙන වේදිකාවක් නෙවෙයි. ඒ නිසා මං නැවත නැවතත් යෝජනා කරන්නෙ පොත කියවන්න, කියවල අපි ඒක ගැන කතා කරමු කියලයි.

ඒ වගේම අධ්‍යාපනය සම්බන්ධව මීට කලිනුත් බරපතල මැදිහත්වීම් කරපු අය ඉන්නවා. ඒ හැමෝටම අදාළ ගෞරවය හිමිවෙන්න ඕනෙ. අනික සෑහෙන්න කැපකිරීම් කරල උගන්වන, වැඩ කරන ගුරුවරු, විදුහල්පතිවරු, නිලධාරීන් අපේ රටේ ඉන්නවා. ඔවුන්ටත් ඒ ගෞරවය ඒ විදියටම හිමිවෙනවා. හැබැයි ඒ හැමදෙයක්ම මැද්දෙ ‘මොකද්දෝ ලොකු අවුලක්’ තියෙන බව කාටවත් අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. මං කියන්නෙ මේ පොත අන්න ඒ අවුල ලිහාගන්න හොඳ ප්‍රවේශ කවුළුවක් විදියට පාවිච්චි කරන්න පුළුවන්. මේක තමයි ඒකට හොඳම මොහොත.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන හීනෙන් බයවෙලා උපවාස, සත්‍යග්‍රහ කරන ලෙමන්පෆ් මහත්තුරුන්ට එහා ගිය සබුද්ධික පුරවැසියො ටිකක් මේ රටට ඕනෙ. අධ්‍යාපනයෙන් තමයි මේ දේවල් වෙනස් කරන්න පුළුවන්.

ඒ නිසා පරිවර්තක ලියනගේ අමරකීර්තිටත්, පොතේ ප්‍රකාශක ජනක ඉණිමංකඩටත්, අපේ හිත මිත්‍ර ළහිරු කරුණාරත්නටත් අපි යෝජනා කරන්නෙ මේ පොත පුළුවන් තරම් මිනිස්සු අතරට ගෙනියන්න වැඩ පිළිවෙලක් හදන්න කියල. මේක අච්චු ගහල පොත් සාප්පුවල රාක්කවල තියල තියන්න ඕනෙ පොතක් නෙවෙයි. හැබැයි ඒක මහවැලියෙ හරි ජාතික පුස්තකාලෙ හරි කරන හුදු සංවාදයක් විතරක් වෙලත් හරියන්නෙ නෑ. ගුරුවරු සහ ළමයි සම්බන්ධ කරගෙන දිස්ත්‍රික් මට්ටමින් හරි වැඩමුළු පෙළක් කරන්න පුළුවන් නම් මරු. මේවා ඉතිං මේ කියන තරම් කරන එක ලේසි නෑ කියල දන්නවා. හැබැයි කරන්න පුළුවන් නම් වටිනවා.

ලෝකෙ දියුණුම අධ්‍යාපන ක්‍රම සහිත රටවල් ලෝකෙ මිනිස්සු සතුටින්ම ඉන්න රටවල් වෙන්නෙ අහම්බෙන් නෙවෙයි. කොතැනින් හරි වැඩේ පටං ගන්න එකයි වැදගත්. ඒකට මෙහෙම ප්‍රවේශයක් ලබා දීපු ලියනගේ අමරකීර්තිට ස්තුතියි කියන ගමන්, ආ මෙන්න, මේ වැඩේ වෙනුවෙන් ඔයාටයි මේ මල් පොකුර !

කසුන් සමරතුංග

leave a reply