Breaking News

ග්ලැසියර දියවීම වේගවත් වීම සමඟ එවරස්ට් මූලික කඳවුර ඉවත් කිරීමට සැරසෙයි

ගෝලීය උණුසුම වැඩිවීම සමඟ ග්ලැසියර දියවීම නිසා එවරස්ට් කන්ද ආශ්‍රිතව පිහිටි මූලික කඳවුර (base camp) වෙනත් ස්ථානයක ස්ථානගත කිරීමට නේපාල සංචාරක දෙපාර්තම්නේතුව තීරණය කර තිබේ.

එම දෙපාර්තමේන්තුවට අනුව මෙම කඳවුර පිහිටි කුඹු ග්ලැසියරය (Khumbu glacier) සීඝ්‍රයෙන් දියවෙමින් පවතියි. පර්යේෂකයන් පවසන පරිදි දියවන ජලය නිසා ග්ලැසියරය අස්ථාවර වී ඇති අතර කඳු නගින්නන් පවසන්නේ ඔවුන් බලා සිටියදී ම මූලික කඳවුරේ ඉරි තැලීම් ඇතිවන බවයි. කඳවුර දැනට මීටර් 5,364 ක උසක පිහිටා ඇත.

හිමාලයේ අනෙකුත් ග්ලැසියර මෙන්ම කුඹු ග්ලැසියරය ද ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමත් සමඟ වේගයෙන් දිය වෙමින් තුනී වෙමින් පවතින බව විද්‍යාඥයින් සොයාගෙන ඇත.

2018 දී ලීඩ්ස් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් කරන ලද අධ්‍යයනයකින් පෙන්නුම් කළේ ග්ලැසියරයෙන් වසරකට ජලය ඝන මීටර් මිලියන 9.5 ක් අහිමි වන බවත්, මූලික කඳවුරට ආසන්න කොටස වසරකට මීටර් 1 කින් වේගයෙන් තුනී වන බවත්ය.

කඳු නගින්නන් සහ නේපාල බලධාරීන් පවසන්නේ මූලික කඳවුර මැදින් ඇති දිය පහරක් වසරින් වසර පුළුල් වන බවයි.

ග්ලැසියර මතුපිට ඉරිතැලීම් ඇතිවීම පෙරට වඩා නිතර සිදුවන බව ද ඔවුන් පවසයි.

මූලික කඳවුරේ ස්ථානය මාරු කළ යුතු බවට නිර්දේශ කළ කමිටුවේ ප්‍රමුඛ සාමාජිකයෙකු වන කිම්ලාල් ගෞතම් පවසා ඇත්තේ කඳවුරේ විශාල පිරිසක් සිටීම ද මෙම ගැටලුවට දායක වන බවයි.

 

leave a reply