Breaking News

ජාලිය දිසානායකගෙ මිනිමරුවා ජනාධිපති වෙන්න දඟලන රනිල්

ජූලි 13 වැනිදා ජනතා නැගිටීම සිදුවන අවස්ථාවේ දී කඳුළු ගෑස් ප්‍රහාරවලට මැදි වූ තරුණයෙක් මිය යනවා. එසේ මිය යන්නේ කුරුණෑගල දළදාගම පදිංචිව සිටි 26 හැවිරිදි ඩී. එම්. ජාලිය දිසානායක නමැති තරුණයායි . වෘත්තීයෙන් ත්‍රීරෝද රථ රියදුරෙකු වන ජාලිය පවතින පීඩාකාරී තත්ත්වයට එරෙහිව ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව පන්නා දැමීමේ අරගලයට සහාය පළ කිරීමට කොළඹට එනවා. ඔහු සහ ඔහුගේ සගයන් දහතුන් වැනිදා කොළඹ 7 මල්පාරේ අගමැති කාර්යාලය අසල ජනතා විරෝධයට සහභාගිවී සිටින අතරතුරේ දී ආරක්ෂක අංශ විසින් එල්ල කරන ලද කඳුළු ගෑස් ගංගාවට මැදිව පිඩාවට පත් වුණත් අරගලයේ ජයග්‍රහනය වෙනුවෙන් තිබුණු පිපාසය නිසා අගමැති කාර්යාලය ජනතා සන්තක වූ පසු බෞද්ධාලෝක මාවතේ රූපවාහිනී පරිශ්‍රය ආසන්නයේ ජනතා උද්ඝෝෂණයට සහාය දීමට එහි ගිය බව සඳහන් වෙනවා. ඒ අතරතුර ඔහු සිහිසුන්ව ඇද වැටෙන අතර පසුව පෞද්ගලික රෝහලක් වෙත ගෙන ගොස් තිබෙනවා. එහිදී එම තරුණයා මිය යනවා.

ඩී. එම් ජාලිය දිසානායක තරුණයාගේ මරණයට හේතුව සඳහන් කරමින් 14 වෙනිදා පොලිසිය මාධ්‍ය නිවේදනයක් ඉදිරිපත් කලා. තරුණයාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය ජුලි මාසේ 14 වනදා කොළඹ ජාතික රෝහලේ දී සිදුකර ලැබූ බවත් ඒ මරණ පරීක්ෂණයට අනුව අදාළ පුද්ගලයා මරණයට පත්වී තිබෙන්නේ කිරීටක ධමනි වල රුධිර කැට ගැසීමක් නිසා ඇතිවූ හෘදයාබාධයකින් බවද සඳහන් වෙනවා.

ඊට අමතරව මේ පොලිස් මාධ්‍ය නිවේදනයේ තරුණයාගේ මරණයට හේතුව මෙය යැයි සඳහන් කරනවට යටින් තවත් අපූරු සොයා ගැනීමක් සදහන් කර තිබෙනවා. ඒ තමයි මේ මියගිය ජාලිය දිසානායක විවිධ විෂ මත්ද්‍රව්‍ය හෙරොයින් අයිස් හා මත්පැන් භාවිතයට ඇබ්බැහිව සිටි පුද්ගලයෙකු බවට නිරීක්ෂණය වී ඇතැයි කියන ඡේදය. ජාලියගේ මරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරන්නට බොහෝ දෙනෙක් මැලි උනේ මෙන්න මේ යටින් සදහන් කරන ඔහු කුඩුකාරයෙක් මත්පැන් ලෝලියෙක් කියන ඡේදය නිසයි. අද දින ජුලි 16  ජාලියගේ අවසන් කටයුතු සිදුකිරීමට නියමිතයි.

ජාලිය දිසානායකගෙ මරණය සම්බන්ධයෙන් පියා දක්වන අදහස

ජාලිය දිසානායක ගේ ජීවිතය අහිමි වීමට බලපෑ සැබෑ කරුණු යටපත් කරන්නට පොලිසිය විසින් ඔහු කුඩු කාරයෙකු මත්පැන් ලෝලියකු බවට පත්කර ජනතා අප්‍රසාදයට ලක් කර ඇති බව එම තරුණයාගේ පියා චෝදනා නගනවා. තම පුතාගේ මරණයට හේතුව සඳහන් කරන මරණ පරීක්ෂණ වාර්තාව ද ඔවුන් පිළිගන්නට බැහැයි කියල කියනවා. ජාලිය දිසානායක ගේ පියා වන අසංක දිසානායක පවසන්නේ තම පුත්‍රයා කිසිදු මත්ද්‍රව්‍යක් හෝ මත්පැන් පානය නොකරන ගමේ කාගේත් හිත දිනාගෙන සිටියි තරුණයකු බවයි. ඉහෙන් බහින රෝගයක් නොතිබුණු බවත් මාධ්‍ය වල සඳහන් කරන ඇදුම රෝගයෙන් ඔහු පෙළෙමින් සිටි යැයි කියන කතාවද පියා විසින් ප්‍රතික්ෂේප කරල තියනව.

ජාලිය දිසානායකගේ පියා ඇතුළු සියලු දෙනාම චෝදනා කරන්නේ රනිල් වික්‍රමසිංහ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවට. කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම නිසා මරණය සිද්ධ වුණා කියලා. ජාලිය ගේ මරණයේ වගකීම ආණ්ඩුව බාරගත යුතුයි කියලයි. අරගලයට සහය දක්වන්න ගියේ මේ ආණ්ඩුව විසින් ජනතාව මත පටවා තිබෙන බර දරාගෙන ඉන්න බැරිම තැනබව ප්‍රකාශ කරනවා.

අප්‍රේල් 9 වෙනිදා අරගලය ආරම්භ කළ දා සිට මේ වන විට තරුණයන් කිහිපදෙනෙකු ආණ්ඩුවේ මැර ප්‍රහාර වලට හෝ කඳුළු ගෑස් ප්‍රහාරවලට මැදිව මිය ගිහින් තියෙනවා. සියලු මරණ වලට ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ ඉන්පසුව රාජපක්ෂලාගේ ආරක්ෂාවට පැමිණි රනිල් වික්‍රමසිංහ වගකියන්න ඕන.

කුඩුකාරයෙක් වුවද, මත්පැන් ලෝලියෙක් වුවද, කුමන තරාතිරමක පුද්ගලයෙකු වුවද, ජීවත්වීම වෙනුවෙන් තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීමේ අයිතිය තියෙනවා. යම් පුද්ගලයෙකු සමාජ විරෝධී කියන තැනට ඇදලා දාන්න මේ ජරාජීර්ණ සමාජ ක්‍රමය දායක වෙලා තියෙනවා කියන එක පුද්ගලයන්ට චෝදනා නගන්න කලියෙන් සමාජය ද තේරුම් ගත යුතුයි. ජාලිය වැනි තරුණයන් අසාධාරණයට එරෙහිව නැගී සිට ආණ්ඩුවට එරෙහි වන විට අරගලකරුවන් මත සමාජ විරෝධී ලේබලය අලවන එක අලුත් ක්‍රියාදාමයක් නෙවෙයි. මෙවැනි සමාජ විරෝධී ලේබල් අලවන්නේ වෙන කිසිවක් නිසා නොව ජනතා නැගිටීම් අඩපණ කිරීමටත් ජනතා නැගිටීම් වලට ශක්තිය සපයන මිනිසුන්ව භේදබින්න කරලා අරගලය අඩපණ කිරීමටයි.

ජාලිය දිසානායක මිය යන්නේ තමන්ගේ පටු අරමුණක් වෙනුවෙන් නොව රටක ජනතාවගේ හෙට දවස වෙනුවෙන් අරගල බිමට පිවිස. එනිසා ජාලියලා ඇතුළු මේ අරගලය වෙනුවෙන් ජීවිතයෙන් වන්දි ගෙවූ අරගලකරුවන් අරගලය වෙනුවෙන් ජීවිතය කැප කළ අයගේ පරිච්ඡේදයේ නොමැකෙන ලෙස ලියවෙන වීර නාමාවලියේ දරුවන්ය.

leave a reply