“භාෂා සෙල්ලම තමයි ලියන්නෙක් පාදගන්න ඕනෙ ඉල්ලම !” – කසුන් සමරතුංග

නූතන ලාංකේය කෙටිකතාව හුදු වාර්තාකරණයෙන් ඔබ්බට ගෙන යමින් මිනිස් මනසේ සංකීර්ණ සහ අඳුරු කලාප ස්පර්ශ කරන දාර්ශනික මෙවලමක් බවට පත්වෙමින් තිබේ. මෙම සන්දර්භය තුළ සමකාලීන තරුණ ලේඛක පරපුරේ සුවිශේෂී සලකුණක් තැබූ කසුන් සමරතුංග යනු භාෂාවේ සහ ආඛ්‍යානයේ සීමා පුළුල් කිරීමට නිරන්තරයෙන් වෙහෙසෙන නිර්මාණකරුවෙකි. ‘ජාජා ඩිං’ වැනි කෘති හරහා තම අනන්‍යතාව සලකුණු කළ ඔහු, ඉස්සර පහකට පමණ පෙර ඔහුගේ ප්‍රථම කෙටිකතා සංග්‍රහය න් එළි දක්වනු ලැබුවේ ‘කළුවරට බය කාමරේ ඇතුළෙ’ නමිනි. ඔහුගේ නවතම කෙටිකතා සංග්‍රහය වන ‘භාගෙට වැඩුණු මිනිහෙක්’ හරහා පාඨකයා කැඳවාගෙන යන්නේ තවත් එවැනිම ගැඹුරු මානුෂීය ගවේෂණයකට යැයි හිතන්න අපට හේතු තියෙනවා.

එහෙත් අපේ හේතුව අන් අයගේ හේතුව නොවන නිසාම අපට එය බලපෑම් සහගතව ඔබට ඉදිරිපත් කළ නොහැකි යි . ලේඛකයාටත් තමන්ව නිර්මාණයට පෙළඹ වූ කාරණය පාඨකයාට එලෙසම බලපෑම් සහගතව ඔබ්බවන්නටද නොහැකි යි . එහෙත් අපට හිතෙන ආකාරයට ඔහුව ප්‍රශ්න කළ හැකි යි .

මේ කසුන්ගේ ‘බාගෙට වැඩුණු මිනිහෙක්’ පිළිබඳව කරන ප්‍රශ්න කිරීමයි . විවරට මේ සම්මුඛ සාකච්ඡාව නිර්මාණය කිරීම සඳහා දායකත්වය සැප වූයේ හිමාලි රංජනා සේනාරත්න සහෝදරියයි .

කසුන් සමරතුංග ‘බාගෙට වැඩුණු මිනිහෙක්’ නමින් සිය දෙවැනි කෙටිකතා සංග්‍රහය පසුගිය සැප්තැම්බර් මාසයේ දී ප්‍රකාශයට පත් කළා. එය ‘ග්‍රන්ථ’ ප්‍රකාශනයක් . කවිය, කෙටිකතාව, නවකතාව, යොවුන් නවකතාව, තීරු ලිපිය ආදී බොහෝ අඩවිවල කරක් ගසන ඔහුගේ අටවැනි සාහිත්‍ය නිර්මාණය මෙයයි. පහත දැක්වෙන්නේ එය නිමිති කරගෙන අප ඔහු සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකි.

  • ‘කළුවරට බය කාමරේ ඇතුළෙ’ කියන ඔබේ පළවැනි කෙටිකතා සංග්‍රහයෙන් වසර පහකට පස්සෙ තමයි ‘බාගෙට වැඩුණු මිනිහෙක්’ එන්නෙ. මේ විරාම කාලය ගතවුණේ කොහොමද?

ඒක විරාම කාලයක් කියල හඳුන්වන්න පුළුවන් නම්, ඒක ගත වුණේ සිසිෆස් කන්ද මුදුනට ගල පෙරලගෙන යන විදියටම තමයි. වැඩට යනවා. එනවා. කනවා. බොනවා. සෙක්ස් කරනවා. යාළුවො ඇසුරු කරනවා. රණ්ඩු වෙනවා. යාළු වෙනවා. සෙල්ලම් කරනවා. කියවනවා. ලියනවා. බලාගෙන ඉන්නවා. එහෙම තමයි. ඇල්බෙයා කැමූ ‘ද මිත් ඔෆ් සිසිෆස්’ පොතෙන් යෝජනා කරනවනෙ ‘අප සිසිෆස් සතුටින් සිටින බව සිතිය යුතුයි’ කියල. ඉතිං එහෙම හිතාගෙන ඉන්නවා. ඇත්තටම විරාමය ලැබෙන්නෙ ගල කන්ද මුදුනෙ ඉඳල පහළට පෙරළුණාට පස්සෙ සිසිෆස් ආපහු කන්දෙන් පහළට බහින මොහොතෙ. ඒක තමයි මිනිහට හිතන්න ඉඩ ලැබෙන වෙලාව. මොනව හිතුවත් මොකද හිතන්න ඉඩක් ලැබෙනව නම්.

කෙටිකතාව පැත්තෙන් ගත්තොත් ඒ අවුරුදු පහ අභ්‍යාස කාලයක්. කෙටිකතා වගේම කෙටිකතා නොවෙන දේවලුත් ගොඩක් කියෙව්වා. කෙටිකතා ගොඩක් ලිව්වා. කැපුවා. කෙටුවා. සංස්කරණය කළා. පොඩි පොඩි අත්හදා බැලීම් ටිකක් කළා. එහෙම එකතු වුණු, ඉතුරු වුණු කතා නවයක් තමයි ‘බාගෙට වැඩුණු මිනිහෙක්’ නමින් මේ සංග්‍රහ වෙන්නෙ.

  • මේක මනෝ විද්‍යාත්මක සංග්‍රහයක්ද?

මේක කෙටිකතා සංග්‍රහයක්. ඒ කතා ටික ඇතුළෙ ඔබ ඔය කියන කාරණාව අඩු – වැඩි වශයෙන් අඩංගු වෙන්න පුළුවන්. මොකද මේ හැම දෙයක්ම අපි මනස එක්ක කරන සෙල්ලමක්නෙ. ඒ සෙල්ලමේදි මං සංවේදි වුණු – වෙන තැන් කීපයක් තමයි ලිව්වෙ.

  • ඇයි ඒ ලියපු ගොඩක් දේවල් අධියථාර්ථවාදීව නිරූපණය කළේ?

ඒක තමයි හොඳම විදිය කියල හිතුණු නිසා. සමහර දේවල් යථාර්ථවාදීව ලියන්න පුළුවන්. ඒකෙ කිසිම වැරැද්දක් නෑ. හැබැයි ගොඩක් දෙනා ඒක කරල තියෙනවා. අධියථාර්ථවාදය කියන්නෙත් අලුත් දෙයක් නෙවෙයි තමයි. නමුත් මට හිතුණු සහ දැනුණු දේ තමයි – මේ ගොඩක් කතා සම්බන්ධව – ඒක තමයි විදිය කියල. ඒක හොඳම විදිය නොවෙන්න පුළුවන්. ඒත් ඒක නරකම විදිය නෙවෙයි කියන විශ්වාසයෙන් තමයි මං ඉන්නෙ.

  • මේ කතා නවය ඇතුළෙ ඇතැම් කතා ලියැවෙන්නෙ ලිඛිත භාෂාවෙන්. ඇතැම් කතා වාචික භාෂාවෙන්. තවත් සමහර ඒවා කටවහරෙ සංවාද විදියට. මොකද්ද මේ භාෂා සෙල්ලම?

භාෂා සෙල්ලම තමයි ලියන්නෙක් පාදගන්න ඕනෙ ඉල්ලම. මානව ශිෂ්ටාචාරයෙ විශිෂ්ටතම සොයාගැනීම විදියට සැලකෙන්නෙත් භාෂාවනෙ. ඒ සෙල්ලම සාර්ථක වෙන්නත් පුළුවන්, අසාර්ථක වෙන්නත් පුළුවන්. කොහොම වුණත් ඒ වෙනුවෙන් උත්සාහයක් දරන එකයි වැදගත්. මේ කතා ටික ඇතුළෙ භාෂාව තීරණය වුණේ කියන්න ඕනෙ කතාවට අදාළව. සමහර වෙලාවට හොඳම එක වුණේ ලිඛිත භාෂාව. තව සමහර වෙලාවට වාචික භාෂාව. තවත් සමහර වෙලාවට සංවාද ස්වරූපය. මං ඒ වෙනුවෙන් උත්සාහයක් දැරුවා.

  • ‘පස්ස හේදීම’ කතාවෙන් ඔබ ‘වම’ විවේචනය කරනවද?

අපොයි නෑ. ඔබට එහෙම හිතුණද? අපි වමට ආදරේ මිනිස්සුනෙ. වම කියන්නෙ එකක්. වම අවභාවිත කරනව කියන්නෙ තව එකක්. වමෙන් වැඩක් ගන්නෙ නැතුව ඉන්නව කියන්නෙ තවත් එකක්. මේ කතාවෙ එන විජිතයා හැමදේම කරන්නෙ දකුණු අතින්. වම් අතින් කිසි දෙයක් කරන්නෙ නෑ. අන්තිමට ඔහුට අත්වෙන ඉරණම මොකද්ද? වම් අතයි, දකුණු අතයි සංකේත විදියට යොදාගෙන එහෙම කතාවක් කියන්නයි මං උත්සාහ කළේ.

  • පොතට නම දෙන ‘බාගෙට වැඩුණු මිනිහෙක්’ කෙටිකතාව සුවිශේෂීයි. ඔබ ග්‍රීක යුගයෙ මහා දාර්ශනිකයො තිදෙනා වුණු සොක්‍රටීස් – ප්ලේටෝ සහ ඇරිස්ටෝටල් නූතන ශ්‍රී ලාංකේය සමාජය ඇතුළෙ ස්ථානගත කරනවා. ඒකට විශේෂ හේතුවක් තිබුණද?

කලින් පිළිතුරම තමයි. මේකයි කියල කියන්න විශේෂ හේතුවක් නොතිබුණත් ඒක තමයි හොඳම විදිය කියල මට හිතුණා. විශ්ව සාහිත්‍යයෙ වගේම සිංහල සාහිත්‍යයෙත් ඒ වගේ අත්හදා බැලීම් කරල තියෙනවා. ඒකෙන් වෙච්ච හොඳම දේ තමයි මේ තුන්දෙනා ගැන විස්තර හොයාගෙන යද්දි මට ග්‍රීක ඉතිහාසයෙ වැඩිය ප්‍රසිද්ධ නැති කලාපයක් විවර වුණා. ඔබ දන්නවද, ‘ඇනිකෙරිස්’ නම් සුවිශේෂී පුද්ගලයෙකුගෙ මැදිහත්වීම නොතිබෙන්න ප්ලේටෝ එජීනා කියන දූපතේ වහලෙක් ලෙස විකිණෙන්න නියමිතව තිබුණා. ඒක එහෙම වුණා නම් අපි මේ දැන් ඉන්න ලෝකෙ මීට වඩා සෑහෙන්න වෙනස් වෙන්න ඉඩ තිබුණා. ඩයෝජිනීස් ලාර්ටියස් කියන පුරාණ ග්‍රීක ලේඛකයා ලියපු පොතක ඒ ගැන විස්තර තියෙනවා. ඒ ගැන මං පහුගිය කාලෙ ෆේස්බුක් එකේ සටහන් කීපයක් ලිව්වා. ඒ ගැන තව විස්තර හොයන්න ඕනෙ. සමහර විට ඒක අලුත් ප්‍රබන්ධයකට නිමිත්ත වෙන්නත් පුළුවන්.

  • ඒක හොඳ ඔත්තුවක්. ඒ කියන්නෙ ඊළඟ වැඩේ වෙන්නෙ ඒකද?

නෑ, ඒක තව සෑහෙන කල් ගතවෙන වැඩක් වෙයි කියලයි හිතෙන්නෙ. හාරල, පාදල ගොඩ ගන්න ගොඩක් දේවල් තියෙනවා. හෙමින් සීරුවෙ කරන්න ඕනෙ වැඩක්. පහුගිය කාලෙ රූප මාධ්‍යයෙ වැඩ ටිකක් කළා. පිටපත් කීපයක් ලිව්වා. ඒ වැඩක් දෙකක් ඉස්සරහට එන්න පුළුවන්. හැබැයි පොතක් ලියනව වගේ නෙවෙයි රූප මාධ්‍යත් එක්ක කරන සාමූහික ගනුදෙනුව. මට කොහොමත් සාමූහික වැඩ කියන්නෙ ටිකක් අමාරු දෙයක්. දුර්වලතාවයක්. ඒක වෙලාවකට අපිව උදාසීන කරනවා. තරහ ගස්සනවා. අතෑරල දාන්න හිතෙන තැන් එනවා. ඒ නිසා ඒ දේවල් කවදාවත් නිර්මාණ විදියට එළියට එන්නෙ නැති වෙයිද කියලත් පොඩි බයක් තියෙනවා. හැබැයි ඒ හැමදෙයක්ම අස්සෙ කොහොම හරි වැඩේ අල්ලගෙන යනවා. අපි බලමු ඉතිං මොකද වෙන්නෙ කියල.

සංවාදය – හිමාලි රංජනා සේනාරත්න

Share post:

Popular

වෙනත් පුවත්

දිවි හිමියෙන් සටන් වැදුණු පරපුරක සිහිනය සමාජවාදයයි!’

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ 37 වන ඉල්මහා විරු සමරුවේදී දුමින්ද...

කස්සපගේ පැටිකිරිය හොයන්න පොලිසිය සූදානම් 

රටේ ජනතාව අනුරාධපුරයේ භික්ෂු ගැටුම දෙස බලාගෙන ඒ ගැන...

අධ්‍යාපන වියදම් – අගමැතිනියයි අන්තරෙයි මත දෙකක

2027 අයවැය මගින් අධ්‍යාපන අංශය සඳහා රුපියල් බිලියන 749ක්...

2027 අයවැය සාරාංශයක්

2027 අයවැය මගින්, වැටුප් ලබන බදු ගෙවන්නන්ට අප්‍රේල් මාසයේ...