Breaking News

පාවා දුන්නේ කවුද?

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟය මුදලට පාවා දෙමින් ප්‍රතිවාදී ඉන්දියාවට උවමනාවෙන්ම පරාජයට පත්වූ බව එවකට හිටපු ක්‍රීඩා ඇමතිවරයා වූ මහින්දානන්ද අලුත්ගමගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කර ඇත. ක්‍රිකට් ක්‍රීඩා ඉතිහාසයේ බරපතලම තරඟ පාවාදීමේ චෝදනාව මෙලෙස ඔහු එල්ලකරන්නේ එවකට කණ්ඩායමේ නායකයා වූ කුමාර් සංගක්කාර සහ අනෙකුත් ක්‍රීඩකයන් වෙතය.

වසර 11ට පසු මැතිවරණ සමයක හදිසියේ මෙම චෝදනාව මතු වීමට පෙර ගෙවී ගිය දින කීපයේ විවාදාත්මක පුවත් කීපයක් වාර්තා විය. හෝමාගම නව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියක් ඉදිකරන බව ඇමති බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කලේ යන්තම් කොරෝනා ඇඳිරි නීතිය ඉවත් කිරීමට පටන් ගත් මොහොතේය. මහේල, සංගක්කාර සහ තවත් හිටපු ක්‍රීඩකයන් කීප දෙනෙක්ම එය විවේචනය කරනු දක්නට ලැබුණි.

එමෙන්ම පසුගියදා එස් බී දිසානායක ඇමතිවරයා කියා සිටියේ කුමාර් සංගක්කාර ව්‍යාපාරික කටයුත්තක් සඳහා නුවරඑළිය ගොල්ෆ් පිටිය බදු පදනමට ලබා දෙන ලෙස ඉල්ලා සිටි බවයි. සංගක්කාර ඊට පිලිතුරු දෙමින් පවසා සිටියේ නුවරඑළිය ගොල්ෆ් පිටිය ඉල්ලා සිටියේ නැති බවත් ඉල්ලා සිටියේ නුවරඑළියේ වෙනත් ඉඩමක් බවත්ය.

ක්‍රිකට් ක්‍රීඩාව තවත් බොහෝ ක්‍රීඩා මෙන්ම වාණිජමය කර්මාන්තයක්වී ඇති තත්වයක් තුල පාරිශුද්ධ ක්‍රීඩා බලධාරීන්, ක්‍රීඩාව හසුරුවන දේශපාලඥයින් මෙන්ම පාරිශුද්ධ ක්‍රීඩකයින්ද සොයා ගැනීම අසීරුය. එබැවින් මෙවන් තරඟ මුදලට පාවා දීම් සිදුවී ඇතැයි තහවුරු වුවද පුදුම විය යුතු නැත.

උක්ත චෝදනාව එල්ලකරන මහින්දානන්දගෙන් සහ එය අනුමත කරමින් කතා කරන මෙරට ක්‍රිකට් පරිපාලනයට අරක්ගත් බහිරවයකුවන තිලංග සුමතිපාලගෙන් මෙන්ම ක්‍රිකට් පරිපාලන බලය අභ්‍යාස කල අයගෙන් ප්‍රශ්ණ කලයුතු කරුණු කීපයක් මෙසේ මතු කරමු.

ඉන්දියාව ගෙවී ගිය දශක දෙක තුල ක්‍රිකට් ක්‍රීඩාවේ කේන්ද්‍රීය ආධිපත්‍යය අත්පත් කරගනිද්දී ඒ සඳහා අත්‍යවශ්‍ය සන්ධිස්ථානයක් වූ ලෝක කුසලාන ජයග්‍රහණයක් අත්පත් කරගැනීමට කලහැකි සියලු දේ කිරීම අරුමයක් නොවේ. එවන් තත්වයකදී බුකී කරුවන් හරහා ක්‍රීඩකයන් වෙත මුදලට තරඟ පාවාදීමේ ඔෆර් ඉදිරිපත් කිරීම පමණක් සිදුවීද? කලාපීය බලවතා ඉදිරියේ බොහෝ යටහත් මෙරට ආණ්ඩුවේ බලවතුන් වෙත ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික බලපෑම් උක්ත තරඟය අරබයා එල්ලවූයේ නැතිද?

ඉන්දීය බුකී කරුවන්ගේ සැණකෙළියක් බවට පත්කරමින් මෙරටදී පැවති slpl තරඟාවලියේ සිදුවූවේයැයි කියන මුදලට තරඟ පාවාදීම් ගැන අඩුම තරමින් විමර්ශනයක් වත් කලාද? එමෙන්ම එම තරඟාවලියේදී බරපතල තරඟ පාවාදීමක් කල බවට චෝදනා ඉදිරිපත් වූ ප්‍රබල ඉන්දීය ක්‍රිකට් තරුව සම්බන්ධ චෝදනාව යට ගැසුවේ කවුද? එසේ එය යට ගැසුවේ ඉන්දීය ක්‍රිකට් බලධාරීන් මෙරට ක්‍රිකට් බලධාරීන්ට කල බලපෑමක් නිසාද?

මහින්දානන්ද ක්‍රීඩා ඇමති වුවද මෙරට ක්‍රිකට් පරිපාලන බලය විටින් විට හුවමාරු වූයේ ධර්මදාසවරුන් රණතුංගවරුන් සහ සුමතිපාලවරුන් අතරය. එහිදී පසුගිය දශක දෙක තුල සුමතිපාලලා බලවත් මාෆියා අධිරාජ්‍යයක් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව තුල ගොඩ නැගුවේ තිලංග එහි ගෝඩ් ෆාදර් කරමිනි. එසේ වුවද මහින්දානන්ද නිකම්ම නිකං නමට ඇමති කරමින් එවකට ඇත්ත ක්‍රීඩා ඇමතිධූරය හෙබවූයේ නාමල් රාජපක්ෂය. එය දන්නෝ දනිති. දැන් කිසිවක් නොදන්නා අයුරින් ට්විටර් පණිවිඩ නිකුත් කලට එසමයේ සිදුවූ සියලු දූෂණ වලට අධාලව නාමල් ප්‍රධානම වගඋත්තරකරුවකු නොවන්නේද?

තිලංගලාගේ මාෆියා අධිරාජ්‍යය තුල මෙරට දේශීය ප්‍රමුඛ පෙල තරඟ පවා මුදලට පාවාදීම් සිදු නොවුණිද? කුප්‍රකට පානදුර සහ කලුතර ක්‍රීඩා සමාජ අතර තරඟයේ අවසන් දිනයේදී දෙපිලම සමස්ත ලකුණු 600කට වඩා එක් දිනක් තුල ලැබුවේ තිලංගලාගේ මාෆියාවේ තවත් ප්‍රබලයකු වන රවීන් වික්‍රමරත්නගේ පානදුර ක්‍රීඩා සමාජය පලමු මට්ටමට ඔසවා ගැනීමට නොවේද? මේ සම්බන්ධව දෙපිලේ නායකයන්ට දඬුවම් කලා මිස බලධාරීන්ට අධාලව පරීක්ෂණයක් සිදුවීද?

ඔට්ටුකරුවන් සමග ගණුදෙනු කලබවට චෝදනා ලද ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණතිලි සැකසූ ජයනන්ද වර්ණවීර මේ පිළිබඳවවූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විමර්ශනයටවත් සහභාගී නොවුණි. එනිසාම ඔහුගේ ක්‍රිකට් සම්බන්ධ කටයුතු තහනම් කිරීමටද icc යට සිදුවිය. මෙම ජයනන්ද වර්ණවීර මෙරට ක්‍රිකට් මාෆියාව තුල තවත් එක් ප්‍රබලයෙක් නොවීද? මෙරට ක්‍රිකට් බලධාරීන් මීට අධාලව එවකට ගත් ක්‍රියා මාර්ග කවරේද?

අද මහින්දානන්දලා තිලංගලා නගන බරපල චෝදනාව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සුලුවෙන් තකා ඉවත දැමිය යුත්තක්ද? විය යුත්ත නම් උක්ත චෝදනාව විධිමත්වව විමර්ශනය කර පාවාදීමක් සිදුව ඇත්නම් ඊට අධාල ක්‍රීඩකයන්ට දිඬුවම් පැමිණවිය යුතුය. අනිත් අතට චෝදනාව අසත්‍ය නම් චෝදනා නැගුවන්ට එරෙහිව ක්‍රියාත්මක විය යුතුය. එහෙත් එසේවේදැයි බලාපොරොත්තු විය යුතු නැත. මක්නිසාද යත් අද iccයේ කේන්ද්‍රීය බලය ඇත්තේ මෙරට ක්‍රිකට් මාෆියාවේ ගජ මිතුරන්වන ඉන්දීය ක්‍රිකට් බලධාරීන් අතය. අවසාන වශයෙන් කිව හැක්කේ මේ මොහොතේ මෙවන් ක්‍රීඩාවක පාරිශුද්ධ මහත්තුරුන් නොමැති බව පමණි.

උපුටා ගැනීම – ‘Youth for Chenge’ ෆේස්බුක් පිටුව

leave a reply